
බටහිර සිනමාකරු ස්ටීවන් ස්පීල්බර්ග්ගේ නවතම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය 'ඩිස්ක්ලෝෂර් ඩේ' (Disclosure Day) මේ දිනවල අපේ රටේ පමණක් නොව, ලොව පුරා තිරගත වෙයි. චිත්‍රපටයට පාදක වන්නේ පෘථිවියට පැමිණෙන දියුණු බුද්ධිමත් පිටසක්වළ ජීවීන් ගැනය.
බුද්ධිමත් පිටසක්වළ ජීවීන් ඇත්තටම පෘථිවියට පැමිණියහොත් හෝ එවැනි ජීවීන් පෘථිවිය සමඟ සන්නිවේදනය කළොත්, මානව සංහතිය ඊට මුහුණ දෙන්නේ කෙසේද? අපි කුමක් කරන්නෙමුද?
ඇතැම්විට ඔබ නොදන්නවා වෙන්න පුළුවනි, ඒත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් විද්‍යාත්මක සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පූර්ව සැලසුම් සහ ප්‍රොටෝකෝල (Protocols) සකස් කර තිබේ.
ඒ, තාරකා විද්‍යාඥයන්, ජගත් ආරක්ෂක අංශ සහ ජාත්‍යන්තර සංවිධාන එක් වෙමිනි.
පිටසක්වළ ජීවීන්ගෙන් සංඥාවක් ලැබුණහොත් හෝ ඔවුන්ගේ පැමිණීමක් නිරීක්ෂණය වුවහොත්, ක්‍රියාත්මක විය යුතු ප්‍රධානතම සැලසුම සකස් කර ඇත්තේ පිටසක්වළ බුද්ධිමත් ජීවීන් සෙවීමේ ආයතනයයි. (SETI - Search for Extraterrestrial Intelligence).
SETI ප්‍රොටෝකෝලයන්ට අනුව, ප්‍රථමයෙන්ම, ලැබුණු පිටසක්වළ සංඥාව හෝ අදාළ සාක්ෂි ජාත්‍යන්තර තාරකා විද්‍යාඥයන් කණ්ඩායම් කීපයකට යොමු කර, තහවුරු කර ගැනීම සිදුවෙයි.
ඉන්පසුව, එම තොරතුරු ලෝකවාසීන්ට නොසඟවා හෙළි කළ යුතු අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා සමස්ත මානව සංහතිය නියෝජනය වන පරිදි පොදු ප්‍රතිචාරයක් සකස් කිරීමට මූලික පියවර ගැනෙයි. ජාත්‍යන්තර එකඟතාවකින් තොරව පෘථිවියෙන් කිසිදු පිළිතුරු සංඥාවක් යැවීම සපුරා තහනම්ය.
ගෝලීය මට්ටමින් මෙවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතුව බාහිර අභ්‍යවකාශ කටයුතු පිළිබඳ ආයතනය (UNOOSA - United Nations Office for Outer Space Affairs) නමින් විශේෂ ආයතනයක් ස්ථාපිත කර ඇත. පිටසක්වළින් පැමිණෙන ඕනෑම බුද්ධිමත් ජීවී විශේෂයක් මුළු පෘථිවියටම බලපාන පොදු සාධකයක් බැවින්, තනි රටකට ඒ පිළිබඳව තීරණ ගැනීමේ අයිතියක් නැත.
UNOOSA ආයතනය, මෙවැනි අවස්ථාවකදී විද්‍යාඥයන්, රාජ්‍ය නායකයන් සහ ආරක්ෂක උපදේශකයන් ඒකාබද්ධ කරමින් දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික රාමුවක් සකස් කරනු ඇත. මෙහිදී පිටසක්වළ ජීවීන් සමඟ සබඳතා පවත්වන ආකාරය, ඔවුන් සමග තාක්ෂණික හුවමාරුව සිදුවන ආකාරය සහ මානව වර්ගයාගේ ආරක්ෂාව තහවුරු කරගන්නා ආකාරය පිළිබඳව ජාත්‍යන්තර නීතිමය එකඟතා ක්‍රියාවට නැංවෙනු ඇත.
මීට අමතරව, පිටසක්වළින් පැමිණිය හැකි අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හෝ වයිරස මඟින් පෘථිවියේ ජෛව ගෝලයට හානියක් වීම වැළැක්වීම සඳහා 'ග්‍රහලෝක ආරක්ෂණ' (Planetary Protection) නිරෝධායන ක්‍රමවේද ඇමෙරිකාවේ නාසා (NASA) ආයතනය සකස් කර අවසන්ය.
ලුසිත ජයමාන්න
ස්තුතිය - NASA