ආරක්ෂක මණ්ඩල සැසියේදී ඉන්දියාව රුසියාවට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 27, 2022

ආරක්ෂක මණ්ඩල සැසියේදී ඉන්දියාව රුසියාවට

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසියේදී ඉන්දියාව පළමු වරට රුසියාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය රැස්වූයේ රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන ඇති හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙනි. 

පසුගිය 24 වැනිදා වනවිට රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කර මාස 6 ක් ගත විය. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුක්රේනයේ කීව් අගනුවර සිට ආරක්ෂක මණ්ඩල සමුළුව ඇමැතීමට සූදානම් විය. ඔහු ඒ සඳහා ආරක්ෂක මණ්ඩල සාමාජික රටවලින් අවසර ඉල්ලීමක් කළේය. 

 එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සාමාජික රටවල් 15 කින් සමන්විත වන අතර, ඊට නිත්‍ය සාමාජිකයන් පස් දෙනෙකි. චීනය, ප්‍රංශය, රුසියාව, මහා බි්‍රතාන්‍යය සහ ඇමෙරිකාව එම නිත්‍ය සාමාජිකයන්ය. ඉන්දියාව නිත්‍ය නොවන සෙසු සාමාජිකයන්ගෙන් කෙනෙකි. 

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමැතීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවසර ඉල්ලූ අවස්ථාවේදී රුසියාව ඊට විරෝධය දැක්වීය. ඒ අනුව, සෙලෙන්ස්කීගේ ඉල්ලීම සම්බන්ධයෙන් ඊට කැමැත්ත අකමැත්ත විමසා හදිසි ඡන්ද විමසුමක් පැවැත්වීය. 

ඉන්දියාව යුක්රේනයට හිතවත් බටහිර රටවල් සමඟ රුසියාවට එරෙහිව ඡන්දය දුන්නේ, යුක්රේන ජනාධිපති සෙලෙන්කීට සමුළුව ඇමැතීමට ඉඩ දිය යුතුයි යනුවෙනි. යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ඉන්දියාව රුසියාවට එරෙහිව ඡන්දය ලබා දුන් පළමු අවස්ථාව වන්නේ මෙයයි. 

මීට පෙර යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් රුසියාවට එරෙහිව ඡන්ද විමසුම් පැවැත්වෙද්දී, ඉන්දියාව කිසිදු පාර්ශ්වයකට ඡන්දය දීමෙන් වැළැකී සිටියේය. යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීම කළ යුතු බව ඉන්දීය රජය නිරන්තරයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට අවධාරණය කර තිබේ. 

රුසියානු ජනාධිපති ව්ලොදිමීර් පුටින් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ යහපත් සබඳතා පවතී. ඇමෙරිකාව රුසියාවට පනවා ඇති සම්බාධක හමුවේ පවා, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සිදු කරයි. එය එම සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බව ඇමෙරිකාව පෙන්වා දී ඇත. 

රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මාස 6 ක් ගත වීම පමණක් නොව, යුක්රේනයේ නිදහස් දිනය ද පසුගිය 24 වැනිදාට යෙදී තිබුණි. පසුගිය 24 වැනිදාට යෙදී තිබුණේ යුක්රේනයේ 31 වැනි නිදහස් දිනයයි. යුක්රේනය නිදහස් දිනය ලෙස සමරන්නේ, 1991 වසරේ සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමය. 

එදින යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ආරක්ෂක මණ්ඩල සමුළුව ඇමැතීමට අවසර ඉල්ලා සිටියේ, රුසියානු ආක්‍රමණයෙන් සිදුවී ඇති හානිය පෙන්වා දීමටය. යුක්රේන ජනාධිපතිවරයාගේ ඉල්ලීම සමුළුවට ඉදිරිපත් කළ විට ඊට එකපයින් විරුද්ධ වූයේ එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වැසිලි නෙබෙන්සියා ය. යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ ඉල්ලීම සම්බන්ධයෙන් හදිසි ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය යැයි සමුළුවෙන් ඉල්ලීමක් කළේ ද ඔහුය. 

මේ අතර, ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක නව යුද ආධාර යුක්රේනයට ලබා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් තීරණය කළේ ද යුක්රේනය නිදහස් දිනය සමරද්දීය. යුක්රේන නිදහස් දිනය දා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අමතමින්, හමුදා ආධාර ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය. 

ඇමෙරිකාව දිගින් දිගටම යුක්රේනයට ආධාර ලබා දෙන බවත්, එසේ ආධාර ලබා දෙන්නේ රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින දිග්ගැස්සෙන නිසා බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කර ඇත. 

රුසියන් යුක්රේන යුද්ධය හටගත්තේ, යුක්රේනය, උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයට හිතවත්ව කටයුතු කිරීම සහ නේටෝ සාමාජිකත්වය ඉල්ලා සිටීම රුසියාවේ විරෝධයට හේතුවක් වූ බැවිනි.

යුක්රේනයට හමුදා මෙහෙයවමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එදා කීවේ, යුක්රේනයට එරෙහිව විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ කරන බවය. 

නේටෝ යනු ඇමෙරිකාව, කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල් රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියන් යුක්රේන යුද්ධයට මාස 6 ක් ගතවෙද්දී, යුක්රේන සොල්දාදුවන් 9,000 ක් මියගොස් ඇතැයි යුක්රේන හමුදාපති වැලේරී සලුසූනී නිකුත් කළ නිවේදනයක දැක්විණි. 

පසුගිය අප්‍රේල් මාසයේ දී, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී කියා සිටියේ යුද ගැටුම් හේතුවෙන් යුක්රේන සොල්දාදුවන් 3,000 ක් මියගිය බවත්, 10,000 ක් තුවාල ලබා සිටින බවත් ය. යුද ගැටුම්වලින් යුක්රේන සිවිල් වැසියන් 5,514 දෙනකු මියගොස් ඇති බවත් 7,698 දෙනකු තුවාල ලබා ඇති බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 

BBC පුවත් සේවය සහ රුසියානු පුවත් සේවාවලට අනුව, යුද ගැටුම්වලින් මියගිය රුසියන් සොල්දාදුවන් ගණන 15,000 කි. තුවාල ලැබූ ගණන 45,000 කට වැඩිය. 

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගය ආරම්භ කර මාස 6 ක් ගත වුවත්, තවමත් ආරම්භයේදී මෙන් බටහිර යුරෝපා රටවල් ද අඛණ්ඩව යුක්රේනයට සහාය ලබා දෙන බව ද විදෙස් මාධ්‍ය පවසයි. රුසියන් යුක්රේන අර්බුදය මුල්කොට ගනිමින් ලෝකය තෙල් අර්බුදයකටත් ආහාර අර්බුදයකටත් මුහුණ පා සිටී.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom