ට්‍රම්ප්ගේ පියාඹන බලකොටුව - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 23, 2026

ට්‍රම්ප්ගේ පියාඹන බලකොටුව

ධවල මන්දිරය යනු ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල නිවහනය. ‘උඩු ගුවනේ ධවල මන්දිරය’ යනු ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයයි. මේ උඩු ගුවනේ ධවල මන්දිරය මේ වනවිට අලුත් වී ඇත. ලෝකෙට ලොක්කා වන ඇමෙරිකන් ජනාධිපතිවරයා, ලෝකයේ කොතැන ගියත්, ඔහු රැගෙන යන ඒ සුවිශේෂී නිල ගුවන් යානය ‘එයාර් ෆෝස් වන්’ ය. 

මෙය ඇමෙරිකාවේ ආර්ථික සහ හමුදා බලයේ සජීවී සංකේතයයි. ‘එයාර් ෆෝස් වන්’ යුද මෙහෙයුම් මධ්‍යස්ථානයක්, සුඛෝපභෝගී හෝටලයක්, සන්නිවේදන ජාලයක් එකට එක් කළ ගුවන් යානයකි. සරලව කීවොත්, පියසැරි බලකොටුවකි. ධවල මන්දිරයේ ඇමෙරිකන් ජනාධිපතිගේ කාර්යාලය ඕවල් කාර්යාලයයි. ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානය තුළ ද ඕවල් කාර්යාලයක් ඇත. ‘එයාර් ෆෝස් වන්’ ආරක්ෂාව අතින් අංක එක වෙයි. ලොව මිල අධිකම සහ රහස්‍යම ගුවන් යානය ලෙස සැලකෙන්නේ ද ‘එයාර් ෆෝස් වන්’ ය. 

දශක ගණනාවක් එක දිගට ඇමෙරිකන් ජනාධිපතිවරුන් පස් දෙනකු භාවිතයට ගත් ‘එයාර් ෆෝස් වන්’ යානය, පසුගිය දා විශ්‍රාම ගිය අතර, ඊට සමගාමීව, වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නවතම ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානය ඇමෙරිකානුවන්ට පමණක් නොව මුළු ලොවටම හඳුන්වා දුන්නේය. මෙම නව ගුවන් යානය, විශ්‍රාම යැවුණු ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානය මෙන් නොව, යවත්කාලීන කළ සියලු පහසුකම්වලින් සමන්විත දැවැන්ත යානයකි. මෙම යානය, ට්‍රම්ප්ට විදේශයකින් ලැබුණු ත්‍යාගයකි. ධුරයේ සිටිද්දී ඇමෙරිකන් ජනාධිපතිවරයකුට ලැබුණු වටිනාම ත්‍යාගය මෙයයි.

ගුවන් යානය, ට්‍රම්ප්ට තෑගි ලෙස කළේ මැදපෙරදිග කලාපයේ සිටින ඇමෙරිකාවේ සමීපතම මිතුරකු වන කටාර් රාජ්‍යයයි. දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ, ඇමෙරිකන් ජනාධිපතිවරුන් භාවිතයට ගත්තේ නිල් සහ සුදු වර්ණ ගැන්වූ ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානයයි. මෙය ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගමේ බෝයිං 747 ගුවන් යානයකි. 

මෙම යානය භාවිතයට ගත් ඇමෙරිකන් ජනාධිපතිවරුන් වන්නේ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, බිල් ක්ලින්ටන්, බැරැක් ඔබාමා, ජෝ බයිඩන් සහ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඒ අනුව, නිල් සහ සුදු වර්ණ ගැන්වූ ‘එයාර් ෆෝස් වන්’ යානය විශ්‍රාම යැවීම සිදුවූයේ මහත් අභිමානයකිනි. නවතම ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානය, බෝයිං 747-8 වර්ගයේ යානයකි. 

ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා මෙම යානය, වර්ණ ගන්වා ඇත්තේ ට්‍රම්ප්ගේ අභිමතය අනුවය. තද කළු නිල් පටියක් සහ රතු පටියක් එහි දකින්න ලැබේ. රන්වන් කවයක් තුළ ඇමෙරිකන් ජනාධිපතිගේ නිල ලාංඡනය දැකිය හැකිය. තෑගි ලෙස ලැබුණු යානය, නවීකරණය කිරීම සහ අවශ්‍ය ලෙස වෙනස්කම් කිරීම සිදුවූයේ ඇමෙරිකාවේ ඇන්ඩෲස් ගුවන් හමුදා කඳවුරේ විශේෂ අංගයක් තුළදීය. 

පසුගිය දා යානය එළිදැක්වීම ද එම අංගනයේදීම සිදුවිය. “මේ යානය ඉදි කළ අවස්ථාවේ මෙය සැලකුණේ ලෝකයේ වටිනාම සහ සැපපහසුව වැඩිම ගුවන් යානය විදියටයි. ලෝකයටම මෙවැනි ගුවන් යානා තියෙන්නේ එකයි. දැන් ඒක තවත් නවීකරණය වෙලා. ඇමෙරිකන් ජනාධිපතිගේ ගුවන් යානය බවට පත් වෙනවා” යැයි නවතම ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානය එළිදක්වමින් ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසුවේ මහත් ආඩම්බරයෙනි. 

විශ්‍රාම යැවුණු ‘එයාර් ෆෝස් වන් බෝයිං වීසී25ඒ’ යානය, ඇමෙරිකන් ජනාධිපති නිල ගුවන් යානය බවට පත්වූයේ 1990 දීය. විශ්‍රාම යද්දී ගුවන් යානය වසර 36 කට වැඩිය පැරැණිය. ගුවන් යානයක් වසර 36 ක් පැරැණියි නම් එය පුරාවස්තුවක් වැනිය, භාවිතයට සුදුසු නොවෙයි. පසුගිය කාලය පුරා ඩිමොක්‍රටික්වරුන් සහ රිපබ්ලිකන්වරුන් පොදුවේ එකඟ වූ කරුණක් නම්, ‘එයාර් ෆෝස් වන්’ සඳහා අලුත් ගුවන් යානයක් අවශ්‍ය බවය. 

2018 දී ‘එයාර් ෆෝස් වන්’ සඳහා අලුත් යානයක් භාවිතයට ගැනීම වෙනුවෙන් අවශ්‍ය සැලැසුම් සකස් කෙරුණත්, එය අවුල් ජාලයක් විය. බෝයිං සමාගම, ඇමෙරිකන් ඩොලර් බිලියන 3.9 ක ගිවිසුමකට අත්සන් තැබීය. ඒ, අලුත් පරම්පරාවේ ගුවන් යානා දෙකක් ‘එයාර් ෆෝස් වන්’ ලෙස ලබා දෙන පොරොන්දුව යටතේය. එම ගුවන් යානා මීට වසර ගණනකට පෙර නිපදවා අවසන් කළ යුතුව තිබුණි. කෙසේ නමුත්, එම ව්‍යාපෘතිය දිනෙන් දින කල් ගියේය. ප්‍රමාදයත් සමග නිෂ්පාදන වියදම ඉහළ ගියේය.

අද වනවිට එම ගුවන් යානා නිපදවීමට වැයවන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 5 පසු කර ඇතැයි පැවැසෙයි. එම යානා නිපදවා අවසන් වනු ඇත්තේ 2027 සහ 2028 යන වසරවලදීය. ඒත්, ට්‍රම්ප්ගේ දෙවැනි මෙන්ම අවසන් ධුර කාලය ඒ වනවිට අවසන් වන බැවින්, ට්‍රම්ප්ට එම ගුවන් යානා ‘එයාර් ෆෝස් වන්’ භාවිතයට ගැනීම නොහැකි වෙයි. 

 ධවල මන්දිරය, අලුත් ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානයක් සඳහා විකල්ප සොයද්දී, කටාර් රාජ්‍යය ඊට මැදි විය. කටාරය තෑගි වශයෙන් ට්‍රම්ප්ට දුන් යානය සැබැවින්ම සුවිශේෂී එකකි. මෙම යානය බෝයිං සමාගම නිපදවා ඇත්තේ 2012 දීය. මෙය ද අවුරුදු 14 ක් පැරණිය. ඒත්, විශ්‍රාම යැවුණු ‘එයාර් ෆෝස් වන්’ යානයට වඩා මෙම බෝයිං 747-8 යානය අලුත්ය. 

මීට පෙර, මෙම ගුවන් යානය කටාර් රාජකීය ගුවන් හමුදාවේ සුඛෝපබෝගී ගුවන් යානයක් විය. එය නිර්මාණය කර තිබුණේ පියාඹන රජ මාලිගයක් ලෙස සියලු සැප සම්පත්වලින් පරිපූර්ණවය. කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි, මෙම යානය ට්‍රම්ප්ට තෑගි කළේ හොඳහිත පෙන්වීමක් ලෙසය. 

ඇමෙරිකන් ගුවන් හමුදාව පවසා ඇත්තේ, ඔවුන් කටාරයෙන් තෑගි ලැබුණු ගුවන් යානයේ ඇතුළත සම්පූර්ණවෙන් වෙනස් කරමින් නවීකරණය කළ බවය. ඒ, එය ඇමෙරිකා ජනාධිපතිවරයාට සුදුසු පරිදි ආරක්ෂක බලකොටුවක් බවට පරිවර්තනය කරමිණි. අති නවීන තාක්ෂණය යානය සතුය. නවීන ප්‍රහාරක පද්ධතියක් සහ ප්‍රහාරවලින් ආරක්ෂා වීමේ ආරක්ෂක පද්ධතියක් ද යානය සතුය. නවීකරණ කටයුතු සඳහා වෙන් කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 934 ක් බව පැවැසෙයි. 

ලුසිත ජයමාන්න‍ 
CNN ඇසුරිනි

Classified_Ad