මිහිමත වාසය කළ ලොකුම සත්වයා ලන්ඩනයට පැමිණීමට නියමිතය. මේ සත්වයා ඩයිනසෝරයෙකි; සෝරපෝඩ් (Sauropod) වර්ගයේ ඩයිනසෝරයෙකි. සෝරපෝඩ් යනු සිවු පා ඩයිනසෝරයන්ය. දෙපා ඩයිනසෝරයන් හැඳින්වෙන්නේ තෙරෝපෝඩ් (Theropod) යනුවෙනි.
ඩයිනසෝරයන් ජීවත් වූයේ වසර මිලියන 65 කට පෙර අතීතයේය. ඩයිනසෝරයන් වඳ වීමට හේතුව, යෝධ ඇස්ට්‍රොයිඩයක් (Asteroid) එසේත් නැතිනම් ග්‍රහකයක් පොළොවේ හැපීමය. ඩයිනසෝරයන් සම්බන්ධයෙන් ඉතිරි වී ඇත්තේ පොසිල සාක්ෂි පමණි. ඒ, පොසිල සාක්ෂිවලින් ඩයිනසෝරයන්ගේ ජීවිත ගැන දැනගත හැකි දේ බොහොමය. ඩයිනසෝරයන් අද ජීවතුන් අතර නැතිනම්, ලන්ඩනයට පැමිණෙන්නේ කවුරුද?
ලන්ඩනයට පැමිණෙනු ඇත්තේ, යෝධ ඩයිනසෝරයාගේ යෝධ අස්ථි අනුරුවකි. මේ අස්ථි අනුරුව, මාර්තුවේ සිට ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ (Natural History Museum) ප්‍රදර්ශනයට තැබෙනු ඇත.
මිහිමත ජීවත් වූ විශාලතම සත්වයා ලෙස පිළිගැනනේනේ මීටර් 8 ක් උස, නාසයේ සිට වල්ගය කෙළවර දක්වා දිග මීටර් 35 ක් දිග, ටොන් 60 ක් හෝ 70 ක් බර ‘පැටගෝ-ටයිටන්’ ය.
‘පැටගෝ-ටයිටන්’ සම්පූර්ණ අස්ථි අනුරුව (මේ අනුරුව සැබෑ අස්ථිවලින් නිර්මාණය කළ එකක් නොවෙයි.) ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ‘වෝටර් හවුස්’ යන නමින් නම් කළ ශාලාව තුළ ප්‍රදර්ශනයට තැබෙනු ඇත.
මෙම ශාලාවේ දැනටමත් දැවැන් සෝරපෝඩ් වර්ගයේ බෙල්ල දිග, වල්ගය දිග ඩයිනසෝරයකුගේ අස්ථි අනුරුවක් පුදර්ශනයට තබා ඇත. මෙම ඩයිනසෝරයා, ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රධාන සංචාරක ආකර්ශණයයි. ඩයිනසෝරයාගේ නම ‘ඩිපී’ ය.
‘පැටගෝ-ටයිටන්’ අස්ථි අනුරුව ‘වෝටර් හවුස්’ ශාලාවට ගෙන එද්දී ‘ඩිපී’ එතැනින් ඉවත් කෙරෙන බව පැවැසෙයි. ‘ඩිපී’ සහ ‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝරයන් දෙදෙනා සසඳද්දී, අහසට පොළොව වැනි යැයි ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශන කටයුතු සම්බන්ධ ප්‍රධානී සිනේඩ් මැරොන් පැහැදිලි කර තිබේ.
‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝරයා ලන්ඩන් කෞතුකාගාරයට ගෙන ඒම සම්බන්ධයෙන් ගැටලුවක් පවතී. ඒ, කෞතුකාගාරයේ ‘වෝටර් හවුස්’ ශාලාවට යෝධ අස්ථි ගෙනැවිත් එකලැස් කිරීමට, එම ශාලාවේ ඉඩ ප්‍රමාණවත් වේවිදැයි යන්න සම්බන්ධයෙනි. “මා හිතනවා පැටගෝ-ටයිටන් අපේ ප්‍රධාන ශාලාවේ ඉඩ ඇති වේවි” මෙසේ මැරොන්ය.
‘පැටගෝ-ටයිටන්’ බොරු අස්ථි අනුරුව නිර්මාණය කර ඇත්තේ ආජන්ටිනාවේ, පොසිල විද්‍යා කෞතුකාගාරයේ පොසිල විද්‍යාඥ කණ්ඩායමය.
‘පැටගෝ-ටයිටන්’ යෝධ පොසිල අස්ථි පළමුවෙන්ම සොයා ගැනීම කළේත් මෙම පොසිල විද්‍යාඥයන්ය. ඒ, 2014 වසරේදීය. වසර මිලියන 100 ක් පැරැණි ‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝර අස්ථි සොයා ගැනීමට ආජන්ටිනා පොසිල විද්‍යාඥයන් සමත් වීම ඉතා වැදගත් මෙන්ම ඉතා වටිනා සිදුවීමක් ද විය.
එදා ‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝරයා කොතරම් විශාලදැයි පෙන්වීමට, ඩයිනසෝර පොසිල අස්ථි සොයා ගැනීමට දායක වුණු පොසිල විද්‍යාඥ ආචාර්ය දියේගෝ පෝල්, ඩයිනසෝරයාගේ කලවා අස්ථිය අසල වැතිරී ඡායාරූපයක් ගත්තේය. ලොව ප්‍රධාන පෙළේ පුවත් නාළිකාවලත්, පුවත්පත්වලත්, අන්තර් ජාලයේත් පළ වූයේ එම ඡායාරූපයයි. මේ සටහන සමඟ ද එම ඡායාරූපය පළ වෙයි.
2014 වසරේ, ආජන්ටිනාවේ, පැටගෝනියා පළාතේ කළ කැණීම්වලදී ‘පැටගෝ-ටයිටන්’ අස්ථි හමුවෙන අවස්ථාවේදී බීබීසී වාර්තා කණ්ඩායමක් ද එම ස්ථානයේ සිටියේය. පසුව ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඒ සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් ද නිර්මාණය කළේය. ‘ඇටන්බරෝ ඇන්ඩ් ද ජයන්ට් ඩයිනසෝර්’ යනුවෙන් බීබීසී හරහා අපට නැරැඹීමට හැකි වූයේ එයයි.
ඩයිනසෝර යෝධයා ‘පැටගෝ-ටයිටන්’ (Patagotitan) යනුවෙන් නම් කෙරුණේ පොසිල අස්ථි හමුවූයේ පැටගෝනියා Patagonia පළාතේ කැණීම් බිමකින් වීම නිසාය. ‘ටයිටන්’ (Titan) යන නම යෙදුණේ යෝධයකු වීම නිසාය. ග්‍රීක දේව පුරාණයට අනුව, ටයිටන්වරුන් යනු යෝධයන්ය.
‘පැටගෝ-ටයිටන්’ බොරු අස්ථි අනුරුව, ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රදර්ශනයේ තැබීමට ගෙන එද්දී, ආජන්ටිනාවෙන් හමුවුණු ‘පැටගෝ-ටයිටන්’ කලවා අස්ථිය ද කෞතුකාගාරයට ලබා දීමට ආජන්ටිනා පොසිල විද්‍යා කෞතුකාගාරය කැමැත්ත පළ කර තිබේ. ඒ තාවකාලික ප්‍රදර්ශයක් සඳහා පමණි.
‘පැටගෝ-ටයිටන්’ ඩයිනසෝර යෝධයාගේ සැබෑ කලවා අස්ථිය පමණක් නොව, හමුවුණු සෙසු පොසිල අස්ථිවලට ස්ථිර නිවහන ආජන්ටිනා පොසිල විද්‍යා කෞතුකාගාරයයි. මෙම කලවා අස්ථිය පමණක් මීටර් 2.4 ක් දිග වන අතර බර කිලෝ 500 කි. ‘පැටගෝ-ටයිටන්’ කලවා අස්ථිය සහ අනුරුව යුරෝපා කලාපීය රටක ප්‍රදර්ශනයට තැබෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.
෴ ලුසිත ජයමාන්න - Daily Mail