විද්‍යාඥයන් මවිත කළ වෙරොනිකා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 10, 2026

විද්‍යාඥයන් මවිත කළ වෙරොනිකා

මොකක් හරි මෝඩ වැඩක් කළ විට කවුරුන් හෝ අපට බණින්නේ කොහොමද? ‘මහ මෝඩ හරකෙක්.’ එසේ කියන්නේ හරකා එසේත් නැතිනම් ගවයා හෝ එළදෙන සත්ව ලෝකයේ අනෙක් සතුන්ට වඩා මොළයක් නැති මෝඩ සතකු යැයි විශ්වාස කරන බැවිනි. උදේ සිට සවස් වන තුරු තණ කමින්, රාත්‍රියේ එය වැමෑරීම ගවයන්ගේ හෝ එළදෙනුන්ගේ කාර්යයයි. මොවුන් ආනාදිමත් කාලයක පටන් මනුෂ්‍ය අපට උපකාරී වන ගොවිපොළ සතුන්ගෙන් කෙනෙකි. 

දැන් අපි වෙරොනිකා ගැන කතා කරමු. වොරොනිකා ජීවත් වන්නේ යුරෝපයට අයත් සුන්දර රටක් වන ඔස්ට්‍රියාවේය. ඔස්ට්‍රියාවේ කඳුකරයේ පිහිටි සුන්දර කුඩා ගම්මානයක. වොරොනිකා එළදෙනකි. අද සත්ව විද්‍යාඥයන් වෙරොනිකා ගැන කතා කරන්නේ ඇය සුවිශේෂී නිසාය. 

වෙරොනිකා දක්ෂ ලෙස ‘මෙවලම්’ (Tools) භාවිත කිරීමට හුරු වී සිටී. ලී කෝටු, රේක්ක සහ කොසු ඉදල් ආදිය භාවිතා කරමින් සිරුර කසා ගන්න ඇයට පුළුවනි. එදිනෙදා වැඩ පහසුවෙන් කරගැනීමට මෙවලම් භාවිතය මිනිස් අපේ සුවිශේෂී ගුණාංගයයි. මිනිසා මෙවලම් භාවිතා කිරීමට හුරුවීම පරිණාමයේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍යයයි.

බුද්ධි වර්ධනයත් සමඟ ආදි මිනිසා තමන්ට ගල් සහ අස්ථි කැබලි මෙවලම් ලෙස භාවිතා කිරීමට හුරු වූයේ ආහාර සොයා ගැනීම සහ ආරක්ෂාව සලසා ගැනීමටය. ආදි මිනිසාගේ දෑත්වල ක්‍රියාකාරීත්වය සහ මොළයේ සිතීමේ ශක්තිය වේගයෙන් වර්ධනය වෙද්දී, මෙවලම් භාවිතයට ගනිමින් මස් වැනි ප්‍රෝටීන් බහුල ආහාර පහසුවෙන් පරිභෝජනය කිරීමට අවස්ථාව උදා විය. 

වෙරොනිකා ඉතා දක්ෂ ලෙස මෙවලම් භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් පුදුමයට පත් වෙමින් විද්‍යාඥයන් පවසන්නේ, වෙරොනිකා නිසා ගවයන්ගේ බුද්ධිමය හැකියාවන් පිළිබඳව නැවත වරක් සිතා බැලීමට සිදුවී ඇති බවය. වියනා නුවර පර්යේෂකයන් පවසන අකාරයට, මින් පෙර සිතා සිටියාට වඩා වැඩි බුද්ධි ශක්තියක් ගවයන් සතු ඇතැයි මේ අනුව තහවුරු වන බවය. 

වෙරොනිකාගේ මෙම සුවිශේෂී හැසිරීම පිළිබඳව දැනගත් වියනා නුවර සත්ව බුද්ධිය පිළිබඳ විශේෂඥයෝ පිරිසක් ඇයව නිරීක්ෂණය කළහ. එහිදී වේරොනිකා එකම උපකරණයේ දෙපැත්ත විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන බව පැහැදිලි විය.

“හරිම අපූරුයි. වෙරොනිකා තදින් සිරුර කසා ගැනීමට කොස්සක කෙඳි සහිත පැත්ත තෝරා ගන්නවා. මෘදු ලෙස සිරුර කසා ගැනීමට (යටි බඩ) ඇය කොස්සක කොස්සේ මිට (සුමට පැත්ත) තෝරා ගන්නවා. සත්ව ලෝකයේ මෙවැනි මෙවලම් භාවිතයක් දැකගත හැක්කේ ඉතා කලාතුරකිනි. ගවයන් මෙවැනි දෙයක් කළ බවට මින් පෙර කිසිදු වාර්තාවක් ලැබී නැහැ.” යැයි වියනා පශු වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ටෝනියෝ ඔසුනා-මස්කාරෝ පැහැදිලි කරයි. 

“ගවයන් මෙවලම් භාවිතා කරනු ඇතැයි හෝ එකම මෙවලම කාර්යයන් කිහිපයක් සඳහා භාවිතා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වූයේ නැහැ. මීට පෙර මෙවැනි දියුණු හැසිරීමක් වාර්තා වී තිබුණේ චිම්පන්සීන්ගෙන් පමණයි.” යැයි ද ඔසුනා-මස්කාරෝ පෙන්වා දෙයි. 
සත්ව ලෝකයේ ‘මෙවලම්’ (Tools) භාවිතයට ගනිමින් තම තමන්ගේ එදිනෙදා කටයුතු පහසු කර ගන්නා සතුන් විශේෂ කීපයක් ම ඇත. මිනිසාට රානමය අතින් සියයට 98 කට ආසන්න සමානකමක් දක්වන චිම්පන්සියන්, මිනිසුන් මෙන්ම මෙවලම් භාවිත කිරීම පුදුමයට කරුණක් නොවෙයි. 

මෙම ප්‍රයිමේටාවන් (වානර විශේෂ) ගස් පොතු අතර සිටින කීටයන් සහ මී වදවල ඇති මී පැණි වැනි ආහාර හාරා ගැනීමට කෝටු භාවිතා කරන බව තහවුරු වී ඇත. එමෙන්ම ඔවුහු ඇට වර්ග තළා ආහාරයට ගැනීමට ගල් ද, ස්පන්ජ් ලෙස භාවිතා කිරීමට කොළ වර්ග පොඩි කර ගැනීමට ද හුරු වී සිටිති. 

දිය බල්ලන් ගල් මෙවලම් ලෙස භාවිතා කරන බව ප්‍රසිද්ධ කරුණකි. කකුළුවන්, බෙල්ලන් සහ ගොළුබෙල්ලන් වැනි කටුව තද ආහාර වර්ග තලා විවෘත කිරීමට ඔවුන් ගල්, හක්බෙල්ලන් සහ බෝතල් වැනි දේ පවා මිටියක් ලෙස භාවිතා කරයි. තම දත්වලින් පමණක් විවෘත කළ නොහැකි ආහාර වර්ග අනුභව කිරීමට මෙමගින් ඔවුන්ට අවස්ථාව ලැබේ. 

බටහිර ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඇතැම් බොට්ල්නෝස් ඩොල්ෆින්ලා තම නාසය මත මුහුදු ස්පොන්ජ් (Sponges) රඳවාගෙන සිටිනු සොයාගෙන ඇත. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඔවුන් මුහුදු පතුලෙන් ස්පොන්ජ් රැගෙන, පසුව මසුන් දඩයම් කිරීමට උපකාරී වන මෙවලම් ලෙස ඒවා භාවිතා කරන බවය. 

ස්පොන්ජ් කැබලි සපාගෙන හොම්බේ රඳවා ගැනීම මගින්, ගල් සහිත මුහුදු පතුලේ වැලි කලඹන අතරතුර තම නාසය ආරක්ෂා කර ගැනීමට ඩොල්පින්ට හැකිවෙයි. එමගින් වැලි යට සැඟවී සිටින මසුන් සොයා ගැනීමට ඔවුන්ට පහසු වෙයි. 

නිව් කැලිඩෝනියන් කපුටන් ශාක කොටස් භාවිතයෙන් කොකු සාදයි. ඒ හරහා තම ගොදුරු වඩාත් පහසුවෙන් අල්ලා ගැනීම සඳහා ගස් බෙන වැනි ස්ථාන තුළට එම කොකු ඇතුළු කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ. මීට අමතරව, බූවල්ලන් හෙවත් අටපාවන්, සාගර මසුන් විශේෂ කීපයක් ම ආහාර සොයා ගැනීමට සහ සතුරන්ගෙන් ආරක්ෂා වීමට විවිධ උපක්‍රම භාවිතයට ගනී. ඒ, මෙවලම් භාවිතයෙනි. 

ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි

Classified_Ad