වයිෆ් චිත්‍රපටයේ නිර්මලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 20, 2026

වයිෆ් චිත්‍රපටයේ නිර්මලා

ශමීර නාඔටුන්නගේ ‘වයිෆ්’ චිත්‍රපටය සිනමා රසික රසිකාවියක්ට අලුත් අත්දැකීමක්. ‘වයිෆ්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන නිර්මලාගේ චරිතයට පණ පොවන්නේ ප්‍රධාන නිළිය අප කවුරුත් ආදරය කරන උදාරි වර්ණකුලසූරියයි. 

වයිෆ් චිත්‍රපටයේ නිර්මලා ගැන කියමු බලන්න 
නිර්මලාගේ චරිතය තුළින් වර්තමානයේ හැම බිරිඳක්ම නියෝජනය කෙරෙනවා. මම හිතන්නේ නැහැ අප හැමෝගෙම පවුල් ජීවිත ගත්තම සර්වසම්පූර්ණ ජීවිත හොයාගන්න ලැබෙයි කියලා. ලුණු ඇඹුල් සියලු දෙයකම සංකලනයක් තමයි පවුල් ජිවිතයක් තුළ තියෙන්නේ. ඉවසීම, විශ්වාසය කියන දේ පවුලකට කොතරම් වැදගත් ද? මම විශ්වාස කරනවා මේ නිර්මලාගේ චරිතයෙන් හැමෝටම ගත හැකි ආදර්ශයක් තියෙයි කියලා. 
හේමාල් – උදාරි සුසංයෝගය ගැන ඔබේ අදහස? 
හේමාල් සමඟ රඟපාන සිවුවැනි සිනමා නිර්මාණය තමයි ‘වයිෆ්’. මුල්ම චිත්‍රපටය ආදරණිය කතාවක්, ඊට පස්ස් ක්ෂිර සාගරය කැලඹිණ, තෙවැන්න දේවි කුසුමාසන. පෙර නිර්මාණවලින් අප දෙන්නා හඳුනාගෙන තිබීම දෙන්නටම පහසු වුණා. මොකද මේ සිනමා නිර්මාණයේ අපි අඹු සැමියන් විදියට රඟපාන්නේ. ඒ නිසා මාධව සහ නිර්මලා කියන චරිත ගොඩනඟන්න පහසු වුණා. ඔහු ඉතාම දක්ෂ වෘත්තීය රංගන ශිල්පියෙක්. ඔහු දර්ශන තලයේදී හැම විටම චරිතය තුළ ජිවත් වෙනවා. ඒ ලැබුණු සහයෝගය කොයි තරම් දුරට අපි අපේ චරිත තුළ තාත්වික රංගනයන් ඉදිරිපත් කර තිබෙනවාද කියන එක ප්‍රේක්ෂක ඔබට බලාගන්න පුළුවන්. 
ශමීර එක්ක වැඩ කරන පළමු අවස්ථාව නේද? 
මම ශමීර එක්ක වැඩ කරන පළමු අවස්ථාව. මෙය ඔහුගේ තුන්වැනි සිනමා නිර්මාණය වුණාට ඔහු අත්දැකීම් ගොඩක් තියෙන සහ හොඳ අදහස් ගොඩක් තියෙන අධ්‍යක්ෂවරයෙක්. 
චිත්‍රාල් සෝමපාලගේ සංගීතයෙන් සහ ගායනයෙන් හැඩවුණු හරි අපූරු ගීතයකුත් තියෙනවා නේද?
ඒ ගැන කතා කළොත් ... ඔව් ඇත්තෙන්ම ඒ ගීතය වෙනම රසවිදිනවාට වඩා දැනෙන්නේ චිත්‍රපටය අතරතුර එය රසවිඳිනවිට. මොකද මාධව සහ නිර්මලාගේ ආදර කතාව තමයි ඒ ගීතයෙන් පෙන්නුම් කරන්නේ. මම විශ්වාස කරනවා මේ ගීතයත් ජනප්‍රිය වෙයි කියලා. 

2026 වසරේ උදාරිව නැවත දකින්න ලැබෙන සිනමා නිර්මාණ මොනවද? 
මම ප්‍රාර්ථානා කරනවා ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ එකගෙයි සොකරි සිනමා නිර්මාණයෙන් ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතරට එන්න අවස්ථාව ලැබෙන්න කියලා. ඒ වගේම ජැක්සන් ඇන්තනිගේම දේවි සම්බුලා චිත්‍රපටයත් එන්න තියෙනවා. 
මේ අවුරුද්දේ වැඩි කාලයක් ඉන්නේ ලංකාවේ ද සිංගප්පුරුවේ ද? 
ගිය අවුරුද්දේ වැඩි කාලයක් හිටියේ දුව එක්ක සිංගප්පුරුවේ. නමුත් මම හිතුවා මේ අවුරුද්දේ වැඩි කාලයක් ලංකාවේ ඉන්න සහ මගේ වෘත්තීය ජීවිතේට කාලය යොමු කරන්න.  

ලැබෙන ප්‍රේක්ෂක ආදරේ වැඩිවීමක් මිස අඩුවක් වෙලා නැහැ, ඒ ගැන මොකද හිතෙන්නේ?
මම හරි වාසනාවන්තයි. මට දුකේදී සහ සැපේදී අවංක ප්‍රේක්ෂක පිරිසක් ඉඳලා තියෙනවා. මාව හිණි පෙත්තටම ඔසවා තබද්දී වගේම මාව උස්සලා පොළොවේ ගහද්දීත් ඔවුන් ඔවුන්ගේ ආදරේ අඩු කළේ නැහැ. ඔවුන් නිසාමයි මම මේ ක්ෂේත්‍රයේ රැඳෙමින් නිර්මාණ කරමින් ඉන්නේ. 
වයිෆ් චිත්‍රපටය ගැන මොනවද කියන්න තියෙන්නේ ? 
‘වයිෆ්’ හැමෝගෙම හදවතට ආමන්ත්‍රණය කරන චිත්‍රපටයක් වේවි. ආදරේ සහ ඉවසීම කියන දේ අපි අද සමාජයේ දකින්නේ හරිම අඩුවෙන්. මේ චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයන්ට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් වේවි කියල හිතනවා. 
ඔබේ ඉදිරි කටයුතු ගැන කතා කළොත් ... 
මම දමිළ චිත්‍රපටයකට සම්බන්ධයි. පසුගිය 4 වැනිදා යාපනයේදී එහි මුහුරත් උලෙළ තිබුණා. රූපගත කිරීම් තව මාසයකින් වගේ ආරම්භ වේවි. රටවල් 4ක රූපගත කිරීම් සිදුවෙනවා. යාපනයේ ඉන්න දමිළ අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයක්. ඉන්දියානු නිෂ්පාදනයක් විදිහට සිදුවෙන්නේ. ඔක්කොම වගේ ඉන්නේ දමිළ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් මම විතරයි සිංහල කෙනෙක් විදියට සම්බන්ධ වෙලා ඉන්නේ. මගේ රංගන ජීවිතේටත් අලුත් අත්දැකීමක් වේවි. අභියෝගයක් විදියට තියෙන්නේ මෙය දමිළ බසින් සිදුවෙන නිර්මාණයක් වීමයි. මගේ තාත්තාට නම් දමිළ පුළුවන් නිසා එයාගේ උදවු ඇතිව, කොහොම හරි මේ අභියෝගය මම ජය ගන්නවා. මට ලැබිලා තියෙන්නේ දාම ඝාතකයකුගේ චරිතයක්. ඒක වෙනස් අත්දැතීමක් වේවි.

ඡායාරූප - මුහුණු පොතෙන්

Classified_Ad