චීනයේ මොකද වෙන්නේ? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 30, 2022

චීනයේ මොකද වෙන්නේ?

චීන ජනාධිපති ෂී ජින්පින් උස්බෙකිස්තානයේ, සමර්කාන්ද් අගනුවර, ‘ෂැංග්හායි ආර්ථික සහයෝගීතා සමුළුව’ ට සහභාගී වී සිට, සමුළුව අවසන් වීමටත් පෙර, යළි හදිසියේ ම වාගේ චීනයේ බීජීං අගනුවර බලා පැමිණියේ සැප්තැම්බර් 16 වැනිදාය. එසේ පැමිණි චීන ජනාධිපතිවරයා ගැන ‘කසුකුසුවක්’ නිර්මාණය විය.

එම ‘කසුකුසුව’ පුවත් මවන්න විය. ‘කසුකුසුව’ නිර්මාණය වූයේ, චීන රජයේ උදහසට ලක් වී, චීනයෙන් පිටුවහල් වී, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ජීවත් වන මාධ්‍යවේදිනියක ගෙනි. ඇය ජෙනිෆර් සෙන්ග් ය. 

චීන ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කෙරුණු බවත්, හමුදා රථ බෙයිජීං අගනුවර සැරිසරන බවත්, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව, චීන ගුවන් ගමන් සියයට 60 ක් නවත්වා දැමුණු බවත් ජෙනිෆර් සෙන්ග් සිය ට්විටර් ගිණුම ඔස්සේ පවසා තිබුණි. 

චීනයේ උදහසට ලක් වී, චීනයෙන් පිටුවහල් වුණු තවත් මාධ්‍යවේදීහු කීප දෙනෙක් ද ඔවුන්ගේ ට්විටර් ගිණුම් ඔස්සේ ජෙනිෆර් සෙන්ග්ට සහාය දක්වමින් චීනයේ හමුදා කුමන්ත්‍රණය ගැන කරුණු දක්වන්නට වූහ. 

 එම ට්විටර් පණිවුඩ උපුටා දක්වමින්, චීන ජනාධිපති ජින්පින් නිවාස අඩස්සියට යොමු කෙරුණු බවත්, හමුදා කුමන්ත්‍රණයක් සිදුවන බවත් වැඩි වැඩියෙන් පුවත් පළ වන්න වූයේ ඇමෙරිකා මාධ්‍ය, ඇමෙරිකා හිතවාදී බටහිර මාධ්‍ය සහ ඉන්දීය මාධ්‍ය ඔස්සේය. මේ සම්බන්ධයෙන් චීන රජය කිසිවක් පැවැසුවේ නැත. 

ඔවුන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. පසුගිය 16 වැනිදා සිදුවූයේ කුමක්ද? චීන ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කෙරුණේද? හමුදා කුමන්ත්‍රණයක් සිදුවූ​යේද? මෙම ප්‍රශ්නවලට තවමත් හරිහැටි පිළිතුරු නොමැත. 

දේශපාලන විශ්ලේෂකයන්ට අනුව, ‘කුමන්ත්‍රණය’ පිළිබඳ අදහස හුදෙක් ‘සිතුවිල්ලක්’ පමණි. එසේ වුවත්, මෙම ‘සිතුවිල්ල’ ඇමෙරිකන් මෙන්ම චීන මාධ්‍යවල ප්‍රධාන පුවත බවට පත් විය. ඇමෙරිකාව මෙන්ම ඉන්දියාව ද චීනය සමග හිත් අමනාපකම් පැවැතීම ඊට ප්‍රධාන හේතුවය. ෂැංග්හායි සමුළුවට සහභාගී වෙමින්, උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර සිටි ෂී ජින්පින් ජනාධිපති ධුරයෙන් නෙරපා දැමීමට චීන දේශපාලනඥයන් පිරිසක් කුමන්ත්‍රණය කළ බවය. 

මෙම ‘කුමන්ත්‍රණකරුවන්’ අතර ඉදිරියෙන්ම සිටින්නේ චීනයේ හිටපු ජනාධිපතිවරයකු වන හූ ජින්තාවෝ ය. දෙවැනි කුමන්ත්‍රණකරු චීනයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන වෙන් ජියාබෝ ය. මොවුන් දෙදෙනා පසුපස සිටින්නේ චීන ‘කොමියුනිස්ට් පක්ෂ දේශපාලන පාලක මණ්ඩලය’ සහ එම පාලක මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයකු වන සොංග් පිංග් ය. 

ජනාධිපති ධුරයෙන් නෙරපා දැමීමට පෙර, පළමුවෙන් ෂී ජින්පින් සේනාධිනායක ධුරයෙන් ඉවත් කිරීම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වී තිබුණැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. තමන්ට එරෙහිව කුමන්ත්‍රණයක් සිදුවන බව සමර්කාන්ද් අගනුවර සිටි ෂී ජින්පින්ට දැනගන්න ලැබුණු බවත් සමර්කාන්ද් ‘ෂැංග්හායි සමුළුව’ අවසන් වීමට පෙර, සැප්තැම්බර් 16 වැනි චීන ජනාධිපතිවරයා පෙරළා චීනය බලා පැමිණි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැවැසීය. 

ජනාධිපතිවරයා නිවාස අඩස්සියට පත් කෙරුණු බවට ‘කසුකුසුවක්’ පැතිර ගියේ ඉන් අනතුරුවය. මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පුවත් සවිස්තරාත්මකව පළ කෙරුණේ ‘නිව් ටැංග් ඩයිනැස්ටි ටීවී’ (එන්.ටී.ඩී. ටීවී) නාළිකාව ඔස්සේය. ‘නිව් ටැංග් ඩයිනැස්ටි ටීවී’ යනු චීනයේ තහනමට ලක් වුණු ‘ෆලුන් ගොංග්’ නමැති ‘නියෝ ආධ්‍යාත්මික’ කණ්ඩායමේ අනුග්‍රහය ලබන රූපවාහිනී නාළිකාවකි. 

උස්බෙකිස්තානයේ සමුළුවට සහභාගී වීමට පෙර පැවැත්වුණු චීන ජාතික ආරක්ෂක මණ්ඩල සැසියට මෙන්ම, ජාතික හමුදා සම්මන්ත්‍රණයට ද ජනාධිපති ෂී ජින්පින් සම්බන්ධ කර ගැනුනේ නැතැයි ‘නිව් ටැංග් ඩයිනැස්ටි ටීවී’ නාළිකාවේ පුවතක් පළ විය.

ෆලුවාන් ගොංග් යනු 1990 දශකයේ චීනයේ ආරම්භ වුණු නව ආගමික සංවිධානයකි. මාධ්‍යවේදිනී ජෙනිෆර් සෙන්ග් නිකුත් කළ ඇගේ පළමු ට්විටර් පණිවුඩයේ සඳහන් වූයේ සැප්තැම්බර් 21 වැනිදාට නියමිතව තිබුණු ගුවන් ගමන් කිසිදු හේතුවක් නැතිව, 16,602 ක් හිටිහැටියේ අවලංගු කෙරුණු බවය. ජෙනිෆර් සෙන්ග්ගේ දෙවැනි ට්විටර් පණිවුඩයේ සඳහන් වූයේ විශේෂ හමුදා නියෝගයකින් ගුවන් ගමන් 9,583 ක් අවලංගු කෙරුණු බවය. 

 ඩෲ තොම්ප්සන් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙකි. ගුවන් යානා අවලංගු වීම සම්බන්ධයෙන් ඔහු පවසන්නේ එල්ල වන මේ ‘කසුකුසුව’ කිසිදු පදනමක් නැති බොරුවක් බවය. ගුවන් යානා අවලංගු කිරීම සිදු වූයේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සහ හමුදා අභ්‍යාස හේතුවෙන් යැයි හෙතෙම පැහැදිලි කර තිබේ.​ 

හමුදා කුමන්ත්‍රණය පිළිබඳ කතාව කලබල විය යුතු දෙයක් නොවන බව ද ඩෲ තොම්ප්සන් වැඩි දුරටත් පවසා තිබේ. ගුවන් ගමන් හිටිහැටියේ නවතා දැමීම සිදුවූයේ ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍ය නීතී රීති නිසා යැයි ඩෲ තොම්ප්සන් පවසයි. 

මේ අතර, ඉන්දු පැසිෆික් දේශපාලන තීරු ලිපි රචකයකු වන ආදිල් බ්‍රාර් පෙන්වා දෙන්නේ චීනයේ කිසිදු ආකාරයක කුමන්ත්‍රණයක් සිදුනොවන බවය. ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කරන්න ඇත්තේ, ‘කොවිඩ් 19’ නීතිරීතිවලට අනුව, ඔහු විදේශ සංචාරයක සිට පැමිණි නිසා යැයි ආදිල් බ්‍රාර් පැහැදිලි කර ඇත. ජනාධිපති ජින්පින් සහ එරට දේශපාලන ප්‍රබලයන් අතර හෝ හමුදා ප්‍රධානීන් අතර හෝ කිසිදු අර්බුදයක් නැති බව ද ආදිල් බ්‍රාර් වැඩි දුරටත් පෙන්වා දී ඇත. 

මේ අතර නිවාස අඩස්සියට පත් කෙරුණැයි කී චීන ජනාධිපති ෂී ජින්පින්, පසුගිය 28 වැනිදා ප්‍රසිද්ධියේ පෙනී සිටියේය. ඒ, බෙයිජීං අගනුවර ප්‍රදර්ශනයකට සහභාගී වෙමිනි. තමන් තව දුරටත් රටේ නායකයා බවත්, බලය ඇත්තේ තමන් සතුව බවත් පෙන්වීමට ෂී ජින්පින් එය අවස්ථාවක් කර ගත්තේ යැයි ද මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය. 

ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටියත්, බටහිර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට, චීනය මේ වනවිට අර්බුද රැසකට මුහුණ දෙයි. 

චීන ආර්ථිකය දුර්වල වෙමින් පවතී. ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ‘කොවිඩ් 19’ වසංගතය සහ වසංගතය පාලනයට චීන රජය සහ සෞඛ්‍ය අංශ ගත් වැඩපිළිවෙළය. මෙම වැඩපිළිවෙළ ජනතාව නොසන්සුන් කිරීමට හේතුවක් වී ඇත.

ඉතිහාසයේ මීට පෙර නොදුටු ආකාරයට චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඔහුගේ ප්‍රතිපත්තිවලට එරෙහිව ජනතා අප්‍රසාදයක් ගොඩ නැගෙමින් පවතී. ජනාධිපති ෂී ජින්පින්ගේ තීන්දු තීරණ හේතුවෙන් චීනය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් අතරේ ඇයි හොඳයිකම් පළුඳු වී ගොසිණි. 

තායිවානය මුල්කොට ගනිමින් චීනයත් ඇමෙරිකාවත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත. චීනය රටවල් රැසකට (ශ්‍රී ලංකාව ද ඇතුළුව) ණය ලබා දී ඇති අතර, ලෝකය තුළ චීන ප්‍රතිරූපය හානි වීමට මෙම ණය ලබා දීම හේතුවක් වී ඇත. චීන සුළු ජාතිකයන් වන උයිගුර් මුස්ලිම්වරුන් මුල්කොට ගනිමින් චීනයට මානව හිමිකම් කඩකිරිමේ චෝදනා එල්ල වෙයි. මෙම කරුණු කාරණා චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයන් අතරේ අප්‍රසාදයක් ගොඩ නැගීමට හේතුවක් වී ඇත.

චීන ජනතා විමුක්ති හමුදාව යනු ජාතික හමුදාවක් නොවන බවත්, එය චීන කොමියුනිස්ට් පක්ෂයේ ‘අතකොළුවක්’ යැයි බොහෝ දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. චීන ජනතා විමුක්ති හමුදාව හරහා ඉස්මතු වන්නේ මහජන චීන සමූහාණ්ඩුව බිහි කිරීමේ පියා මාඕ සේතුංගේ දර්ශනයයි. 

චීන ජනතා විමුක්ති හමුදාව සැමවිටම චීන කොමියුනිස්ට් පක්ෂයේ තීන්දු තීරණවලට ගරු කළ යුතු වන අතර, හමුදාව පාලනය කරන්නේ ද කොමියුනිස්ට් පක්ෂයයි. ඒ අනුව, චීන ජනතා විමුක්ති හමුදාව කිසිම අවස්ථාවක හමුදා කුමන්ත්‍රණයකට නොයනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

Classified_Ad

Classified_Ad_News_Bottom