මෝදිට අභියෝග කළ කැරපොත්තෝ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 28, 2026

මෝදිට අභියෝග කළ කැරපොත්තෝ

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියට එරෙහිව මාසයක් තිස්සේ පැවැති දීපව්‍යාප්ත විරෝධතා අවසන් විය. ඒ, Gen Z ශිෂ්‍ය විරෝධතා හමුවේ, අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය. අමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට යොමු කළේය. 

ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ විශාල ජයග්‍රහණයක් යැයි කැරපොතු ජනතා පක්ෂයේ (කොක්‍රෝච් ජනතා පක්ෂය- CJP) නිර්මාතෘ සහ නායක අභිජීත් දිප්කේ මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. අභිජීත් දිප්කේ ප්‍රමුඛ කැරපොතු ජනතා පක්ෂ සෙසු තරුණ නායකයන්, සහ මෝදි රජයේ අමාත්‍යවරුන් වන ජේ.පී. නඩ්ඩා සහ ජිතේන්ද්‍ර සිං අතර පැවැති තෙවැනි වටයේ සාකච්ඡාවලින් අනතුරුව ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම සිදුවිය. 

විභාග පද්ධතිය ප්‍රතිසංස්කරණ, වේගවත් අධිකරණ ක්‍රියාවලියක් හරහා වරදකරුවන්ට දඩුවම් දීම සහ අසාධාරනයට ලක්වුණු සිසු සිසුවියන් වෙනුවෙන් වන්දි ලබා දීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළ කරමින් ලිඛිත සහතිකයක් ද කැරපොතු ජනතා පක්ෂ තරුණ නායකයන් අතට පත් විය. විභාග වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් සිසුන් 20 දෙනකුට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ අතර, ඒ සම්බන්ධයෙන් රට පුරා ජෙන් සී තරුණ තරුණියන්ගේ මූලිකත්වයෙන් දැවැන්ත විරෝධතා පැවැත්විණි. විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ක්‍රියාකාරීහු ද ඊට සහාය දුන්හ.

 ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි සහ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි පවා විරෝධතාවලට එක් වීම විශේෂත්වයකි. අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් සතුට පළ කරන බවත්, එය විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූ බවත් පෙන්වා දෙමින්, කැරපොතු ජනතා පක්ෂ නායක අභිජීත් දිප්කේ, මෝදි රජයට අවධාරණය කළේ, මියගිය සිසුන්ගේ පවුල් සඳහා රුපියල් කෝටියක වන්දියක් ගෙවන තෙක් සහ සාමකාමීව විරෝධතාවල නිරත වූ සිසුන්ට එරෙහිව පවරා ඇති නඩු ඉවත් කරගන්නා තෙක් තම ක්‍රියාකාරීන් ආරම්භ කළ සටන අත් නොහරින බවය. දිගටම ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා සිදුවෙයි. එසේ වුවත්, විරෝධතා අවසන් විය. නවදිල්ලි අගනුවර යලි සාමකාමී විය. 

 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බලවත්, ශක්තිමත් රජය, සලිත කිරීමට සමත් වූ කොක්‍රෝච් ජනතා පක්ෂය නමැති මේ බලවේගය කුමක්ද? කොක්‍රෝච් ජනතා පක්ෂය යැයි කීවත්, මෙය ලියාපදිංචි දේශපාලන පක්ෂයක් නොවෙයි. මෙය තරුණ (Gen Z ජෙන් සී) විරෝධතා ව්‍යාපාරයකි. මෙය කැරපොතු ජනතා පක්ෂය (කොක්‍රෝච් ජනතා පක්ෂයේ - CJP) යන නමින් හැඳින්වෙන්නේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය BJP ට සමච්චල් කිරීමක් ලෙසය. 

 පසුගිය මැයි 15 වැනිදා තමන්ට ජ්‍යෙෂ්ඨ නීතිඥ තත්ත්වය ලබා දෙන්නැයි ඉල්ලමින්, ඉන්දීය නීතිඥවරයකු දිල්ලි මහාධිකරණයට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. ඉන්දීය අගවිනිසුරු සූර්යා කාන්ත් ඊට අදාළ නඩුව විභාග කිරීම ප්‍රතික්ෂේප කළේ, අදාළ පෙත්සම්කාර නීතිඥවරයා සමාජ මාධ්‍ය තුළ හැසිරී තිබූ ආකාරය සහ නීති ක්ෂේත්‍රය තුළ ප්‍රමිතියෙන් තොරව කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් වෙමිනි.

වෘත්තීය මට්ටමින් රැකියාවක් හෝ පිළිගැනීමක් ලබා ගැනීමට අපොහොසත් ඇතැම් තරුණ තරුණියන්, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරමින්, තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ඉවක් බවක් නොමැතිව සියලු දේ හාරඅවුස්සමින් රටේ පාලන ක්‍රමයට සහ අධිකරණ පද්ධතියට බාධා කරන බවට අගවිනිසුරු සූර්යා කාන්ත්, චෝදනා කළේය. සමාජයට වින කරන එවැනි පුද්ගලයන් පිළිකුල්සගත ‘කැරපොත්තන්’ ලෙස හැඳින්වීමට ද අගවිනිසුරුවරයා අමතක කළේ නැත. අගවිනිසුරුවරයාගේ මෙම ප්‍රකාශය, ඉන්දියානු ‘ජෙන් සී’ තරුණ තරුණියන්ගේ දැඩි විරෝධයට හේතුවක් විය. 

ඉන්දීය කැරපොතු ජනතා පක්ෂයේ ආරම්භය එයයි. කැරපොතු ජනතා පක්ෂය ආරම්භ කළ 30 හැවිරිදි, අභිජීත් දීප්කේ, ඇමෙරිකාවේ බොස්ටන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකි. මොහු ඩිජිටල් සන්නිවේදන උපායමාර්ග සැලැසුම්කරුවෙකි. අභිජීත් දීප්කේ, ඉන්දියාවේ ජෙන් සී තරුණ තරුණියන් හවුල් කර ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය කැරපොතු ජනතා පක්ෂය විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළ අතර, ඉන්දියාවේ නන්දෙසින් මිලියන 10 කට වැඩි තරුණ තරුණියෝ පිරිසක්, මෙම ව්‍යාපාරය සමග එක් වූහ.

එයින් වැඩිදෙනා රැකියා විරහිත තරුණයින්ය. දේශපාලන පක්ෂයක් නොවුණත්, ඉන්දීය කැරපොතු ජනතා පක්ෂයේ සංකේතය කැරපොත්තාය. අභිජීත්, දේශපාලනයට ආගන්තුකයකු නොවෙයි. ඔහු ඇමෙරිකාවේ අධ්‍යාපනය හැදරීමට යෑමට පෙර, දූෂණ විරෝධී ‘ආම් ආද්මි’ දේශපාලන පක්ෂය හා සම්බන්ධව සිටි ක්‍රියාකාරියෙකි. ‘ආම් ආද්මි’ යනු දිල්ලි ප්‍රාන්තයේ අණසක පැතිරූ දේශපාලන පක්ෂයයි. කැරපොතු ජනතා පක්ෂය, විරෝධතා ආරම්භ කළේ නීට් (NEET-UG) තරග විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි. 

NEET-UG හෙවත් National Eligibility cum Entrance Test (Undergraduate) යනු ඉන්දියාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන සියලුම සිසුන් සඳහා පවත්වනු ලබන ප්‍රධානතම ජාතික මට්ටමේ ප්‍රවේශ විභාගයයි. ඉන්දියාවේ රජයේ මෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල MBBS (වෛද්‍ය), BDS (දන්ත වෛද්‍ය) සහ AYUSH (ආයුර්වේද, හෝමියෝපති ආදී) උපාධි පාඨමාලා සඳහා සිසුන් තෝරාගනු ලබන්නේ මෙම විභාගයේදී ලබාගන්නා ලකුණු සහ ශ්‍රේණිගත කිරීම් මත පදනම්වය. මෙම විභාගය සංවිධානය කරනු ලබන්නේ ඉන්දියානු මධ්‍යම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන NTA (National Testing Agency) නම් ස්වාධීන ආයතනය මගිනි. 

සෑම වසරකම එක් වරක් පමණක් පවත්වනු ලබන මෙම විභාගය සඳහා ඉන්දියානු උසස් පෙළ (Class 11 සහ Class 12) මට්ටමේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ජීව විද්‍යාව යන විෂයයන් අඩංගු වේ. ලෝකයේ පවත්වනු ලබන තරගකාරී මෙන්ම විශාලතම ප්‍රවේශ විභාගවලින් එකක් ලෙස NEET-UG හැඳින්විය හැකිය. සෑම වසරකම සිසුන් ලක්ෂ 20 කට ආසන්න අධික සංඛ්‍යාවක් වෛද්‍ය සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් මෙයට පෙනී සිටින අතර, වෛද්‍ය පීඨ ආසන සංඛ්‍යාව සීමිත බැවින් මෙහි තරගකාරීත්වය ඉතා ඉහළ අගයක් ගනී. 

එබැවින් මෙම විභාගයේදී සිදුවන සුළු අක්‍රමිකතාවක් වුවද ලක්ෂ සංඛ්‍යාත සිසුන්ගේ අනාගතයට සෘජුවම බලපෑම් එල්ල කරයි. ප්‍රශ්න පත්‍ර පිටවීමේ චෝදනා මුල්කොට ගනිමින්, අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම දෛවෝපගතය. ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ දිගු දේශපාලන ගමන ආරම්භ වූයේ අසූව දශකයේ ශිෂ්‍ය දේශපාලනයෙනි. ධර්මේන්ද්‍ර ප්‍රධාන් ද මීට දශක කිහිපයකට පෙර 1997 වසරේ සිදුවුණු ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් මුල්කොට ගනිමින්, ආරම්භ වුණු විරෝධතාවලට එක් වුණු තරුණ විරෝධතාකරුවෙක් විය.

එදා ඔහු දහස් ගණනක් තරුණ විරෝධතාකරුවන් හා එක් වූයේ ඔඩීෂා ප්‍රාන්තයේ තරග විභාගයක ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිටවීම සම්බන්ධයෙන්, පැවැති කොංග්‍රස් පක්ෂ පාලනයට එරෙහිව විරෝධය පළ කරමිනි. එදා ඔඩීෂා ප්‍රාන්ත මහ ඇමැති ලෙස කටයුතු කළේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රබලයකු වූ ජේ.බී. පට්නායික් ය. ධර්මේන්ද්‍ර ප්‍රධාන් පොලිස් ප්‍රහාරයකට ලක් වී තුවාල ලැබුවා පමණක් නොව, පොලිස් අත්අඩංගුවට ද පත් විය. එම සිදුවීමෙන් වසර 29 කට පසු, එනම් ඉකුත් ජූලි 20 වන දින, ධර්මේන්ද්‍ර ප්‍රධාන්ට සහ අග්‍රාමාත්‍ය මෝදිට ධුරවලින් ඉවත් වෙන්නැයි බල කරමින්, නවදිල්ලියේ පැවැති ශිෂ්‍ය විරෝධතා අමානුෂික ලෙස මර්දනයට පොලිසිය යෙදවිණි. 

 තරුණ දේශපාලන ක්‍රියාකාරියකු වී සිටි ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ මැතිවරණ ජීවිතය ආරම්භ වූයේ, 2000 වසරේදීය. ඔහු බයිජු ජනතා දාල් සහ භාරතීය ජනතා පක්ෂ සන්ධානයේ අපේක්ෂකයකු ලෙස පල්ලහ්රා සභා (ඔඩිෂා ප්‍රාන්ත මැතිවරණයක්) මැතිවරණ කොට්ඨාසයෙන් ජයග්‍රහණය කිරීමත් සමගය. සිවු වසරකට පසු 2004 මහ මැතිවරණයේදී, ධර්මේන්ද්‍ර ප්‍රධාන්, ඩියෝගාර් පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාසයෙන් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය. 2004 වසරෙන් පසු, ඔහු මැතිවරණවලට තරග කළේ නැත. කෙසේ නමුත් භාරතීය පක්ෂය තුළ ඔහුට තිබූ ප්‍රමුඛතාවය නිසා, ඔහු දෙවරක් වෙනත් ප්‍රාන්තවලින් රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්විය. 

2012 අප්‍රේල් සිට 2018 අප්‍රේල් දක්වා බිහාර් ප්‍රාන්තයෙන් ද, 2018 අප්‍රේල් සිට 2024 අප්‍රේල් දක්වා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ද ඔහු එලෙස රාජ්‍ය සභා මන්ත්‍රීවරයකු ලෙස පත් විය. 2014 දී, මෝදිගේ නායකත්වයෙන් භාරතීය ජනතා පක්ෂ රජය විශිෂ්ඨ ජයක් ලබා බලයට පත්වූ විට, ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඛනිජ තෙල් රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් වූයේ, ඔහු රාජ්‍ය සභාවේ බිහාර් ප්‍රාන්තය නියෝජනය කරමින් ලැබූ පත්වීමකිනි. අවසන් වරට මැතිවරණයකට ඉදිරිපත් වී දශක දෙකකට පසු, 2024 දී, ඔහු නැවතත් ඔඩිෂාවෙන් මැතිවරණයට තරග කර ලෝක් සභා මන්ත්‍රීවරයකු බවට පත් වීමෙන් පසු ධර්මේන්ද්‍ර ප්‍රධාන් අධ්‍යාපන ඇමති ධූරයට පත් විය. 

ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 (2) වගන්තියට අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් අනුව, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු, ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම බාර ගත්තාය. පුරප්පාඩු වූ අධ්‍යාපන අමාත්‍ය ධුරයේ වගකීම කැබිනට් අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි මහතා වෙත පැවරීම ඉන්පසු සිදුවිය. කැබිනට් අමාත්‍ය ප්‍රල්හාද් ජෝෂි මේ වනවිට පාරිභෝගික කටයුතු, ආහාර හා පොදු බෙදාහැරීම් සහ නව හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. ඊට අමතරව, අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම් ද ඉදිරියට මෙහෙයවනු ලබනු ඇත්තේ ප්‍රල්හාද් ජෝෂි විසිනි. 

ලුසිත ජයමාන්න
NDTV ඇසුරිනි

Classified_Ad