අද්භූත මානවයෙක් අපේ ඇගේ හැංගිලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 2, 2026

අද්භූත මානවයෙක් අපේ ඇගේ හැංගිලා

මානව පරිණාමයේ කතාව අබිරහසකි. එහි හිඩැස් බොහොමයකි. අප්‍රිකාවෙන් ගමන ආරම්භ වූ අප මුතුන්මිත්තන්, එනම් හෝමෝ සේපියන් හෙවත් නූතන මානවයා, ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී, ඔවුන්ට වඩා වෙනස්, ඔවුන්ට වඩා පැරණි මානව වර්ග කිහිපයක් හමු වුණු බව පැවැසෙයි. 

ඒ අතරින්, වඩාත්ම ප්‍රකට නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් නමැති මානවයන් සමඟ අප ආදී මුතුන්මිත්තන් එසේත් නැතිනම් හෝමෝ සේපියන් මිශ්‍ර වුණු බවත්, ඒ අයගේ ජාන අදටත් අපේ සිරුරු තුළ අපේ ජාන සමග මුසු වී යම් ප්‍රමාණයකින් ඉතිරි වී ඇති බවත් විද්‍යාඥයන් කාලයක සිට දන්නා කරුණකි. 

ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පසුගියදා මානව ඉතිහාසයේ තවත් අපූරු රහසක් ලොවට හෙළි කළහ. ඒ, නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් මානවයන්ට අමතරව, අපේ ඩී.එන්.ඒ. තුළ රහසේ සැඟවී සිටින, මෙතෙක් කිසිම පොසිලයකින්වත් හමු නොවූ තවත් අද්භූත මානවයකුගේ තොරතුරුය. ලොව පුරා විවිධ ජනගහන නියෝජනය කරන පුද්ගලයන් 503 දෙනකුගේ ජාන පරීක්ෂා කිරීමේදී විද්‍යාඥයන්ට මෙම අබිරහස් මානවයාගේ ජානමය සාධක හමුවී ඇත. 

විද්‍යාඥයන්ට මෙම සොයාගැනීම සිදු කිරීමට 'ට්‍රේස්' (TRACE) නමැති නවතම ජාන තාක්ෂණය උපකාරී වී තිබේ. පර්යේෂණවලදී හෙළි වී ඇති ආකාරයට, අප්‍රිකා නොවන ජනගහනයේ ජානවලින් සියයට 2 ක් පමණ නියැන්ඩර්තාල් සහ ඩෙනිසෝවන් යන පැරණි මානවයන්ගෙන් පැමිණි අයයි. පුදුමය, ඉතිරි සියයට 0.5 ත් සියයට 1 ත් අතර ඩී.එන්.ඒ. අණු මෙතෙක් අප දන්නා හඳුනන කිසිදු මානව ජාන සිතියමක් හා නොගැලපීමය. 

මෙයින් පැහැදිලි වන්නේ අපේ මුතුන්මිත්තන් සමඟ එක් වුණු, මෙතෙක් කිසිම පොසිල සාක්ෂියක් හමු වී නැති, වෙනත්ම අද්භූත මානව සමූහයක් අතීතයේ ලෝකයේ ජීවත් වී ඇති බවය. මෙම සොයාගැනීමේ විශේෂිතම සහ වැදගත්ම කාරණය, මීට වසර ලක්ෂ පහකට පමණ පෙර මානව පවුල් ගසෙන් වෙන් වී ගිය මෙම අද්භූත මානව කණ්ඩායමේ ජානය, මිනිසාගේ කථනය සහ භාෂා හැකියාවන්ට සම්බන්ධ FOXP2 නමැති ජානය හා සම්බන්ධ වී තිබීමය.

මෙතෙක් මානව විද්‍යාඥයන් සිතා සිටියේ මෙම FOXP2 ජානය නූතන මිනිසාට පමණක් අනන්‍ය වූ, අන් කිසිදු මානවයකුට නොතිබුණු එකක් බවය. මෙම සොයාගැනීමත් සමඟ පෙනී යන්නේ, අද අප කතා කරන සංකීර්ණ භාෂා, ශබ්ද නගා අදහස් හුවමාරු කරගැනීමේ හැකියාව සහ සන්නිවේදන රටාව පිටුපස අප තවමත් නොදන්නා, අතීතයත් සමග සැඟවී ගිය, ඒ අද්භූත මානවයන්ගේ විශාල දායකත්වයක් තිබෙන්න පුළුවන් බවය. 

ලුසිත ජයමාන්න 
BBC Science

Classified_Ad