ජනපති ලූලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 1, 2022

ජනපති ලූලා

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට එරට හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සමත් විය. ජනාධිපතිවරණය පැවැත්වූයේ 77 හැවිරිදි ලූලා ද සිල්වා සහ දෙවැනි ධුරය අපේක්ෂා කළ වත්මන් ජනාධිපති 67 හැවිරිදි ජාර් බොල්සරානෝ අතරේය. 

ලූලා ද සිල්වා වාමාංශික කම්කරු පක්ෂයට නායකත්වය දෙයි. බොල්සරානෝ නායකත්වය දෙන්නේ අන්ත දක්ෂිණාංශික සමාජ ලිබරල් පක්ෂයටය. ප්‍රතිඵල නිකුත් වෙද්දී, ලූලා ද සිල්වා සියයට 50.83 ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් අතර, බොල්සරානෝට දිනා ගැනීමට හැකි වූයේ සියයට 49.1 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. 

ඒ අනුව, බොල්සරානෝගේ අන්ත දක්ෂිණාංශික පාලනය අවසන් කරමින්, ලූලා ද සිල්වාගේ නායකත්වය යටතේ නව වාමාංශික පාලනයක් බ්‍රසීලයේ ස්ථාපිත වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඔක්තෝබර් 30 වැනිදා පැවැත්වූයේ බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටයයි. 

ජනාධිපතිවරණයේ පළමු වටය පසුගිය ඔක්තෝබර් දෙවැනිදා පැවැත්විණි. ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා සහ ජාර් බොල්සරානෝ ඇතුළු අපේක්ෂකයෝ 11 දෙනෙක් ඊට ඉදිරිපත් වූහ. ඔවුන් කිසිවකුටවත් සියයට 50 කට වඩා ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගැනීමට නොහැකි විය. වැඩිම ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තේ ලූලා ද සිල්වා සහ බොල්සරානෝ ය. ඒ අනුව, දෙවැනි වටය ඔක්තෝබර් 30 වැනිදා පැවැත්විණි. 

මිලියන 150 ක ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ. බොල්සරානෝ පමණක් නොව ඔහුගේ සමාජ ලිබරල් පක්ෂය ආධාරකරුවන් ද දිගින් දිගටම විශ්වාස කළේ තමන්ට පහසුවෙන් ලූලා ද සිල්වා පරාජය කිරීමට හැකිවනු ඇති බවය. ජනාධිපතිවරණයට පෙර බොල්සරානෝ සහ ලූලා ද සිල්වා අතරේ මුහුණට මුහුණ සජීවී රූපවාහිනී විවාදයක් පැවැත්වුණු අතර එහිදී තර්ක කරමින් ලූලා ද සිල්වා අසරණ කිරීමට පවා බොල්සරානෝ සමත් විය. 

ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ධුරය හෙබවූයේ 2003 සිට 2010 තෙක් කාලයේය. ඔහු ජනාධිපති ධුර දෙකක් සම්පූර්ණ කළේය. කෙසේ නමුත් එල්ල වුණු දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වූ බැවින් 2018 වසරේ දී ලූලා ද සිල්වාට සිරදඬුම් නියම විය. ඔහු දින 580 ක් සිරගතව සිටියේය. 

එල්ල වුණු සියලු චෝදනා ලූලා ද සිල්වා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු තරයේ පවසා ඇත්තේ ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු බවය. සිරදඬුවම් හිමිවුණු බැවින්, 2018 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ලූලා ද සිල්වාට නොහැකි විය. ජාර් බොල්සරානෝ විප්ලවීය දේශපාලන නායකයකු ලෙස බ්‍රසීල ජනාධිපති ධුරයට පත් වූයේ 2018 ජනාධිපතිවරණය අතිවිශිෂ්ට ලෙස ජය ගැනීමෙනි. 

 ලූලා ද සිල්වා දේශපාලනයට පිවිසීමට පෙර ලෝහ කම්හලක සේවය කළේය. දේශපාලනික පළිගැනීම්වලට ලක්වුණු තමන්ට යළි නැගී සිටීමට හැකිවුණු බවත්, මිලියන 33 ක් වන බ්‍රසීල වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට තමන් උත්සාහ ගන්නා බවත්, රටේ පවතින දේශපාලනික බෙදීම් අවසන් කරමින් සාමකාමී වාතාවරණයක් ස්ථාපිත කිරීමට උත්සාහ ගන්නා බවත්, බ්‍රසීල වැසියන්ගේ කුසගිනි නිවීමට තමන්ට හැකි වනු ඇති බවත්, ජයග්‍රහණයෙන් පසු සිය පාක්ෂිකයන් අමතමින් ලූලා ද සිල්වා අවධාරණය කළේය. 

2003 සිට 2010 තෙක් කාලයේ ජනාධිපති ධුරය හොබවද්දී, මිලියන ගණනක් බ්‍රසීල වැසියන් ධරිද්‍රතාවයෙන් මුදා ගැනීමට ලූලා ද සිල්වා සමත් විය. ඔහු බ්‍රසීල වැසියන් අතරේ ජනප්‍රිය නායකයකු බවට පත් වූයේ ඒ අනුවය. දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු බොල්සරානෝ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු හිටපු හමුදා අණ දෙන නිලධාරියෙකි. 

බ්‍රසීලයේ ‘ට්‍රම්ප්’ ලෙස බොල්සරානෝ සැලකෙයි. ඒ, බොල්සරානෝගේ ආන්දෝලනාත්මක ප්‍රතිපත්ති හේතුවෙනි. ඉවක් බවක් නොමැතිව ඇමසන් වැසි වනාන්තරය විනාශ කිරීමට ව්‍යාපාරිකයන්ට අවසර දුන්නේ යැයි බොල්සරානෝට චෝදනා එල්ල විය. 

ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සේම, ‘කොවිඞ් 19’ වසංගතය උත්සන්න වෙද්දී පවා මුහුණු ආවරණ සහ ප්‍රතිශත්කිකරණ එන්නත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ ලෝක නායකයකු වන්නේ ද බොල්සරානෝය. බොල්සරානෝගේ අන්ත දක්ෂිණාංශික පාලනය යටතේ බ්‍රසීල දේශපාලනයේ බෙදීමක් නිර්මාණය විය. බ්‍රසීලය ආර්ථික වශයෙන් ඇද වැටීමකට ලක්වුණැයි චෝදනා එල්ල විය.

෴ උපුටා ගැනීම - REUTERS

Classified_Ad

Classified_Ad_News_Bottom