පාට කුරුල්ලෝ ගඟුලි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 23, 2026

පාට කුරුල්ලෝ ගඟුලි

පාට කුරුල්ලෝහි ගඟුලි ලෙසත්, චංචල රේඛා ටෙලි නිර්මාණයේ දං චූටිලෙසත්, අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනා ගැනීමට දෙව්මිණි තත්සරණි සමත් වී සිටී. 

මේ දවස්වල වැඩකටයුතු ගැන කියන්න? 
කාර්යබහුලයි. මොකද පාට කුරුල්ලෝ සහ චංචල රේඛා ටෙලි නාට්‍ය දෙකේම රූගත කිරීම් සිදුවෙනවා. ඒත් එක්කම මම නිරූපණ ක්ෂේත්‍රයේත් වැඩ කටයුතු කරන නිසා කාර්යබහුල කාලයක් තමයි ගත කරන්නේ. 
පාට කුරුල්ලෝ ට ලැබෙන ප්‍රතිචාර? 
පාට කුරුල්ලෝ ගඟුලි කියන චරිතයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගඟුලිට කට්ටිය බැන්නට මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතා ඉහළයි. ගඟුලි නිසා තමයි මං ප්‍රේක්ෂකයින් අතරට ගියේ. අද වෙද්දී මඟතොටේදී දැක්කත් මාව ගඟුලි විදිහට බොහෝ දෙනා හඳුනාගන්නවා. ඒ අත්දැකීම සුන්දරයි. 
චංචල රේඛා ජනප්‍රියම චරිතය දං චූටි වෙන්නෙ ඔබ. ඒ ගැන කියමු බලන්න. 
මම මුලදී හිතුවේ ආයෙම නම් මෙගා ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. චංචල රේඛා පුංචි තිරයට නැඟෙද්දි දං චූටි වෙන්න ආරාධනාව ලැබුණම මුලින්ම මම බැහැ කිව්වා. හැබැයි ගෙදර ඇවිත් අම්මටයි තාත්තටයි කියද්දී තාත්තා කිව්වේ චංචල රේඛා චිත්‍රපටය නොබලපු කෙනෙක් නැති තරම් කියලා. ඒ වගේම ගාමිණී ෆොන්සේකා මහතා සහ නදීකා ගුණසේකර මහත්මිය ඉතා විශිෂ්ට රංගනයක් කළ සිනමා නිර්මාණයක්. දං චූටි කියන්නේ හැමෝම ආදරේ කරපු චරිතයක් කියලා. ඇත්තටම මේ චරිතය කරන එක මට ලොකු අභියෝගයක් වුණා. මොකද දං චූටිට ගොඩ දෙනෙක් ආදරේ කරපු නිසා ඒ චරිතයට හානියක් නොවන විදිහට තමයි මම රංගනයෙන් දායක වෙන්න ඕනේ. මට මේ අවස්ථාව ලැබුණු එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. 
චංචල රේඛා චිත්‍රපටය බලලා තිබුණ ද? 
ඇත්තම කිව්වොත් මම බලලා තිබුණේ නැහැ. ගෙදර ඇවිත් කියලා අම්මයි තාත්තයි චිත්‍රපටය ගැන කිව්වටත් පස්සේ තමයි මම චිත්‍රපටය බැලුවේ. චිත්‍රපටය බැලුවටත් පස්සේ තමයි මම කැමැතියි කියලා ඒ අවස්ථාව භාර ගත්තේ. 

දං චූටිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
දං චූටි තාම ප්‍රේක්ෂකයින් අතරට යන්න තරම් කාලයක් විකාශය වුණේ නැහැ. ඒත් මම විශ්වාස කරනවා තව කොටස් කිහිපයක් විකාශය වුණාට පස්සේ හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ දං චූටි චරිතය මට සාර්ථකව ගොඩනඟා ගන්න මෙහි අධ්‍යක්ෂ සමන් කුමාර ලියනගේ මහතා සහ ටෙලි නාට්‍යයට සම්බන්ධ සියලුම ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගේ සහයෝගය ලැබුණා. 
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
දැනට මම භාරගෙන තියෙන්නේ පාට කුරුල්ලෝ සහ චංචල රේඛා විතරයි. තව නිර්මාණවලට ඇරයුම් ලැබුණත් මම භාර ගත්තේ නැහැ. 
සිනමාවටත් අවස්ථාව ලැබුණ ද?
මේ වෙද්දී එක සිනමා නිර්මාණයකට රංගනයෙන් දායක වෙලා සිටිනවා. එය ඉදිරියේදී දැක ගන්න ලැබෙයි. තවත් නිර්මාණයකට ආරාධනා ලැබුණත් එය තවම ස්ථිර කළේ නැහැ. මට කරන්න පුළුවන් හොඳ චරිතයක් ලැබුණොත් සිනමාවෙනුත් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. 
චරිත භාරගන්න කලින් විශේෂයෙන්ම බලන්නෙ මොනවද? 
මම මුලින්ම බලන්නේ ඒ චරිතය මට ගැළපෙනව ද? ඒ එක්කම ඒ චරිතයට මට සාධාරණයක් කරන්න පුළුවන්ද? කියන එක සහ ඒ හරහා මට මගේ දක්ෂතාව පෙන්නුම් කරන්න පුළුවන් ද කියන එක තමයි මම බලන්නේ. 

රංගන ශිල්පිනියක් විදිහට ලබන ප්‍රේක්ෂක ආදරය ගැන මොකද හිතෙන්නේ? 
ගොඩක් ආදරණීය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ ආදරේ ලබද්දී මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා. කොහේ ගියත් කොතැන හිටියත් ප්‍රේක්ෂකයින් මාව හඳුනාගෙන ඇවිත් කතා කරනවා. ඒ ආදරයට මමත් ගොඩක් ආදරෙයි. 
අනාගත බලාපොරොත්තු මොනවාද? 
අනාගත බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. ඒ දේවල් එකින් එක සාර්ථක කරගන්න ගමන් සතුටින් ජිවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව.

Classified_Ad