එය සැබැවින්ම ඓතිහාසික සිද්ධියකි. හරි අපූරු වික්‍රමයකි. යළි සඳ තරණය කිරීමේ අරමුණින්, ඇමෙරිකාවේ නාසා ආයතනය ආරම්භ කළ ‘ආර්ටිමිස් 1’ පුහුණු චන්ද්‍ර මෙහෙයුම, සති 3 කට පසු, පසුගිය 11 වැනිදා අවසන් විය. ඒ, ‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුම යටතේ සඳට වෙත ගිය, ‘ඔරායන්’ චන්ද්‍ර යානය (ගගන කැප්සියුලය) සඳුගේ කක්ෂයට පිවිසී, සඳ වටා ගමන් කිරීමෙන් පසු යළි පෘථිවිය බලා පැමිණීමත් සමඟය. එය නාසා ආයතනය කළ තවත් අපූරු වික්‍රමයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය.
‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුමේ සාර්ථකත්වයෙන් පසු, 2024 වසර මුලදී ‘ආර්ටිමිස් 2’ ඇරැඹෙයි. මෙය ද එක්තරා ආකාරයක පුහුණු මෙහෙයුමකි. ගගනගාමීහු තිදෙනෙක් මේ සඳහා සහභාගී වෙති. ‘ආර්ටිමිස් 2’ මෙහෙයුම යටතේ මෙම ගගනගාමීන් සඳට පය තබන්නේ නැත. ඔවුන් ‘ඔරායන්’ කැප්සියුලයෙන් සඳට ගොස්, සඳුගේ කක්ෂයට පිවිසී, සඳ වටා යෑමෙන් පසු ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.
‘ආර්ටිමිස් 2’ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් 2025 දී ‘ආර්ටිමිස් 3’ චන්ද්‍ර මෛහයුම ආරම්භ වනු ඇති අතර, එහිදී ‘ඔරායන්’ කැප්සියුලය නාසා ගගනගාමීන් සමඟ සඳට ගොඩබානු ඇත. පළමු වරට කාන්තාවක සඳට පය තබනු ඇත්තේ එම ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය.
මීට සති තුනකට පෙර, ‘ආර්ටිමිස් 1’ පුහුණු මෙහෙයුම ආරම්භ වූයේ නොවැම්බර් 16 වැනිදාය. නාසා ආයතනය සතු ප්‍රබලතම රොකට්ටුව වන ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතියේ ආධාරයෙන් ගගනගාමීන් කිසිවකු නොමැති ‘ඔරායන්’ කැප්සියුලය පෘථිවි කක්ෂයට තල්ලු කර යැවිණි.
රොකට්ටුවෙන් වෙන් වී පෘථිවි කක්ෂයට ගිය ‘ඔරායන්’ පෘථිවියේ ගුරුත්ව බලය ආධාර කර ගනිමින් Gravity Assist සඳ බලා ගියේය. ‘ඔරායන්’ කැප්සියුලය ගගනගාමීන් ගෙන යෑමට නිර්මාණය කර ඇති කැප්සියුලයකි. ආසන තුනකින් සමන්විත කැප්සියුලයේ ගගනගාමීන්ට අවශ්‍ය සියලු පහසුකම් තිබේ.
‘ආර්ටිමිස් 1’ මෙහෙයුමට සැබෑ ගගනගාමීන් සම්බන්ධ නොවුණත්, ඒ අසුන්වල සන්වේදක සවි කළ ‘බොරු ගගනගාමීන්’ (මිනිස් අනුරු එසේත් නැතිනම් ඩමි) අසුන් ගන්වා සහ නිදි කර තිබුණි. ඒ ආසන පටි පලඳවමිනි. සැබෑ ගගනගාමීන්ට කායික වශයෙන් සහ මානසික වශයෙන් සිදුවන බලපෑම නාසා විද්‍යාඥයන් අධ්‍යයනය කිරීම මෙහෙයුමේ එක් ප්‍රධාන අරමුණක් විය.
ආපසු ආ ‘ඔරායන්’ කැප්සියුලය, ඇමෙරිකාවේ වේලාවෙන් 11 වැනිදා උදෑසන 8 ට පෘථිවි වායු ගෝලයට පිවිසිණි. ඒ පෙර සැලැසුම් කළ ආකාරයටය. ‘ඔරායන්’ කැප්සියුලය, පහළට ඇදී ආවේ පැයට කිලෝ මීටර් 40,000 ක වේගයකිනි. එහිදී ඇති වුණු තාපය සෙල්සියස් අංශක 2,800 කි. එය හිරු මතු පිට පවතින තාපය මෙන් අඩකි. ‘ඔරායන්’ කැප්සියුලට ’තාප පළිහක්‘ Heat Shield සවි කර ඇත.
කැප්සියුලය පෘථිවි කක්ෂයට පිවිසී, පහළට ඇදී ආවේ තාප පළිහ පෘථිවිය දෙසට යොමු කරමිනි. එහෙයින් අධික තාපයෙන් කැප්සියුලයට අනතුරක් සිදු නොවිණි. ‘ඔරායන්’ කැප්සියුලය, පළමුවෙන් අත්හදා බැලීම් කළේ 2014 වසරේදීය. එය පෘථිවි කක්ෂයට යැවීම සහ ආපසු ගෙන්වා ගැනීම සිදු විය. කෙළින්ම පෘථිවි කක්ෂයට ගොස් ආපසු පෘථිවිය දෙසට පැමිණියේ පැයට කිලෝ මීටර් 32,187 ක වේගයකිනි.
11 වැනිදා පෘථිවි වායු ගෝලයට පිවිසි ‘ඔරායන්’ කැප්සියුලය, ගිනි ගෙන දැවෙමින්, පහළට ඇදී එද්දී ඊට සවි කළ පැරෂූට් දිග හැරුණි. ඒ වේගය අඩාල කරමින් පහළට පතිත කිරීමටය. පෙර සැලැසුම් කළ ආකාරයටම, කැප්සියුලය පතිත කෙරුණේ පැසිෆික් සාගරයේ, මෙක්සිකෝවට ඔබ්බෙන් පිහිටි ග්වාඩලූප් දූපත අසල මුහුදටය. ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස්. පෝට්ලන්ඩ්’ නෞකාව, හෙලිකොප්ටර් යානා සහ කුඩා බෝට්ටු කැප්සියුලය පහළට වැටෙන තුරු අහසට දෙසට නෙත් දල්වා ගෙන බලා සිටියේය.
පැරෂූට් දිග හැරී ‘ඔරායන්’ කැප්සියුලය මුහුදට සෙමින් පතිත වෙද්දී, ඊට කිලෝ මීටර් දහස් ගණනක් දුරින්, නාසා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් මැදිරිය ප්‍රීති ඝෝෂාවලින් පිරීගියේය. එය අසීරු අවදානම් මෙහෙයුමක් වූ අතර, මෙහෙයුම හිතුවාටත් වඩා සාර්ථක වී තිබුණි.
‘ඔරායන්’ කැප්සියුලය මුහුදට පතිත වුණු සැණින් නාවික හමුදාව ඊට ළං වූයේ නැත. තවත් පැය දෙකක කාලයක් ඔවුන්ට බලා සිටීමට සිදුවිය. ඒ අධික තාපයක් මැද ආ කැප්සියුලයට සිසිල් වීමට ඉඩ සලසමිනි. ‘ඔරායන්’ කැප්සියුලයේ ගගනගාමීන් සිටියේ නම්, පැය දෙකකට වැඩි කාලයක් නාවික හමුදාව බලා සිටිනු ඇත.
මුහුදට පතිත වීමෙන් පසු කැප්සියුලය ඇතුළත කෙමෙන් සිසිල් වන ආකාරය ගගනගාමීන් සිටියා නම් එය ඔවුන්ට බලපාන ආකාරය පිළිබඳ දත්ත රැස් කර ගැනීම ද සිදුවිය.
‘ඔරායන්’ කැප්සියුලය ඉතාමත් සුවිශේෂී එකකි. අනාගතයේ, 2025 සහ 2025 වසරෙන් ඔබ්බට සිදුවන සියලු චන්ද්‍ර මෙහෙයුම්වලදී යොදා ගැනෙනු ඇත්තේ මෙම කැප්සියුලයයි. ‘ඔරායන්’ කැප්සියුලයට සෙල්ෆි ඡායාරූප ගැනීමට පවා හැකියාව තිබුණි. ඒ එහි සූර්ය පැනලවලට සම්බන්ධ කළ කැමරාවලිනි.
සඳ බලා ගිය ගමන අතරතුරේ එසේ ලබා ගත් සෙල්ෆි ඡායාරූප නාසා ආයතනය ප්‍රසිද්ධියට පත් කළේය. එපමණක් නොව, ‘ඔරායන්’ කැප්සියුලය පෘථිවි කක්ෂයට ගොස් සඳට යෑම, සඳුගේ කක්ෂයට පිවිසී සඳ වටා යෑම සහ පසුව පෘථිවියට පැමිණ මුහුදට පතිත කිරීම ආදී සියල්ල සජීවීව අන්තර් ජාලය ඔස්සේ විකාශය කිරීමට ද නාසා ආයතනය පියවර ගත්තේ, මෙම සුවිශේෂී වික්‍රමය ලොව ඕනෑම කෙනකුට දකින්න ඉඩ සලස්වමිනි.
සඳුගේ කක්ෂයට පිවිසි ‘ඔරායන්’ කැප්සියුලය, සඳ මතුපිට සිට කිලෝ මීටර් 130 ක් ඉහළින් සඳ වටා ගමන් කළේය. කැප්සියුලය සඳේ අඳුරු කලාපය පසු කරද්දී, මිනිත්තු 34 ක කාලයක්, යානය සහ පෘථිවි පාලන මැදිරිය අතර සබඳතා බිඳ වැටුණු බව ද නාසා ආයතනය පැවැසීය. එම මිනිත්තු 34 කාලය තමන් නොඉවසිල්ලෙන් ගත කළ බව නාසා විද්‍යාඥයෝ පසුව පැහැදිලි කළහ.
‘ආර්ටිමිස් 1’ මෙහෙයුම ආරම්භ වී දින 16 ක් ගත වෙද්දී, දින 10 ක් සඳුගේ කක්ෂයේ රැඳී සිටි ‘ඔරායන්’ යානය සඳුගේ ගුරුත්ව බලය ආධාර කර ගනිමින් යළි පෘථිවිය බලා ගමන් ඇරැඹුවේය. එය පෘථිවිය වෙත පැමිණ, පැරැෂූට් ආධාරයෙන් මුහුදට පතිත කෙරුණේ ඉන් පසුවය. ‘ඔරායන්’ කැප්සියුලය මෙම ගමනේ දී වාර්තා පිහිටුවීමට ද සමත් විය. මෙය ගගනගාමීන් එසේත් නැතිනම් මිනිසුන් ගෙන යෑමට නිර්මාණය කළ කැප්සියුලයකි.
එහෙයින්, මිනිසුන් ගෙන යෑමට නිපදවූ කැප්සියුලයක් පෘථිවියේ සිට වැඩිම දුරකට ගමන් කිරීමේ වාර්තාව පිහිටුවූයේ ‘ඔරායන්’ කැප්සියුලයයි. කැප්සියුලය නොවැම්බර් 26 වැනිදා සඳුගේ කක්ෂය රැඳෙමින් පෘථිවියේ සිට කිලෝ මීටර් 432,000 ක් දුරට ගියේය. වාර්තාව එයයි.
‘ආර්ටිමිස් 3’ යටතේ ඇමෙරිකන් සුදු ජාතිකයකු නොවන ගගනගාමියකු ද සඳට යනු ඇත. මේ සියල්ල සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයකි.
‘ආර්ටිමිස්’ මෙහෙයුම් සියල්ල සඳහා යොදා ගන්නේ ‘ඔරායන්’ ය. මීට වසර 50 කට පෙර සඳ තරණය සිදුවූයේ ‘ඇපලෝ’ මෙහෙයුම්වලිනි. ‘ඇපලෝ’ යනු හිරු සහ ආලෝකයට අධිපති දෙවියාය. ග්‍රීක දේව පුරාණයට අනුව, ‘ඇපලෝ’ දෙවියන්ට නිවුන් සොහොයුරියකි. ඇය ‘ආර්ටිමිස්’ ය.
නාසා ආයතනයේ යළි සඳ තරණ මෙහෙයුම් ‘ආර්ටිමිස්’ යනුවෙන් නම් කෙරුණේ, පළමු වරට කාන්තාවක සඳට පය තබන නිසාය. සඳ තරණය, ගවේෂණය සහ ජනාවාස පිහිටුවා ගැනීම ‘ආර්ටිමිස්’ මෙහෙයුම් මාලාවට පාදක වන අතර, ‘ආර්ටිමිස්’ මෙහෙයුම් අවසන් වෙද්දී, නාසා ආයතනය අඟහරු හෙවත් රතු ග්‍රහයා බලා ගගනගාමීන් යැවීම අරඹනු ඇත.
නාසා ආයතනය ‘ඇපලෝ’ මෙහෙයුම් ආරම්භ කළේ මිනිසුන් සඳට යැවීමේ සහ ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීමේ අරමුණින්ය. ‘ඇපලෝ’වැඩසටහන මෙහෙයුම් 11 කින් සමන්විත විය. නාසා ආයතනය‘ඇපලෝ’ මෙහෙයුම් ආරම්භ කළේ 1961 වසරේදීය. 1962 සිට 1972 තෙක් කාලයේ, ‘ඇපලෝ’ මෙහෙයුම් 6 ක් සාර්ථක විය. ඒ, ඇපලෝ 11, 12,15, 16 සහ 17 ය.
‘ඇපලෝ 7’ සහ ‘ඇපලෝ 9’ චන්ද්‍ර කැප්සියුල අත්හදා බැලීමේ මෙහෙයුම් වූ අතර, ඒවා පෘථිවි කක්ෂයට ගොස් සඳ වටා කැරැකී ආපසු පැමිණියේය. ‘ඇපලෝ 8’ සහ ‘ඇපලෝ 10’ සඳුගේ කක්ෂය වටා යමින් අත්හදා බැලීම් සම්පූර්ණ කළේය. සඳ මතුපිට ඡායාරූප ගැනීම ද කළේය. ‘ඇපලෝ 13’ සඳට පතිත කිරීමට නියමිතව තිබුණ ද සඳට ළං වෙද්දී තාක්‍ෂණික ගැටලු මතු විය. කෙසේ නමුත් ගගනගාමීන් තිදෙනාට නිරුපද්‍රිතව ආපසු ඒමට හැකි විය.
මුලින්ම මිනිසුන් සඳට යැවීම සිදුවූයේ ඇමෙරිකා නාසා ආයතනයේ ‘ඇපලෝ’ මෙහෙයුම් මාලාවේ, ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේය. පළමුවෙන් සඳට පය තැබුවේ නාසා ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං ය. ආම්ස්ට්‍රෝං සමඟ එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රීන් සඳට ගියේය. ඒ, 1969 ජූලි 20 වැනිදාය.
නාසා ආයතනය සඳ මෙහෙයුම් අවසන් කළේ හරියටම මීට අවුරුදු 50 කට පෙරය. අවසන් ‘ඇපලෝ’ මෙහෙයුම වූයේ ‘ඇපලෝ 17’ ය. ‘ඇපලෝ 17’ මෙහෙයුම යටතේ සඳට පය තැබුවේ යූජීන් සර්නන් සහ හැරිසන් ෂ්මිත් නාසා ගගනගාමීන් දෙදෙනාය. සඳට පය තැබූ අවසන් මිනිසුන් දෙදෙනා ලෙස සැලකෙන්නේ මොවුන් දෙදෙනාය. ‘ඇපලෝ’ වැඩසටහන් මාලාව යටතේ සඳට ගිය ගගනගාමීන් ගණන 12 කි.
ස්තුතිය - නාසා ආයතනයට