
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, පසුගිය ජනවාරියේ, සිය දෙවැනි ධුර කාලය ආරම්භ කළ අවස්ථාවේ පටන් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බව පවසන්න විය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත්තේ, යුක්රේනය නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ යනු ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවේ එදිරිවාදිකම්වලට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාවේ අසල්වැසියා යුක්රේනය වන අතර, යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවීම රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි.
එබැවින්, පුටින් යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේය.
ට්‍රම්ප් බලයට පැමිණීමෙන් පසු, අවස්ථා කීපයකදී රුසියන් ජනාධිපති පුටින් ඇමතුවේය. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවිය. සාමය ගැන කතා කළත් යුද්ධය අවසන් කිරීමට කැමැති යැයි කීවත්, පුටින්ගේ අණ පරිදි දිගින් දිගටම රුසියන් හමුදා යුක්රේනයට පහර දෙන්න විය. දින 12 ක් ඇතුළත වහා සටන් විරාමයකටත්, සාම වැඩපිළිවෙළකටත් නොයන්නේ නම්, රුසියාවට පනවා ඇති සම්බාධකවලට අමතරව, සියයට 100 ක තීරු බදු පනවන බවට ද ට්‍රම්ප්, තර්ජනය කළේය. ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා ඇත්තේ ද රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය නිසාය.
පසුගිය 15 වැනිදා (ශ්‍රී ලංකාවේ වේලාවෙන් 16 වැනිදා අලුයම) ලෝක බලවතුන් දෙදෙනා වන ට්‍රම්ප් සහ පුටින් එකිනෙකා හමුවූයේ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. ඇලස්කාවේදී එම හමුව පැවැත්වීමට කටයුතු ලහිලහියේ සැලැසුම් කෙරුණි. ඇලස්කාව යනු ඇමෙරිකාවේ කොටසකි. ඇමෙරිකාවට අයත් විශාලතම ජනපදය ඇලස්කාවය. ඒ අනුව ට්‍රම්ප් පුටින් හමුව පැවැත්වූයේ ඇමෙරිකාවේය.
ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් හමුදා කඳවුරට ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැමිණියේ ඔහුගේ එයාර් ෆෝස් 1 නිල ගුවන් යානයෙනි.
රුසියන් ජනාධිපති පුටින්, ගුවන් කඳවුරට පැමිණියේ ඔහුගේ නිල ගුවන් යානයෙනි. ඊට ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් එෆ් 35 ප්‍රහාරක යානාවල ආරක්ෂාව ද හිමිවිය. ට්‍රම්ප්ගේත් පුටින්ගේත් ගුවන් යානා ගුවන් කඳවුරේ, එකිනෙකට ආසන්නයේ, ඒවාට නියමිත ස්ථානවල නතර කෙරුණු අතර, නායකයෝ දෙදෙනා රතු පලස මතින් එකිනෙකා හමුවූයේ ඉතා උණුසුම් ලෙස අතට අත දෙමිනි.
මුලින් ගුවන් යානයෙන් බිමට බැසගත්තේ ට්‍රම්ප්ය. ඉන්පසු ඔහු ප්‍රධාන රතු පලස දිගේ පැමිණ නතර වී, පුටින් ගුවන් යානයෙන් බැස පැමිණෙන තුරු බලා සිටියේය.

දෙදෙනා එකිනෙකාට අතට අත දුන්නේ සුවදුක් විමසමිනි. එදිරිවාදිකම් පසෙකට දමා, ලෝක නායකයන් දෙදෙනකු මේ අයුරින් සුහදව එකිනෙකා හමුවීම සුවිශේෂී අවස්ථාවක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දුන්හ. ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී පවා පුටින් සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යෑමට උත්සාහ කළේය. ට්‍රම්ප් පවසන්නේ තමන් දිගටම බලයේ සිටියා නම්, රුසියාවත් යුක්රේනයත් අතරේ යුද්ධයක් හට ගන්නේ ද නැති බවය. ට්‍රම්ප් සහ පුටින් හමුවෙද්දී, නායකයන් දෙදෙනාගේ අභිනය අනුව, දෙදෙනා අතරේ කුළුපඟ මිත්‍රත්වයක් ඇති බව පෙන්නුම් කෙරුණි. ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අතරේ මෙවැනි හිතවත්කමක් නැත.
හේතුව, ට්‍රම්ප්, සැමවිටම සෙලෙන්ස්කී සලකන්නේ ඔහුට වඩා පහළ තැනැත්තකු ලෙස වීම නිසාය. පුටින්, ඇලස්කාවට පැමිණෙද්දී, ඇලස්කා වැසියන් විරෝධතා පෙළපාළි පවත්වනු දකින්න ලැබුණි. ඒ, පුටින් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට එරෙහිවය.
රතු පලස මතින් ඇවිද එද්දී, ලෝක බලවතුන් දෙදෙනාට ඉහළින් ඇමෙරිකාවට අයත් අති ප්‍රබල බී2 යානා සහ එෆ් 35 ප්‍රහාරක යානා පියාසර කරන්න විය. ඇමෙරිකාව සතු ප්‍රබලතම බෝම්බ හෙලන ගුවන් යානය ලෙස සැලකෙන්නේ බී2 යානයයි. ඇමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් බෝම්බ දැම්මේ ද බී2 යානාවක් භාවිතයට ගනිමිනි.
ඉන්අනතුරුව නායකයන් දෙදෙනා නතර වූයේ මාධ්‍යවේදීන් ඉදිරියේය. ‘ඔබ යුක්රේනයේ සිවිල් වැසියන් අමු අමුවේ මරන්නේ ඇයි?’ යැයි මාධ්‍යවේදීන් කෑගසමින් පුටින්ගෙන් ප්‍රශ්න කරද්දී, කිසිවක් නෑසුණු අයුරින් පුටින් සහ ට්‍රම්ප් දෙදෙනා ට්‍රම්ප්ගේ නිල රථයට ගොඩවුණු අතර, ඔවුන් කඳවුර තුළට ගියේ එම රථයෙනි.
කඳවුර තුළදී සාකච්ඡා සඳහා ජනපතිවරුන් දෙදෙනාට අමතරව, දෙරටේ රාජ්‍ය නිලධාරීහු ද එක් වී සිටියහ. රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් සහ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද එහි සිටියහ.
රාජ්‍ය නායකයන් දෙදෙනා සහ සෙසු පිරිස අසුන් ගත් තැනට ඉදිරියෙන් රැස්ව සිටි මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පින්ය. ඔවුන් ට්‍රම්ප්ගෙන් සහ පුටින්ගෙන් ප්‍රශ්න කිරීම් කළත් නායකයන් දෙදෙනා ඒවාට පැහැදිලි පිළිතුරු ලබා දුන්නේ නැත. සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන් හමුවේ කයිවාරු ගසන ට්‍රම්ප්, අනවශ්‍ය ලෙස කිසිවක් පැවැසුවේ ද නැත. ඉන්පසු මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් තොරව පැය 3 කට ආසන්න කාලයක් තිස්සේ ට්‍රම්ප් පුටින් සාකච්ඡාව පැවැත්විණි.
ට්‍රම්ප් සහ පුටින්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්වූයේ ඉන් අනතුරුවය. ඉතා හොඳින් සාකච්ඡා පැවැත්වුවත්, රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සඳහා පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට හෝ සටන් විරාමයකට යෑමට හෝ නොහැකි වූ බව පුටින් මෙන්ම ට්‍රම්ප් ද මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
පුටින් අදහස් දැක්වීම කළේ රුසියන් බසිනි. තමන් නේටෝ සාමාජිකයන් සමඟත්, මෙම අර්බුදයට අදාළ පාර්ශ්වකරුවන් සමඟත්, විශේෂයෙන්ම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙසන්ස්කී සමඟත් සාකච්ඡා කරන බව මාධ්‍ය හමුවේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසීය. තමන්ට රුසියන් ජනාධිපති පුටින් හමුවීමට ඉඩ සලසා දීම සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝටත්, ස්ටීව් විට්කොෆ්ටත් ට්‍රම්ප් ස්තුති කළේය.
අවසන් වශයෙන් තමන් සමඟ සාකච්ඡා කිරීමට පැමිණීම සම්බන්ධයෙන් ට්‍රම්ප්, රුසියන් ජනාධිපතිවරයාට ස්තුති කළේය. ඒ, ව්ලැදිමීර් යනුවෙන් ඔහු අමතමිනි. ට්‍රම්ප් සහ පුටින්ගේ ළෙන්ගතුකම කොතරම්දයි එයින් පැහැදිලි විය. 'ස්තුතියි මම ඉක්මනින් ආයේ ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා' යැයි ට්‍රම්ප් කියද්දී, ට්‍රම්ප්ට ස්තුති කරමින් පුටින් ඉංග්‍රීසියෙන් පිළිතුරු දුන්නේ, 'මීළඟ වතාවේ මොස්කව් නුවරදී හමුවෙමු' යැයි කියමිනි.
'ඒක නම් ඇත්තටම මා බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි. අපි බලමු' යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා ඊට පිළිතුරු දුන්නේය. ට්‍රම්ප් සහ පුටින් අතරේ හමුව අවසන් වූයේ එලෙසිනි.
යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය හේතුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, ඇමෙරිකාව පමණක් නොව, සෙසු යුරෝපා රටවල් ද සම්බාධක පනවා ඇත. පුටින් යුද අපරාධකරුවකු යැයි චෝදනා කර ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ද නිකුත් කර ඇත. මෙවැනි තත්වයක් යටතේ පුටින්ට විදෙස් ගමන් බිමන් කළ නොහැකිය. පුටින්ට, යුරෝපා රටවලට ඉහළින් ගුවනින් ගොස් ට්‍රම්ප් හමුවිය නොහැකිය. ඇලස්කාව යනු, පුටින්ට, ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවීමට පහසුවෙන්ම ළඟා වීමට හැකි වූ ස්ථානයයි.
ඇලස්කාව ඇමෙරිකාවේ කොටසක් වුවත්, ඇමෙරිකාවේ ප්‍රධාන භූමියට සම්බන්ධ වන්නේ නැත.
අතීතයේ ඇලස්කාව අයිතිව තිබුණේ රුසියානු අධිරාජ්‍යයටය. 1853 සිට 1856 දක්වා කාලයේ පැවැති ක්‍රිමියානු යුද්ධය හේතුවෙන්, රුසියාව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නේය. ඔවුන් සතු වූ ඇලස්කාව පාලනය සහ නඩත්තු කිරීම ගැටලුවක් විය. බ්‍රිතාන්‍යය ඇලස්කාව ගැන ඇස ගසාගෙන සිටියේය.
ඇලස්කාව කැනඩාවට සමීපව පිහිටි නිසා, රුසියානු-බ්‍රිතාන්‍ය යුද්ධයක් ඇති වුවහොත් ඇලස්කාව බ්‍රිතාන්‍ය හමුදා විසින් පහසුවෙන් අල්ලා ගනු ඇතැයි රුසියාව බිය විය. එබැවින්, එය ප්‍රතිවාදියකුට යටත් වීමට ඉඩ නොදී, එදා මිත්‍රශීලී රටක් වූ ඇමෙරිකාවට විකුණා දැමීම වඩාත් බුද්ධිමත් තීරණයක් බව එදා රුසියානුවෝ සිතූහ. ඒ අනුව, 1867 දී රුසියානු සාර් (රජු) දෙවැනි ඇලෙක්සැන්ඩර්, රජු, ඇලස්කාව නැමති භූමිය රුසියාවට විකිණීමට තීරණය කළේය.
ඇමරිකාවේ එවකට රාජ්‍ය ලේකම්වරයා වූ විලියම් එච්. සෙවර්ඩ් මෙම ගනුදෙනුව සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. 1867 මාර්තු 30 වැනිදා ඇමෙරිකානු ඩොලර් මිලියන 7.2 කට රුසියාව, ඇමෙරිකාවට ඇලස්කාව විකුණා දැමීම සිදු කළේය.
ඇලස්කාවේ භූමිය වර්ග කිලෝමීටර් 1,518,800 ක් වන අතර, අක්කරයක් විකුණා දැමීම සිදුවූයේ ඩොලර් සත දෙකක මුදලකටය. ලෝක සිතියම ගත් විට ඇලස්කාව වඩාත් සමීප ඇමෙරිකාවට නොව රුසියාවටය. ඇලස්කාව සහ රුසියාව බෙරිං සමුද්‍ර සන්ධියෙන් වෙන් වෙයි. අන්තර්ජාතික දින රේඛාව වැටී ඇත්තේ ද මේ අතරිනි.
ඇලස්කාව සහ රුසියාව අතර පිහිටි දූපත් දෙක ඩයොමීඩ් දූපත් ලෙස හැඳින්වෙයි. ඒ අතරින්, බිග් ඩයොමීඩ් දූපත අයිති රුසියාවටය. ලිට්ල් ඩයොමීඩ් දූපත අයිති ඇලස්කාවටය. දූපත් දෙක පිහිටා ඇත්තේ බෙරිං සමුද්‍ර සන්ධියේය. දූපත් දෙක අතරේ දුර කිලෝමීටර් 4ක් පමණයි.
ජාත්‍යන්තර දින රේඛාව මෙම දූපත් දෙක අතරින් ගමන් කරන බැවින්, මුලින්ම හිරු උදා වෙන්නේ බිග් ඩයොමීඩ් දූපතට වන අතර, අවසානයේ හිරු බැස යන්නේ ලිට්ල් ඩයොමීඩ් දූපතෙනි. බිග් ඩයොමීඩ් දූපත ලිට්ල් ඩයොමීඩ් දූපතට වඩා පැය 21ක් ඉදිරියෙන් පිහිටයි. ශීත කාලයට දූපත් දෙක අතරේ මුහුද අයිස්වලින් මිදෙයි. එවිට, රුසියාවේ සිට පයින් ඇමෙරිකාවට (ඇලස්කාවට) යෑමට හැකිය.
ලුසිත ජයමාන්න
බීබීසී ඇසුරිනි