
අසල්වැසි ඉන්දියාව ෆෙඩරල් පාලනයක් සහිත ප්‍රාන්ත රාජ්‍යයකි. 2014 වනවිට එරට ප්‍රාන්ත ගණන 28 ක් විය. ඒත් 2014 වසරේ සිදුවුණු පෙරැළියකින් ප්‍රාන්ත ගණන 29 දක්වා ඉහළ ගියේය. දැන් යළි ඉන්දියාවේ ප්‍රාන්ත 28 කි. මධ්‍යම පාලන ප්‍රදේශ 8 කි. ප්‍රාන්ත ගණන 29 සිට 28 දක්වා අඩු වූයේ 2019 දී ජම්මු කාශ්මීර ප්‍රාන්තය මධ්‍යම පාලන ප්‍රදේශ දෙකක් (ජම්මු-කාශ්මීර සහ ලඩාක්) ලෙස වෙන් කළ බැවිනි. ඉන්දියාවේ විශාලතම ප්‍රාන්තය රාජස්ථාන්ය. කුඩාම ප්‍රාන්තය ගෝවය. වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය වන්නේ උත්තර ප්‍රදේශ්ය. ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත අප ශ්‍රී ලංකාවට වඩා ප්‍රමාණයෙන් විශාලය. ඇතැම් ප්‍රාන්ත ප්‍රමාණයෙන් කුඩාය. ඉන්දියාවේ ප්‍රාන්ත අතරට 2014 දී අලුතින්ම එක්වුණු ප්‍රාන්තය වන්නේ තෙලගනාය.
තෙලගනා ප්‍රාන්තය බිහිවීම ඉන්දීය දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයකි. මෙය දශක ගණනාවක් තිස්සේ ඔඩුදුවන්න වූ සංකීර්ණ අරගලයක ප්‍රතිඵලයකි. නිදහසින් පසු 1956 වසරේදී ඉන්දියාවේ ප්‍රාන්ත බෙදා වෙන් කරද්දී, හයිද්‍රාබාද් රාජ්‍යයේ තෙළඟු භාෂාව කතා කරන ප්‍රදේශ (තෙලගනා) සහ මදුරාසි ප්‍රාන්තයේ තෙලගු කතා කරන ප්‍රදේශ (ආන්ද්‍රා) එක් කර ආන්දා නමින් ප්‍රාන්තයක් පිහිටුවීය. ආරම්භයේ පටන්ම, තෙලගනා වැසියෝ මීට අකමැත්ත පළ කළහ. ඊට එක් ප්‍රධාන හේතුව වූයේ ආන්ද්‍රා වැසියන් තම තමන්ගේ රැකියා සහ සම්පත් උදුරා ගනීවි කියාය.

බුද්ධවනම් තේමා උද්‍යානය
1960 සහ 1970 දශකවලදී තෙලගනාව වෙනම ප්‍රාන්තයක් කරන්නැයි ඉල්ලා ප්‍රබල ශිෂ්‍ය උද්ඝෝෂණ හිස එසවීය. ඒත් ඒවා කෙමෙන් යටපත් විය. 2001 දී දේශපාලනඥ කේ. චන්ද්‍රශේඛර් රාඕ විසින් තෙලගනා රාෂ්ට්‍ර සමිති පක්ෂය පිහිටුවීමත් සමඟ තෙලගනාවට වෙනම පාලනයක් ඉල්ලීමේ අදහස යළි කරළියට පැමිණියේය. 2009 වසරේ දී කේ. චන්ද්‍රශේඛර් රාඕ විසින් දියත් කරනු ලැබූ ‘මරණය තෙක් උපවාසය’ මුළු ඉන්දියාවේම අවධානය දිනා ගත්තේය. තෙලගනාව පුරා වැඩ වර්ජන ක්‍රියාත්මක විය. ආන්ද්‍රා ප්‍රාන්තයේ කටයුතු අකර්මණ්‍ය විය.
2013 දී එවකට පැවති කොංග්‍රස් රජය තෙලගනා ප්‍රාන්තය වෙන් කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේ ඉන් අනතුරුවය.
2014 පෙබරවාරියේ, ඉන්දීය පාර්ලිමේන්තුවේ සභා දෙකේම (ලෝක් සභාව සහ රාජ්‍ය සභාව) දැඩි වාදවිවාද මැද ‘ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රතිසංවිධාන පනත’ සම්මත විය. 2014 ජූනි 2 වැනිදා ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලෙස තෙලන්ගානා නිල වශයෙන් ප්‍රකාශයට පත් විය. වසර 10 ක් යනතුරු ප්‍රාන්ත දෙකෙහිම (තෙලගනා සහ ආන්ද්‍රා) පොදු අගනුවර ලෙස පවත්වා ගැනීමට තීරණය කෙරුණි.

නාගර්ජුන්කොන්ඩා
අද හයිද්‍රාබාද් නගරය සම්පූර්ණයෙන්ම තෙලගනා ප්‍රාන්තයට අයත් වන අතර, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය තම නව අගනුවර ලෙස අමරාවතී නගරය සංවර්ධනය කරමින් සිටී.
තෙලගනා ප්‍රාන්තයේ බහුතරය තෙළඟු ජාතිකයන්ය. ඔවුන්ගේ මව්බස තෙලඟු වන අතර එය ප්‍රාන්තයේ නිල භාෂාවය. තෙලගනා කතා කරන තෙලගු භාෂාව, ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තෙලගු භාෂාවට වඩා ස්වරය සහ වචන භාවිතය අතින් වෙනස් වෙයි.
තෙලගනා ප්‍රාන්තයේ, විශේෂයෙන්ම හයිද්‍රාබාද් නගරය ආශ්‍රිතව, සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් ජීවත් වෙයි. ඔවුන්ගේ ප්‍රධාන භාෂාව උර්දු ය. හයිද්‍රාබාද් නයිසාම්වරුන්ගේ පාලන සමයේ සිට පැවත එන ඉන්දු-ඉස්ලාමීය සංස්කෘතිය මෙහි තවමත් ප්‍රබලව පවතී. තෙලගනාවේ හින්දු ප්‍රතිශතය සියයට 85 කි. ඉස්ලාම් සියයට 12.7 කි. ක්‍රිස්තියානි සියයට 1.3 කි. සීක්, ජෛන සහ බෞද්ධ ජනගහනය සියයට 1 ට අඩුය.

හයිද්‍රාබාද් නගරය දියුණු වී, එය තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානයක් බවට පත් වී ඇති බැවින්, අද වනවිට හයිද්‍රාබාද් යනු අහස උසට විහිදුණු අහස සූරන මැදුරුවලින් පිරුණු කොන්ක්‍රීට් වනාන්තරයකි. ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම පාහේ ජනයා සහ විදේශිකයන් විශාල පිරිසක් ද හයිද්‍රාබාද් තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය ඔවුන්ගේ නිවහන කරගෙන ඇත. ඒ නිසා හයිද්‍රාබාද් නුවර බහු-සංස්කෘතියක් දකින්න ලැබේ.
ඉන්දියාවේ සෙසු දියුණු නගරවල මෙන්ම හයිද්‍රාබාද් නගරය කේන්ද්‍ර කොට ගනිමින් ද කියු.ආර්. කේත භාවිතයට ගනිමින් මුදල් ගනුදෙනු සිදුවෙයි. වීදිවල කුරුම්බා වෙළෙන්දා පවා ගනුදෙනු කරන්නේ කියු.ආර්. කේත භාවිතයට ගනිමිනි. හයිද්‍රාබාද් වැසියන් සෑම කෙනකුගේම අතේ ස්මාට් ෆෝට් ජංගම දුරකතන ඇත.
තෙලගනා ප්‍රාන්තය ඉපැරණි දඹදිව බුදුදහම ඉතා ප්‍රබලව පැතිරී තිබූ ප්‍රදේශයකි. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ (අශෝක අධිරාජ්‍යයාගේ සමයේ) සිට ක්‍රිස්තු වර්ෂ 4 වැනි සියවස දක්වා කාලය තුළ මෙහි බෞද්ධ ශිෂ්ටාචාරය ඉතා ඉහළ මට්ටමක පැවතිණි. ඉතිහාසඥයන් පෙන්වා දෙන්නේ ඉපැරණි ආන්ද්‍රා සහ තෙලගනා ප්‍රදේශවල පැවති බෞද්ධ කලාවන් (විශේෂයෙන්ම අමරාවතී කලා ශෛලිය) අනුරාධපුර යුගයේ ලාංකීය බුදු පිළිම සහ ස්තූප කලාව කෙරෙහි සෘජුවම බලපා ඇති බවය. නාගර්ජුන්කොන්ඩා යනු ලොව සුප්‍රසිද්ධ බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයකි.

නාගර්ජුන් රහතන් වහන්සේ
මෙම ස්ථානය නාගර්ජුන්කොන්ඩා නම් කර ඇත්තේ මහායාන බුදුදහමේ ප්‍රබල දාර්ශනිකයකු වූ නාගර්ජුන් රහතන් වහන්සේ සිහිපත් වීම පිණිසය. කොන්ඩා යනු කන්ද යන අරුතය. ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසේදී නාගර්ජුන්කොන්ඩා පුදබිමේ ප්‍රධාන බෞද්ධ විශ්වවිද්‍යාලයක් සහ මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි. අද එහි නටබුන් දැකිය හැකිය. මහා ස්තූප සහ විහාරවල නටබුන් මෙන්ම බෞද්ධ කැටයම් රාශියක් කැණීම්වලින් සොයාගෙන ඇත.
ඉන්දියාවේ ප්‍රධාන ගංගා 7 කි. මේ ගංගා, මහා ගංගාය. අති විශාලය. ඉන්දියානුවෝ මේවා සාගර ලෙස හඳුන්වති. ගංගා, බ්‍රහ්මපුත්‍ර, ඉන්දු, යමුනා, ගෝදාවරී, ක්‍රිෂ්ණා, නර්මදා යනු එම මහා ගංගාය. ගෝදාවරී දකුණු ඉන්දියාවේ දිගම ගංගාවය. මෙය දක්ෂිණ ගංගා ලෙස ද හැඳින්වෙයි.

ක්‍රිෂ්ණා දකුණු ඉන්දියාවේ දෙවැනි විශාලතම ගංගාවය. තෙලගනා සහ ආන්ද්‍රා ප්‍රාන්ත මායිම් කරමින් මෙය ගලා යයි. ඉන්දියාවට බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුණේ 1947 අගෝස්තු මස 15 වැනිදාය. 1955 දී එවකට ඉන්දීය පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ ප්‍රදානත්වයෙන් ක්‍රිෂ්ණා නදියේ වේල්ලක් ඉදිකිරීම ඇරැඹුණි. මෙය නිදහස ලැබූ ඉන්දියාවේ පළමු ඉදිකිරීමය. වේල්ල සාදා නිම කෙරුණේ 1967 දීය.
නාගර්ජුන් සාගර් වේල්ල යන නමින් හැදින්වෙන මෙය ලොව විශාලතම පෙදරේරු වේල්ලය. මෙය කොන්ක්‍රීට්වලට වඩා ගල් සහ බදාම භාවිතයෙන් නිර්මාණය වූවකි.
වේල්ල ඉදිකිරීමේදී ඇති වූ අතිවිශාල ජලාශය (නාගර්ජුන්සාගර්) හේතුවෙන්, අවට කදු බොහොමයක් ජලයෙන් යටවිය.
නාගර්ජුන්කොන්ඩා ද ඒ එසේ යටවුණු කන්දකි. අද මෙය කුඩා දූපතකි. බෝට්ටු හරහා මෙම දූපතට ළඟා වීමට සංචාරකන්ට පැය දෙකකට ආසන්න කාලයක් ගත වෙයි. ක්‍රිෂ්ණා ගංගාව හරහා යන ඒ බෝට්ටු ගමන සැබැවින්ම සුන්දරය. නාගර්ජුන්කොන්ඩා අයත් වන්නේ තෙලගනාවට නොව ආන්ද්‍රා ප්‍රාන්තයටය.
නාගර්ජුන්කොන්ඩා පුරාවිද්‍යාත්මක පුද බිමකි. ඓතිහාසික බෞද්ධ උරුමය ඉන්දීය රජය විසින් ආරක්ෂා කරනු ලැබ ඇත. මෙහි පුරාවිද්‍යා කෞතුකාගාරයක් ද පිහිටයි. ලොව එකම බෞද්ධ පුරා විද්‍යා කෞතුකාගාරය මෙයයි. නටබුන් සහ කෞතුක භාණ්ඩ මෙහි ඇත.
පුරාණයේ සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙන්වුණු බෞද්ධ විහාරයක නටබුන් ද මෙම දූපතේ ඇත. එය ‘සිංහල’ නොව ‘සිම්හල’ විහාරය යනුවෙන් නම් කර ඇත.
බුද්ධවනම් යනු තෙලගනා ප්‍රාන්තයේ, නාගර්ජුන සාගර් ප්‍රදේශයේ පිහිටි අක්කර 274ක පමණ භූමි භාගයක පැතිරුණු ලොව විශාලතම බෞද්ධ තේමා උද්‍යානයයි. මෙය ඇත්තේ හයිද්‍රාබාද් නගරයේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින්ය.
තෙලගනා රජය සහ තෙලගනා සංචාරක අමත්‍යාංශය මැදිහත් වී ඉදි කරන ලද මෙම තේමා උද්‍යානයේ අරමුණ ඉපැණි දකුණු ඉන්දීය බෞද්ධ උරුමය සහ බුදුදහමේ ගෝලීය ව්‍යාප්තිය එකම තැනකදී ප්‍රදර්ශනය කිරීමය. බුද්ධවනම් උද්‍යානයේ දැකගත හැකි විශේෂ කොටස් 8 කි. මහා ස්තූපය ප්‍රධානතම කොටසය. අමරාවතී කලා ශෛලියට අනුව මෙම ස්තූපය ඉදි කර ඇත. ස්තූපයේ පිටත බිත්තිවල බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව සහ ජාතක කතා ඉතා අලංකාර ලෙස කැටයම් කර තිබේ.
සාංචියේ දකින්න ලැබෙන කැටයම් ද ස්තූපයේ පිටත දකින්න ලැබේ. ස්තූපය ඇතුළත ඉතා විශාල ශාලාවක් ඇති අතර, එහි සිවිලිමෙහි බෞද්ධ සංකේත කැටයම් කර ඇත. සිදුහත් කුමරුන්ගේ උපත, සතර පෙර නිමිති, බුද්ධත්වයට පත්වීම සහ පරිණිර්මාණය තෙක් වැදගත් සිදුවීම් ලෝකඩ ප්‍රතිමා සහ කැටයම් ලෙස උද්‍යානයේ දකින්න ලැබේ.
ඉන්දියාවේ සහ ලෝකයේ විවිධ රටවල පිහිටි ප්‍රසිද්ධ ස්තූපයන්හි අනුරූ මෙම උද්‍යානයේ දැකිය හැකිය. අප ශ්‍රී ලංකාවේ ස්තූප කලාව නිරූපණය කරන අනුරූ ද දැකගත හැකි වීම විශේෂත්වයකි. අවුකණ බුදු පිළිමයේ අනුරුවක් මෙහි ඇත.



ශ්‍රී ලංකාවෙන් තෑගි වශයෙන් ලැබුණු ගණ්ඪාරයක් ද මෙහි ඇත. දලයි ලාමා තුමන් අතින් රෝපණය කළ බෝ ගසක් ද මෙහි ඇත. ඊට අමතරව, භාවනා මධ්‍යස්ථානයක්, බෞද්ධ පුස්තකාලයක් සහ ශ්‍රවණාගාරයකින් මෙය ඇත.


හයිද්‍රාබාද් නගරයේ ප්‍රධාන ආකර්ෂණය වන හුසේන් සාගර් නමැති වැව මැද කුඩා දූපතක ඉදි කරනු ලැබ ඇති බුදු පිළිම වහන්සේ ද සුවිශේෂී සංචාරක ආරක්ෂණයකි. අඩි 58ක් පමණ උසින් යුක්ත මෙම පිළිම වහන්සේ නිර්මාණය කිරීම සඳහා ටොන් 450ක් බරැති දැවැන්ත කළු ගල් පර්වතයක් භාවිත කර ඇත.
1980 දශකයේ මැද භාගයේදී එවකට ප්‍රාන්ත මහ ඇමතිවරයා වූ එන්. ටී. රාමාරාඕගේ සංකල්පයකට අනුව එහි වැඩකටයුතු ආරම්භ වූ අතර, සිය ගණනක් කලාකරුවන්ගේ කැපවීමෙන් වසර කිහිපයක් ඇතුළත මෙය නිමවන ලදී. මෙම බුදු පිළිම වහන්සේ ස්ථාපනය කිරීමේ ඉතිහාසය ද ඉතාමත් ආශ්චර්යමත් මෙන්ම අභියෝගාත්මකය.

1990 දී බුදු පිළිම වහන්සේ වැව මැද පිහිටි ස්ථානයට රැගෙන යන අතරතුර බෝට්ටුව පෙරළී ගොස් පිළිම වහන්සේ වැව පතුලට ගිලී ගියේය. වසර දෙකක් පමණ වැව පතුලේ ගිලී තිබූ පිළිම වහන්සේ, මහත් පරිශ්‍රමයක් දරා 1992 දී යළි ගොඩගෙන දැනට තිබෙන පීඨය මත සාර්ථකව පිහිටුවන ලදී.
අද වන විට එය හයිද්‍රාබාද් නගරයේ ප්‍රධානතම සංස්කෘතික සහ ආගමික සලකුණ ලෙස පිළිම වහන්සේ සැලකෙයි. අභය මුද්‍රාව නිරූපණය කරන මෙම පිළිම වහන්සේ නැරඹීමට සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට වැව ඉවුරේ සිට බෝට්ටු මගින් ගමන් කළ හැකිය. විශේෂයෙන්ම රාත්‍රියේදී විවිධ වර්ණවත් විදුලි ආලෝක ධාරාවන්ගෙන් ප්‍රතිමාව බැබළෙන අයුරු ඉතා දැකුම්කුලුය.
ලුසිත ජයමාන්න
තෙලගනා සංචාරයකින් පසු

