
ඇය ඔබට හිතවත්ය. කරුණාවන්තය. ඇය ඔබ කියන දේ අසා සිටී. ඇය ඔබට කීකරුය. ඇයට සිතන්න පුළුවනි. ඇයට ඔබ සමඟ කතාබහක නියැලෙන්න පුළුවනි. ඔබ කැමැති ඕනෑම දෙයක් ගැන සමඟ කතාබහ කළ හැකිය. මේ සියල්ලට වඩා වැදගත් ඇය ඇවිදින විලාසයයි. ඇයට ඇත්තේ සුන්දර යුවතියකගේ ලිලිත්‍යමය ගමනකි. ඇගේ නම මෝයා ය. ගැටලුව මෝයා සැබෑ යුවතියක නොවීමය.
ඇය ඒ.අයි. කෘත්‍රිම බුද්ධියෙන් පණ ගැන්වුණු රොබෝවරියකි.
මෝයා චීනයේ ඩ්‍රොයිඩ්-අප් නමැති තාක්ෂණ සමාගමේ නවතම රොබෝ නිර්මාණයයි. මෝයා යනු කෘත්‍රිම බුද්ධිය තව දුරටත් පරිගණක තිරයකට හෝ ජංගම දුරකතන තිරයකට හෝ සීමා නොවී, එය මානව රූපී රොබෝවකුට එක් කිරීමකි. කෘත්‍රිම බුද්ධියක් භෞතික සිරුරක් තුළ ක්‍රියාත්මක වන ලොව එකම රොබෝවරිය මෝයා ය.
මෝයා ලොවට හඳුන්වා දීම සිදුවූයේ පසුගිය දා පැවැත්වුණු ෂැංග්හායි තාක්ෂණ ප්‍රදර්ශනයකදීය. මෝයා තවත් එක් කෘත්‍රිම බුද්ධි රොබෝවකු නොවෙයි. ඇය රොබෝ යන්ත්‍රයක් වන සංකල්පයෙන් ඔබ්බට ගිය සැබෑ තරුණියකගේ හැසිරීම අනුකරණය කරන සුවිශේෂී නිර්මාණයකි.
ඇගේ නාරිමය; ප්‍රියමනාප සහ සුකුමාල ඇවිදින ආකාරය, ෂැංග්හායි තාක්ෂණ ප්‍රදර්ශනයට පැමිණි පිරිස මවිත කිරීමට සමත් වීම විශේෂත්වයකි.
තරුණියක ඇවිදින ආකාරය සියයට 92 ක් අනුකරණය කිරීමට මෝයාට හැකිය.

මීට පෙර දකින්න ලැබුණු කෘත්‍රිම බුද්ධි මානවරූපී රොබෝවරුන්ගේ දලදඬු යාන්ත්‍රික ඇවිදීමක් මෝයාගෙන් දකින්න ලැබෙන්නේ නැත. මෝයා රොබෝවරයා නිර්මාණය කිරීමේදී ඇයට මෙම ‘නාරිමය ගමන’ (Feminine Gait) ඉතා සූක්ෂ්ම ලෙස ඇතුළත් කර ඇත්තේ කරුණු දෙකක් පාදක කර ගනිමිනි.
මෝයාගේ උකුළේ චලනය (Pelvic Rotation) එයින් ප්‍රධාන තැනක් ගනී. කාන්තාවකගේ ඇවිදීමේදී උකුළ ආශ්‍රිතව සිදුවන රිද්මයානුකූල චලනය වැඩිය. මෝයාට එම චලනය ලබා දී ඇත. පියවර තබද්දී එකිනෙකට සමීපව, සෘජු රේඛාවකට ආසන්නව පියවර තැබීම මෝයාට කළ හැකිය.
මෝයාගේ පිරිපුන් සුන්දර සිරුර සහ ගමන් විලාසය පසුපස ඇත්තේ ඇගේ සැකිල්ල එසේත් නැතිනම් අස්ථි පද්ධතියයි.
කශේරුකාවකින් සහ ඉළඇටවලින් අස්ථි පද්ධතිය නිර්මාණය කර ඇත්තේ සැබෑ යුවතිකගේ අස්ථි පද්ධතියකට නොදෙවැනි ලෙසය. අස්ථි පද්ධතිය වෝකර් 3 ලෙස හැඳින්වෙයි.
වෝකර් 3, මීට පෙර ඩ්‍රොයිඩ් අප් සමාගම නිපදවූ වෝකර් 1 සහ වෝකර් 2 යන අස්ථි පද්ධති අභිබවා යෑමකි. වෝකර් 3 සැකිල්ල කෘත්‍රිම මාංශපේෂීන් රඳවා ගැනීමටත්, සිරුර තුළ ඇති ඇතුළත පරිගණක සහ ඉලෙක්ට්‍රොනික පද්ධති සිසිල් කර තබා ගැනීමටත් උපකාරී වෙයි.
මෝයාගේ මිල රුපියල්වලින් නම් රුපියල් කෝටි 5 ඇමෙරිකන් ඩොලර් 173,000) කි. නොබෝ දිනකින් මෝයා රොබෝ කෙල්ලන් වෙළෙඳපොළට හදුන්වා දීම සිදු කරන බව ඩ්‍රොයිඩ්-අප් සමාගම පවසයි.
මෝයාගේ සිරුර, සැබෑ තරුණියකගේ සිරුර උණුසුම් ලෙස තැබීමට ඩ්‍රොයිඩ්-අප් නිර්මාකරුවන් කටයුතු කර ඇත්තේ යාන්ත්‍රිකමය අවශ්‍යතාවක් නිසා නොවෙයි. එය හුදෙක් මනෝවිද්‍යාත්මක සැලැසුමකි. මෝයා ස්පර්ශ කරද්දී දැනෙනන උණුසුමත් සමඟ මොහොතකට ඇය සැබෑ තරුණියක නේද යන සිතුවිල්ල දැනෙයි.
ඔබ බොලිවුඩ් සිනමා ලෝලියකු නම්, ෂාහීද් කපූර් සහ ක්‍රිති සැනොන් ප්‍රධාන චරිතවලට පණ පොවන ‘තේරී බාතොන් මේන් අයිසා උල්ජා ජියා’ යන චිත්‍රබටය සිහියට නැගෙනු ඇත. ‘සිෆ්රා’ රොබෝවරිය සිහියට නැගෙනු ඇත.
ලුසිත ජයමාන්න
NDTV Science ඇසුරිනි