
රත්තරන් බිත්තර දමන කිකිළියගේ සුරංගනා කතාව දන්නවා නේද? එහෙම කිකිලියක් සිටිනවා නම් කොතරම් අපූරුද? මේ කියන්න හදන්නේ රත්තරන් පිට කරන සතෙකු ගැනයි. නැහැ. මේ සතා රත්තරන් බිජු දමන්නේ නම් නැත. රත්තරන් පිට කරන මේ ජීවියා පුංචිම පුංචි ඇසට නොපෙනෙන ක්ෂුද්‍රජීවියෙකි.
මේ සතාගේ දමන්නේ රත්තරන් බිත්තර නොව, රත්තරන් බෙටිය. කොහොමද එහෙම වෙන්නේ? මේ ක්ෂුද්‍රජීවීයා මොකාද? ඇත්තටම රත්තරන් බෙටි දමනවද? මේ කියන්න හදන්නේ ඒ ගැන තමයි.
නොයෙක් විදියේ බැක්ටීරියා අතරේ, රත්තරන් බෙටි දමන මේ අපූරු බැක්ටීරියාව හැඳින්වෙන්නේ කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් Cupriavidus Metallidurans යනුවෙනි.
අප ලෝකයේ ඇසට නොපෙනෙන, පුංචිම පුංචි ජීවීන් සිටී. බැක්ටීරියා විදියට හැඳින්වෙන්නේ එම ජීවීන්ය. බැක්ටීරියා යනු ඒක සෛලී ජීවීන් විශේෂයකි. බැක්ටීරියා අප ශරීරයේ පමණක් නොවෙයි, පොළොවේ, වතුරේ, වාතයේ පමණක් නොවෙයි සෑම තැනකම සිටී.
ඇතැම් බැක්ටීරියා ලෙඩ රෝග ඇති කරයි. ඒත් සමස්ථයක් විදියට බොහෝ බැක්ටීරියා අපට බොහෝසෙයින් ප්‍රයෝජනවත්ය. අපේ පැවැත්මට ප්‍රයෝජනවත්ය. අප සිරුරේ හොඳ බැක්ටිරියා බොහෝය. සිරුරට අවශ්‍ය විටමින් සෑදීමට බැක්ටීරියා උදවු වෙයි. සිරුර නිරෝගීව තබා ගැනීමට බැක්ටීරියා උදවු වෙයි.
අසනීප වූ විට, අප වෛද්‍ය උපදෙස් නොමැතිව, හිතුමතේ ප්‍රතිජීවක ඖෂධ භාවිතයට ගනිද්දී සිදුවන්නේ ද නරක බැක්ටීරියා සමඟ හොඳ බැක්ටීරියා ද විනාශ වීමය. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිජීවක ඖෂධ භාවිතය කළ යුතුය. අප යෝගට් කන්න ආසයිනේ. යෝගට් හදන්න උදවු වෙන්නෙත් බැක්ටීරියා තමයි.
බැක්ටීරියා ප්‍රධාන වශයෙන් ආකාර තුනකට වෙන් කරන්න පුළුවනි. ගෝලාකාර (Cocci) බැක්ටීරියා යනු එක් වර්ගයකි. මේවා ගෝලයක හැඩය ගනී. දඬු හැඩැති (Bacilli) බැක්ටීරියා දෙවැනි වර්ගයයි. මේවා සිලින්ඩරාකාර හෝ දඬු කැබැල්ලක් වැනි හැඩයක් ගනී. සර්පිලාකාර Spirilla) බැක්ටීරියා යනු තෙවැනි වර්ගයයි. මේවා සර්පිලාකාර හෝ කැරකුණු හැඩයක් ගනී. බැක්ටීරියා ගැන සරල අවබෝධයක් ලැබුණු නිසා දැන් අපි යමු මේ කතාවේ කතා නායකයා දිහාවට.
රත්තරන් බෙටි දමන කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් බැක්ටීරියාව, අයත් වන්නේ දඬු හැඩැති බැක්ටීරියා වර්ගයටය. මේ බැක්ටීරියා බහුලව වාසය කරන්නේ බර ලෝහ ඇති පස්වලය. රත්තරන් ඉතා වටිනා දෙයක්. ඒත් පරිසරයේ ඇති රත්තරන් සංයෝග (gold ions) ඇතැම් විට අනකුත් ජීවීන්ට විෂ විය හැකිය.
කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් බැක්ටීරියාවට නම් මේ විෂ රත්තරන් සංයෝග රසවත් කෑමකි. මේ විදියට විෂ රත්තරන් කෑමට ගනිමින්, කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් පරිසරයට කරන්නේ ලොකු මෙහෙවරකි. එය ඇත්තටම වීර ක්‍රියාවකි.
කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් බැක්ටීරියාව පරිසරයේ (පස්වල) ඇති විෂ සහිත රත්තරන් සංයෝග උරා ගැනීමක් නැතිනම් ආහාරයට ගැනීමක් කරයි. ඒවා බෙටි ලෙස පිටවන්නේ, අපට හුරු පුරුදු, අපට කිසිම හානියක් නැති, ඝන රත්තරන් (Metallic Gold) බවට පත් කරමිණි.
අප රත්තරන් යැයි හදුනන්නේ මේ ඝන රත්තරන්ය. මෙලෙස නිර්මාණය වන රත්තරන් ඉතාම කුඩා අංශු ලෙස බැක්ටීරියාවේ පිටත පෘෂ්ඨයේ එකතු වෙයි. මේ නිසා රත්තරන් තැන්පත් වී තියෙන තැන් වල, මේ බැක්ටීරියා බහුල වශයෙන් දැකගත හැකිය. පරිසරයට හානි කරන විෂ සහිත සංයෝග, වටිනා ලෝහයක් වන රත්තරන් බවට පත් කිරීමට කප්රියාවිඩස් මෙටැලිඩුර්නස් සතු හැකියාව සැබැවින්ම පුදුමසහගතය.
රත්තරන් යනු රසායනික මූලද්‍රව්‍යයකි. එහි රසායනික සංකේතය Au වන අතර, පරමාණුක ක්‍රමාංකය 79 ලෙස සටහන් වෙයි. ස්වභාවිකව පොළොවේ හමුවෙන මේ ලෝහය, කහ පැහැයක් ගන්නා අතර, එය ඉතා වටිනා ලෝහයක් ලෙස ලොව පුරා පිළිගෙන අවසන්ය.
රත්තරන් වල විශේෂ ලක්ෂණ කීපයකි.
රත්තරන් ඉතා මෘදු ලෝහයකි. ඒ නිසා පහසුවෙන් එය විවිධ හැඩතලවලට සකස් කළ හැකිය. මෙය ආභරණ සෑදීම වැනි දේ සඳහා ඉතා වැදගත් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි.
සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේදී රත්තරන් මල බඳින්නේ නැති බැවින්, එහි දීප්තිය සහ වටිනාකම දිගු කාලයක් පවතී.
රත්තරන් වටිනා ලෝහයක් පමණක් නොවෙයි, ඉතා දුර්ලභ ලෝහයකි. දුර්ලභ බැවින් රත්තරන් මිල ඉහළ යයි. රත්තරන්වල පිරිසිදුකම මනින්නේ කැරට් (Carat) වලිනි. කැරට් 24 යනු පිරිසුදුම රත්තරන්ය. කැරට් 22 යනු රත්තරන් සියයට 91.6% ක් සහ වෙනත් ලෝහ (තඹ, රිදී වැනි) 8.4% ක් මිශ්‍ර කර සාදාගත් රත්තරන්ය. සාමාන්‍යයෙන් ආභරණ සඳහා 22 කැරට් රත්තරන් භාවිතා කරයි. ඒ එහි ස්ථීරභාවය වැඩි නිසාය.
ඉලෙක්ට්‍රොනික උපකරණ නිපදවීමට, වෛද්‍ය ක්ෂේත්‍රයේදී සහ අභ්‍යවකාශ තාක්ෂණ කටයුතුවලදී පවා රත්තරන් භාවිතයට ගනී.
රත්තරන් පෘථිවියේ ස්වභාවිකව සෑදුණු දෙයක් නොවෙයි. රත්තන් සෑදුණේ විශ්වයේ සිදුවුණු ඉතාම බලගතු සිදුවීම් මාලාවක් නිසා යැයි විද්‍යාඥයෝ පවසති. රත්තරන් සෑදෙන්න ප්‍රධාන හේතුව නියුට්‍රෝන තරු දෙකක් එකිනෙක ගැටීම යැයි තාරකා විද්‍යාඥයන්ගේ අදහසය. එසේ සෑදුණු රත්තරන්, පෘථිවිය බිහිවෙද්දී ග්‍රහක සහ උල්කා හරහා පෘථිවියට පැමිණෙන්න ඇතැයි පැවැසෙයි. එසේනම් අප පළඳින රන් ආභරණ ඈත අභ්‍යවකාශයේ සිදුවුණු බලවත් සිදුවීමක ප්‍රතිඵලයක්. පුදුමයි නේද?
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි