බඩේ සමනල්ලු පියාඹන හැටි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 23, 2026

බඩේ සමනල්ලු පියාඹන හැටි

කෙනකු දුටු විට හදවත වේගයෙන් ගැහෙයි. අත්වලට දහඩිය දමන්න පටන් ගනී. බඩේ අමුතු හැඟීමක් ඇතිවෙයි. ඉංග්‍රීසි බසින් මෙය හැඳින්වෙන්නේ Butterflies in the stomach යනුවෙනි. සිංහලෙන් එහි අරුත ‘බඩේ සමනල්ලු පියාඹනවා’ යන්නයි. 

ගොඩක් දෙනා මේ අමුතු හැඟීම හඳුන්වන්නේ "ආදරයේ ලකුණ" ලෙසය. ඒත්, මනෝවිද්‍යාවට අනුව, එය එසේ නොවෙයි. මනෝවිද්‍යාඥයන් පැහැදිලි කරන ආකාරයට, මේ හැඟීම බොහෝ විට ආදරයට වඩා මානසික ආතතිය (Anxiety) සමඟ සම්බන්ධ ශාරීරික ප්‍රතිචාරයකි. අප කැමති කෙනකු හමුවන විට ‘ඔහු හෝ ඇය මා පිළිගනීවිද?’, ‘ඒ කෙනා මට කැමති වේවිද?’ වැනි නොදැනුවත් සිතුවිලි මොළයේ හටගනී. 

ඒ සමඟම, ශරීරය ඇඩ්‍රිනලින් (Adrenaline) වැනි හෝමෝන නිකුත් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස හෘද ස්පන්දනය වේගවත් වීම, හුස්ම ගැනීම වෙනස් වීම සහ ආහාර ජීර්ණ පද්ධතියට යන රුධිර ප්‍රවාහය තාවකාලිකව අඩුවීම සිදු වේ. ‘බඩේ සමනල්ලු පියාඹනවා’ වැනි හැඟීම ඇතිවන්නේ එම වෙනස්කම් නිසාය. මේ හැඟීම ඇතිවූ පමණින් එය ‘සැබෑ ආදරය’ බවට සාක්ෂියක් නොවේ යැයි ද මනෝවිද්‍යාඥයෝ පැහැදිලි කරති. 

මනෝවිද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, සෞඛ්‍ය සම්පන්න ආදර සම්බන්ධතාවක් කාලයත් සමඟ ආරක්ෂාව, විශ්වාසය, සැනසීම සහ නිදහසේ තමන් ලෙස සිටීමට හැකිවීම වැනි හැඟීම් ඇති කරන බවය. මුල් අවධියේ ඇති උද්දීපනය සහ නොසන්සුන්කම කාලයත් සමඟ අඩුවීම සාමාන්‍ය දෙයකි. 

එහෙයින්, බඩේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙන එක ආදරයේ ආරම්භයේදී ඇතිවිය හැකි ස්වාභාවික අත්දැකීමක් වුවත්, එය ආදරය මනින නිවැරදි මිනුමක් නොවේ. සැබෑ ආදරය හඳුනාගන්නේ මොහොතක ඇතිවන උද්දීපනයෙන් නොව, කාලයත් සමඟ ගොඩනැගෙන විශ්වාසය, ගෞරවය සහ එකිනෙකාට ලැබෙන සැනසීමෙනි. 

ලුසිත ජයමාන්න 
The Brain Maze ඇසුරිනි

Classified_Ad