සූරියා - මමිතා සුසංයෝගය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jun 27, 2026

සූරියා - මමිතා සුසංයෝගය

සූරියා සහ මමිතා බයිජු ප්‍රධාන චරිත නිරූපණය කරන ‘Vishwanath and Sons’ චිත්‍රපටයේ ගීත මේ වනවිට අන්තර්ජාල හරියටම කියනවා නම් සමාජ මාධ්‍ය කැලඹීමට සමත් වී අවසන්ය. අගෝස්තු 14 වැනිදා තිරගත වීමට නියමිත ‘Vishwanath and Sons’ චිත්‍රපටයප්‍රකට සිනමාකරු වෙන්කි ඇට්ලූරිගේ අධ්‍යක්ෂණයකි. 

ජී. වී. ප්‍රකාශ් කුමාර්ගේ මියුරු සංගීතයෙන් හැඩවුණු මෙම ‘Pattampoochi’ ගීතය, චිත්‍රපටයේ එන සුන්දර මෙන්ම සජීවී ආදර ජවනිකාවක් සිහිපත් කරයි. වයස් පරතරය නොතකා සූරියාගේ චරිතය කෙරෙහි මමිතාගේ චරිතය තුළ ඇති වන ආදර හැඟීම් මෙම ගීතයෙන් මනාව නිරූපණය වෙයි. 

දැඩි ගතිපැවතුම් ඇති පිරිමියකු සහ එඩිතර තරුණියක අතර ඇති වන ආකර්ෂණය ගීතය පුරා ඉතා රසවත්ව ගලා යන ආකාරය දකින්න ලැබේ. මෙම ගීතය දමිළ බසින් ‘Pattampoochi’ ලෙසත්, තෙළිඟු බසින් ‘Neno Butterfly’ ලෙසත් නිකුත් කර ඇත. 
දමිළ පද රචනය අරුන්රාජා කාමරාජ් විසින්ද, තෙළිඟු පද රචනය රාමජෝගයියා ශාස්ත්‍රි විසින්ද සිදු කර ඇති අතර, සංවේදී හඬින් යුත් සුභලාශිනී මෙම අනුවාද ද්විත්වයටම ගායනයෙන් දායක වී තිබේ. 

චිත්‍රපටයේ සූරියා සහ මමිතාට අමතරව රාධිකා සරත්කුමාර් සහ රවීනා තන්ඩන් වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියන් ද ප්‍රධාන චරිතවලට පණ පොවති. සූරියාගේ අවසන් චිත්‍රපටය වූයේ ආර්. ජේ. බාලාජි අධ්‍යක්ෂණය කළ ‘Karuppu’ ය. 

ජිතු මාධවන් අධ්‍යක්ෂණය කරන ‘Suriya47’ චිත්‍රපටයේ වැඩකටයුතුවලට ද ඔහු දායක වෙමින් සිටී. නස්‍රියා නසීම්, ෆහාඩ් ෆාසිල් සහ නස්ලන් කේ. ගෆූර් ද එහි සෙසු චරිත රඟ දක්වති. දකුණු ඉන්දීය සිනමාවේ වත්මන් තාරුණ්‍යයේ දැඩි ආකර්ෂණය දිනාගත් නිළියක ලෙස මමිතා බයිජු අතිශය ජනප්‍රිය වී සිටී. 

මලයාලම් සිනමාවෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය, ඉතා කෙටි කලකින් තමිල්නාඩු මෙන්ම සමස්ත ඉන්දීය ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත් වූවාය. 2017 දී ‘Sarvopari Palakkaran’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මමිතා, ‘Operation Java’ (2021), ‘Kho-Kho’ (2021) සහ ‘Super Sharanya’ (2022) වැනි මලයාලම් චිත්‍රපට හරහා තම රංගන කුසලතාවය මනාව ඔප්පු කළාය. 

ඇගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ 2024 වසරේ තිරගත වූ ‘Premalu’ චිත්‍රපටයයි. එහි ඇය නිරූපණය කළ ‘රීනු’ ගේ චරිතය දකුණු ඉන්දියාව පුරා අතිශය ජනප්‍රිය වූ අතර, ඇය නව පරපුරේ ‘නැෂනල් ක්‍රෂ්’ බවට පත් කිරීමට එය සමත් විය. ‘Premalu’ චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු ඇයට දමිළ සහ තෙළිඟු සිනමාවෙන් විශාල දොරටු විවර විය. 
සූරියා වැනි සිනමාවේ දැවැන්තයකු සමඟ ‘Vishwanath and Sons’ හි ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වීමට ලැබීම ඇගේ සිනමා ගමනේ තවත් සුවිශේෂී කඩඉමක් බව අමුතුවෙන් කිවයුතු නොවෙයි. 

ස්වභාවික රංගන විලාසය මෙන්ම මනස්කාන්ත සිනහව නිසාම ප්‍රේක්ෂක ආදරය දිනූ මමිතා, සූරියා සමඟ රංගනයෙන් එක්වන මෙම නවතම සිනමාපටය ඇගේ සිනමා දිවියේ තවත් සාර්ථක සන්ධිස්ථානයක් වනු නිසැකය.

Classified_Ad