ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Feb 18, 2026

ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ

ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා ශ්‍රී ලංකාවේ නිල එකඟතාවය පළකිරීම කොළඹ, බෞද්ධාලෝක මාවත, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු විය. 

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකා පාර්ශවය වෙනුවෙන් නිළ එකඟතාවය කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අතින් සිදු කෙරිණ. 

ශ්‍රී ලංකාව දිගු කාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්ව කාල රාජ්‍යයක් වන අතර, ජාත්‍යන්තර නීතිය යටතේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී. 

2009 ළමා විකල්ප රැකවරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහා සභා මාර්ගෝපදේශ, 2019 දෙමව්පිය රැකවරණය අහිමි දරුවන් කෙරෙහි අවධානය යොමු කරන ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා සභා යෝජනාව සහ 2022 ආයතන ගත රැකවරණයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ මාර්ගෝපදේශ මෙන්ම 2022 පොදුරාජ්‍ය මණ්ඩලයේ රාජ්‍යයන්ගේ කිගාලි ප්‍රකාශනය සහ 2024 දී ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටින ලද දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ පළමු ගෝලීය අමාත්‍ය සමුළුව වැනි පවතින ජාත්‍යන්තර වගකීම් පදනම් කරගෙන ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා ගෝලීය ප්‍රඥප්තිය සම්පාදනය කර ඇති අතර දැනට ලෝකයේ රටවල් 34 මෙම ප්‍රඥප්තිය අනුමත කර ඇත. 

දකුණු ආසියානු රටවල් තවමත් මෙම ප්‍රඥප්තිය සඳහා එක්ව නොමැති අතර ඒ අනුව ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණය සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක් වන පළමු දකුණු ආසියාතික රට බවට පත්වනු ඇත. 

නව රජය පත්වීමෙන් පසු ගරු අමාත්‍යතුමිය ප්‍රමුඛ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ළමා ආරක්ෂණය සහ රැකවරණය වෙනුවෙන් සාධනීය පියවර රාශියක් ලබා ගෙන ඇති අතර ඒ අනුව 2026 වසර තුළ මුල් ළමා විය සංවර්ධනය ඇතුළු දරුවන් පාදක ක්ශේත්‍රයන් භෞතික සහ, ප්‍රතිපත්තිමය වශයෙන් සංවර්ධනය කිරීම ප්‍රධාන ඉළක්කය බවට පත්කරගෙන ඇත. 

එම ගමනේ තවත් ජයග්‍රාහී පියවරක් ලෙස මෙම ගෝලීය ප්‍රඥප්තිය සඳහා එක්වීම මගින් ශ්‍රී ලංකාවේ ජාතික ළමා රැකවරණ ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීමට හා ජාත්‍යන්තර ප්‍රමිතයින්ට අනුකූලව ක්‍රියාත්මක කිරීමට දායක කරගැනීම ප්‍රධානතම අරමුණයි. මෙම අවස්ථාව අමතමින් අමාත්‍යතුමිය විසින් සඳහන් කළේ, “දරුවන්ට හොඳම දේ ලබාදීම යනු වචනවලට සීමා වූ අදහසක් නොවෙයි. එය අප රජයේ ප්‍රධානතම වගකීම.” බවය. 

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධාන කළ මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් මහතා, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත මහතා, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (Unicef) ශ්‍රී ලංකාවේ නියෝජිත මහත්මිය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන ආයතන සහ සිවිල් සංවිධාන නියෝජිතයෝ එක්ව සිටියහ.

Classified_Ad