
නාසා ආයතනය පසුගිය දා ආටිමිස් 3 මෙහෙයුමට එක් වන ගගනගාමීන් සිවුදෙනා කවුරුන්දැයි ලොවට හඳුන්වා දුන්නේය. ඒ අනුව, රැන්ඩි බ්‍රෙස්නික් අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන අතර, ලූකා පර්මිතානෝ නියමුවා ලෙසත්, ෆ්‍රෑන්ක් රුබියෝ සහ ඇන්ඩ්‍රේ ඩග්ලස් මෙහෙයුම් විශේෂඥයන් ලෙසත් ආටිමිස් 3 මෙහෙයුමට සම්බන්ධ වෙති.
මුල් සැලසුම්වලට අනුව ආටිමිස් 3 මෙහෙයුම සෘජුවම සඳ මත ගොඩබැසීමට නියමිතව තිබුණද, පසුව ගත් තීරණයකට අනුව එහි මූලෝපායික වෙනසක් සිදු කර ඇත.
ඒ අනුව, මෙම මෙහෙයුම පෘථිවි පහළ කක්ෂයේ (Low Earth Orbit) සිදුකරන අතිශය තීරණාත්මක තාක්ෂණික පරීක්ෂණ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. මීළඟ මහා පිම්ම සඳහා සියලු තාක්ෂණික මෙවලම්වල සුරක්ෂිතභාවය තහවුරු කරගැනීම මෙහි ප්‍රධාන අරමුණය.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම ස්පේස් එක්ස් (SpaceX) සහ බ්ලූ ඔරිජින් (Blue Origin) යන පෞද්ගලික අභ්‍යවකාශ සමාගම් විසින් නිපදවනු ලබන සඳ මත ගොඩබෑමේ යානා (Lunar Landers) පෘථිවි කක්ෂයේදී ප්‍රායෝගික පරීක්ෂාවන්ට ලක් කෙරේ.
එහිදී ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය සහ අදාළ ගොඩබෑමේ යානා එකිනෙකට සම්බන්ධ වීම (Docking) මෙන්ම, ගගනගාමීන් ආරක්ෂිතව යානා අතර හුවමාරු වන ආකාරය පිළිබඳ සම්බන්ධීකරණ අභ්‍යාස මෙහිදී සිදු කිරීමට නියමිතය.
මීට අමතරව, ඉදිරි සඳ ගමන්වලදී ගගනගාමීන් පලඳින Axiom සමාගමේ නවතම අභ්‍යවකාශ ඇඳුම් කට්ටල (Spacesuits) සහ යානය තුළ ඇති ජීව ආධාරක පද්ධති (Life support systems) පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක්ද ආටිමිස් 3 මෙහෙයුමට ඇතුළත්ය. මෙම මෙහෙයුම 2027 වසරේ දී සිදුවනු ඇත.
ආටිමිස් 3 මෙහෙයුමෙන් ලබාගන්නා අතිවිශාල තාක්ෂණික අත්දැකීම් සහ දත්ත උපයෝගී කරගනිමින්, 2028 වසරේදී ආටිමිස් 4 මෙහෙයුම ආරම්භ කිරීමට නාසා ආයතනය සැලසුම් කර ඇත. මෙය 1972 වසරේ ඇපලෝ මෙහෙයුම් නිමාවීමෙන් පසු, ගගනගාමීන් නැවත වරක් සඳ මත පා තබන ප්‍රථම අවස්ථාව වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම මෙහෙයුමේ ඇති විශේෂත්වය වන්නේ සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආශ්‍රිතව මිනිසුන්ට දිගුකාලීනව වාසය කළ හැකි කඳවුරක් පිහිටුවීමේ මූලික කටයුතු ආරම්භ කිරීමයි.
ආටිමිස් 4 මෙහෙයුම සඳහා සහභාගී වන ගගනගාමීන් කවුද යන්න පිළිබඳව නාසා ආයතනය මෙතෙක් නිල ප්‍රකාශනයක් සිදු කර නොමැත.
සමස්ත කණ්ඩායමම කාන්තාවන්ගෙන් සමන්විත වන බවට සමාජයේ විවිධ මත පැතිර ගියද, ඒ පිළිබඳ ස්ථිර තහවුරු කිරීමක් තවමත් නැත. නාසා ආයතනයේ වත්මන් ප්‍රතිපත්තිය තුළ විවිධත්වයට ප්‍රමුඛත්වය දෙන බැවින්, අනාගත සඳ ගමන් සඳහා කාන්තා ගගනගාමීන්ගේ සහභාගීත්වය ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්වාසයයි.
ලුසිත ජයමාන්න
ස්තුතිය - NASA