ඔබ දන්නවාද? ලෝකයේ, වඩාත්ම ඩිජිටල්කරණය වූ රාජ්‍යය ලෙස සැලකෙන එස්තෝනියාව, වර්තමානයේදී කෘත්‍රිම බුද්ධිය (AI) සිය පාලන තන්ත්‍රයේ සහ සිවිල් සේවයේ අනිවාර්ය කොටසක් බවට පත්කරගෙන සිටින බව.
යුරෝපයේ කුඩාම රටක් වුව ද, තාක්ෂණික භාවිතය අතින් ඔවුන් සිටින්නේ ප්‍රමුඛ පෙළේය. එස්තෝනියානු රජය AI තාක්ෂණය හඳුන්වන්නේ ක්‍රැට්ස් (Kratt) යන නමිනි. එය එරට ජනප්‍රවාදයේ එන, ස්වාමියා වෙනුවෙන් වෙහෙස නොබලා වැඩ කරන අද්භූත සත්වයකුගේ නම ඇසුරෙන් යෙදූවකි.
අද වන විට එස්තෝනියාව තුළ රාජ්‍ය සේවා 80කට අධික සංඛ්‍යාවක් AI ඇල්ගොරිතම මගින් වඩාත් කාර්යක්ෂමව මෙහෙයවනු ලබයි.
එස්තෝනියාවේ AI භාවිතයේ සුවිශේෂී සලකුණ වන්නේ 'Bürokratt' ව්‍යාපෘතියයි. මෙය හුදෙක් තොරතුරු ලබාදෙන පද්ධතියක් නොව, පුරවැසියන්ට රජයේ සේවාවන් සමඟ සෘජුව ගනුදෙනු කිරීමට ඉඩ සලසන හඬ-පාදක (Voice-based) සහායකයෙකි.
මීට අමතරව, අධිකරණ ක්ෂේත්‍රයේදී සුළු මූල්‍ය ආරවුල් විසඳීම සඳහා 'AI විනිසුරුවරුන්' යොදා ගැනීමත්, චන්ද්‍රිකා දත්ත ඇසුරෙන් කෘෂිකාර්මික සහනාධාර ලබාදීම ස්වයංක්‍රීයව අධීක්ෂණය කිරීමත් හරහා එරට පරිපාලන පිරිවැය සහ කාලය විශාල වශයෙන් ඉතිරි කර ගැනීමට සමත්ව ඇත.
මෙම තාක්ෂණික දියුණුවට මූලික අඩිතාලම වී ඇත්තේ එරට පවතින ශක්තිමත් දත්ත ආරක්ෂණ ක්‍රමවේදයයි. Blockchain තාක්ෂණය මත පදනම් වූ ඔවුන්ගේ ඩිජිටල් යටිතල පහසුකම් හේතුවෙන්, පුරවැසියන්ගේ පෞද්ගලික දත්තවල රහස්‍යභාවය සහ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු වී ඇත.
AI තාක්ෂණය මානව ශ්‍රමයට තර්ජනයක් නොව, එය මානව සඵලතාව ඉහළ නැංවීමට ඇති ප්‍රබල මෙවලමක් බව එස්තෝනියාව අද ලෝකයටම පසක් කර දෙයි.
ලුසිත ජයමාන්න
BBC ඇසුරිනි
