අමුතු විදියේ කිඹුලෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 22, 2026

අමුතු විදියේ කිඹුලෙක්

වසර මිලියන 215 කට පෙර බ්‍රිතාන්‍යයේ දකුණු දිග ප්‍රදේශවල සැරිසැරූ, ඉතා වේගයෙන් දිවිය හැකි සුවිශේෂී කිඹුල් විශේෂයක තොරතුරු විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. ගැලහැඩොසුකුස් ජොනේසී (Galahadosuchus jonesi) ලෙස නම් කර ඇති මෙම සත්වයා, වර්තමාන කිඹුලන්ට වඩා බෙහෙවින් වෙනස්, සිහින් සිරුරක් සහ දිගු පාද ඇත්තෙකි.

විද්‍යාඥයන් පවසන පරිදි මෙම සත්වයාගේ පෙනුම, ග්‍රේ හවුන්ඩ් වර්ගයේ දිගු පා සහ කෙසඟ සිරුරක් ඇති ග්‍රේ හවුන්ඩ් වර්ගයේ රේස් බල්ලකුට සමානය. මේ කිඹුලාට ගොඩබිම මත ඉතා වේගයෙන් ඇවිදමින් සහ දුවමින් කුඩා උරගයන් සහ ක්ෂීරපායීන් දඩයම් කිරීමේ හැකියාව තිබුණු බව විද්‍යාඥයන්ගේ අදහසය. 

මේ සත්වයාගේ පොසිල අස්ථි කොටස් විද්‍යාඥයන්ට හමුවී ඇත්තේ අද ඊයේ නොවෙයි. 1960 දශකයේය. 1969 වසරේ සිට පොසිල අස්ථි ලන්ඩන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරය සතුව පැවැතිණි. වෙනත් පොසිල වර්ග සමඟ මිශ්‍ර වී තිබූ ඒවා, නව කිඹුල් විශේෂකයකට අයක් බව හඳුනාගැනීමට දශක පහකට වඩා වැඩි කාලයක් ගත විය.
ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයකු වන යුඇන් බෝඩන්හැම් විසින් සිදු කරනු ලැබූ සූක්ෂ්ම පරීක්ෂාවකදී, මෙතෙක් දන්නා අනෙකුත් කිඹුල් මුතුන්මිත්තන්ට වඩා ව්‍යුහමය වෙනස්කම් 13ක් මෙම සත්වයා සතු බව තහවුරු විය. විශේෂයෙන්ම මොවුන්ගේ මැණික් කටුව ආශ්‍රිත අස්ථි කෙටි සහ ශක්තිමත් වීම මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයකි. 

මෙම නව විශේෂයට ගැලහැඩොසුකුස් ජොනේසී යන නම තැබීමේදී බෝඩන්හැම් සුවිශේෂී ක්‍රමවේදයක් අනුගමනය කර ඇත. සත්වයාගේ සෘජු ශරීර ස්වභාවය (Upright stance) නිරූපණය කිරීම සඳහා ආතර් රජුගේ කථා පුවතේ සඳහන් වන ගැලහැඩ් (Galahad) නයිට්වරයාගේ නම යොදාගෙන තිබේ. Jonesi යන නම යොදා ඇත්තේ බෝඩන්හැම්ගේ පාසල් කාලයේ ඔහුට විද්‍යාව ඉගැන්වූ ජෝන්ස් නමැති ගුරුවරයාට උපහාරයක් වශයෙනි. 

ලුසිත ජයමාන්න 
The Sun ඇසුරිනි

Classified_Ad