
ගගනගාමීන් අභ්‍යවකාශ නැවතුම්පොළට යෑම සිදුවන්නේ චීනයේ ප්‍රබල රොකට්ටු සහ අභ්‍යවකාශ යානා ආධාරයෙනි. පසුගිය දා 23 වැනි ගගනගාමීන් කණ්ඩායම (ගගනගාමීන් තිදෙනා), දස දහස් ගණනකගේ ඔල්වරසන් හඬ මැද, චීනය සතු ලෝංග් මාච් නමැති ප්‍රබල රොකට්ටුවෙන් ටියැන්ගොන්ග් නැවතුම්පොළ බලා ගියේය.
රොකට්ටුව ගුවන්ගත කෙරුණේ චීනයේ ගැන්ෂු පළාතේ, ජියුකාන්ට නුදුරින් පිහිටා ඇති ජියුකාන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙනි.
ගගනගාමීන් අභ්‍යවකාශයට රැගෙන යෑම සිදු කරන්නේ ෂෙන්ෂූ Shenzhou නමැති ගගන යානයයි.
පෘථිවි කක්ෂය බලා යද්දී, මෙය ලෝංග් මාච් Long March රොකට්ටුවේ මුදුනට සවි කෙරේ. පෘථිවි කක්ෂයට යද්දී රොකට්ටුවෙන් වෙන් වන මෙම යානය, ගගනගාමීන් ද සමග ගොස්, ටියැන්ගොන්ග් නැවතුම්පොළ හා සම්බන්ධ වෙයි. ගගනගාමීන් ආපසු එන්නේ ෂෙන්ෂූ යානයෙනි. එය පෘථිවියට පතිත කෙරෙන්නේ පැරෂූට් ආධාරයෙනි.

වසර කාලයක් ටියැන්ගොන්ග් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට අභ්‍යවකාශය බලා ගිය තිදෙනා 39 හැවිරිදි අභ්‍යවකාශ ඉංජිනේරු ෂූ යැන්ග්ෂූ, 39 හැවිරිදි හිටපු ගුවන් හමුදා නියමු ෂැන්ග් ෂියුවෑන් සහ 43 හැවිරිදි ලී ජියායින්ග් ය. ලී ජියායින්ග් කාන්තාවකි.
ටියැන්ගොන්ග් නැවතුම්පොළට මීට පෙර චීන ගගනගාමීන් ලෙස කාන්තාවන් ගොස් ඇත. ඒත්, ලී ජියායින්ග් සුවිශේෂී තැනැත්තියක වෙයි. ඇය හොංකොං වැසියෙකි.
හොංකොං යනු චීන හිතවාදී පාලනයක් ඇති, වෙනම පාලන ප්‍රදේශයකි. ලී ජියායින්ග් හොංකොං පොලිස් නිලධාරිනියක ලෙස සේවය කළ අයෙකි. චීන අභ්‍යවකාශ ආයතනය හා එක්වුණු ඇය ගගනගාමියකු ලෙස පුහුණව ලබා ඇත.

එබැවින්, අභ්‍යවකාශයට ගිය පළමු හොංකොං වැසියා ලෙස ලී ජියායින්ග් ඉතිහාස ගතවී සිටී. එපමණක් නොවෙයි. චීනය වසරක කාලයක් ඔවුන්ගේ අභ්‍යවකාශ නැවතුම්පොළේ ගගනගාමීන් රඳවා තබන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි