
අධික උණුසුම සහ වියලි කර්කශ කාලගුණයට ඔරොත්තු දෙන, දරාගැනීමේ හැකියාව උපරිමයෙන්ම ඇති සතා ඔටුවාය. ඒත් මේ වනවිට, එල් නීනෝ කාලගුණ විපර්යාස හේතුවෙන්, ඉහළ යන දැඩි උණුසුම දරා ගැනීමට නොහැකිව ඔටුවන් මියයෑමට පටන්ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
හෝර්න් ඔෆ් ඇෆ්රිකා (Horn of Africa) යනු නැගෙනහිර අප්‍රිකානු මහද්වීපයේ අරාබි මුහුද සහ ඒඩන් බොක්ක (Gulf of Aden) දෙසට නෙරුමක් ලෙස ඇති භූමි ප්‍රදේශයයි. මියයන්නේ මෙම භූමි ප්‍රදේශවල ඔටුවන්ය.
උතුරු අප්‍රිකාවේත්, මෙම හෝර්න් ඔෆ් ඇෆ්රිකා භූමියේත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසු කර ඇත. අධික උෂ්ණත්වය, දැඩි නියං කාලගුණය සතුන්ට විශාල ලෙස බලපා ඇති අතර, උන් විජලනයට සහ විවිධ රෝගාබාධවලට ලක් වන බව පරිසරවේදීහු බිය පළ කරති.
ඔටුවා යනු වියළි හා ශුෂ්ක කාන්තාර ප්‍රදේශවල ජීවත් වීමට විශිෂ්ට ලෙස හැඩගැසුණු සතෙකි. උන්ගේ පිටේ ඇති නෙරපූ කුහය (hump) තුළ තැන්පත් වී ඇති තෙද පටක මගින් ආහාර සහ ජලය නොමැතිව දින ගණනාවක් පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබා දෙයි.
අධික රස්නයෙන් හා වැලි සුළඟින් ආරක්ෂා වීම සඳහා උන්ට ඝන රෝම, දිගු ඇසිපිය සහ වැසිය හැකි නාස්පුඩු පිහිටා ඇත. වැල්ලේ ගිලෙන්නේ නැතිව පහසුවෙන් ගමන් කිරීමට හැකි පළල් පතුල් සහිත පාද පිහිටා තිබීම නිසා ඔටුවා කාන්තාරයේ නැව ලෙස හඳුන්වයි. දීර්ඝ කාලයක සිට මිනිසාගේ ප්‍රවාහන කටයුතු සඳහා මෙන්ම කිරි සහ ලොම් ලබා ගැනීමටද ඔටුවන් බෙහෙවින් උපකාරී වේ.
Brain Maze ඇසුරිනි