නේපාලයට කඩා වැදුණු 'සුනාමිය' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 26, 2026

නේපාලයට කඩා වැදුණු 'සුනාමිය'

නේපාලය පමණක් නොව, චීන පාලනය යටතේ පවතින ටිබෙටය ද ස්වාභාවික ව්‍යසනයකට මුහුණ දුන්නේය. හද කම්පා කරන ඒ ව්‍යසනයේ බිහිසුණුකම විදෙස් මාධ්‍ය ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් දකින්න ලැබුණි. මුහුදක් අහලකවත් නැති නේපාලයට සුනාමියක් සේ, කඩා වැදුණේ ප්‍රචණ්ඩ ජල පහරකි. 

නිවාස, ගොඩනැගිලි, පාලම්, මහා මාර්ග සුනුවිසුණු කළ ඒ ප්‍රචණ්ඩ රළ පහර ජීවිත බිලි ගත්තේය. බොහෝ දෙනා මඩ තට්ටු සමග ආ, එම සැඩ රළ පහරට හසුවෙද්දී, විලාප නගමින් රළ පහරින් බේරීමට උස් බිම් බලා දුවන පිරිස් ද විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. මෙම මහා ව්‍යසනය සිදුවූයේ ටිබෙටය හරහා නේපාලයට ගොස් ඉන්පසු ඉන්දියාව හරහා මූදට ගලා බසින ගංගාවක් පිටාර ගැලීමෙනි. 

නේපාල වැසියන්, භෝටේකෝෂි ලෙස හඳුන්වන මෙම ගංගාව හිමාල කඳුවැටියේ, ශීෂපාන්ග්මා කන්ද ආසන්නයේ ඇති ෂැංෂැංබෝ ග්ලැසියරයෙන් ආරම්භ වෙයි. මෙය නේපාලයට ගලා එන්නේ ටිබෙටය පසු කරමිනි. ටිබෙට් වැසියන් මෙම ගංගාව හඳුන්වන්නේ පොයිකූ යනුවෙනි. 

ටිබෙටය හරහා එන ගංගාව, චීන-නේපාල දේශසීමාවේ කෝඩාරි පළාතෙන්, නේපාලයේ සිංධුපාල්චොක් දිස්ත්‍රික්කයට ඇතුළු වෙයි. ඉන්පසු භෝටේකෝෂි ලෙස එය ඉතා තද බෑවුම් සහිත පටු මාර්ග ඔස්සේ දකුණු දෙසට අධික වේගයෙන් ගලා බසී. භෝටේකෝෂි ගංගාව, තතෝපානි, බාරබිසේ සහ ලමොසංගු වැනි ප්‍රදේශ පසු කරමින් ගලා බසී. සුදු පෙන කැටි විහිදුවමින්, වේගයෙන් ගලන මෙම ගංගාව සුළං පිරවූ විශේෂ රබර් බෝට්ටු (රෆ්ටිං) භාවිතයෙන් ගංගාව තරණය කිරීමේ ත්‍රාසජනක ක්‍රීඩාවට ලොව පුරා ප්‍රසිද්ධියක් උසුළයි. 

භෝටේකෝෂි ගංගාව, බාලේෆි සහ ලමොසංගු ආසන්නයේදී සුන් කෝෂි ගංගාව සමග එක් වෙයි. පසුව සප්ත කෝෂි ගංගා පද්ධතිය හරහා ගලා ගොස් ඉන්දියාවේදී ගංගා නදියට මුසුවෙයි. ගංගාව දිගේ ආ ප්‍රචණ්ඩ රළ කඩා වැදීමෙන්, ටිබෙටයේ ගයිරොං ප්‍රාන්තයේ අතුරුදහන් වූ ගණන 600 ක් යැයි චීන බලධාරීහු පවසති. ටිබෙටයේ දී අතුරුදහන් වූවන් අතර ද විදේශිකයන් 260 දෙනකු සිටින බව පැවැසෙයි. චීනය සහ නේපාලය අතර සංචාරකයන් සහ ගමනාගමනය සඳහා වන ප්‍රධාන පිවිසුම වැටී ඇත්තේ මෙම ගයිරොං ප්‍රාන්තයේය.
චීන බලධාරීන් පැවැසුවේ, ටිබෙටයෙන් මරණ 50 ක් වාර්තා වන බවය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සදහාත්, විපතට පත්වූවන්ට පිහිට වීමටත් චීන රජය හමුදාව යොදවා ඇත. ටිබෙටය පසු කරමින්, ගංගාව දිගේ ම‌ඩ සහ පස් තට්ටු තල්ලු කරගෙන ආ සැඩ පහරින් බලපෑම් එල්ල වූයේ නේපාලයේ රසුවා පළාතටය. රසුවා ඇත්තේ නේපාලයේ ටිබෙට් දේශසීමාව අසලය. භෝටේකෝෂි ගංගාව, නේපාලය හරහා ගලා බසින්නේ රසුවා පළාත හරහාය. ගංගාවට හිටිහැටියේ මෙතරම් විශාල ජල කඳක් එක් වූයේ කෙසේද? මෙයට තවමත් පැහැදිලි පිළිතුරක් ලැබී නැත. 

ඊයේ (26) උදෑසන හටගත් රික්ටර් පරිමානයේ ඒකක 4.4 ක් සටහන් කළ භූ චලනයක් නිසා ග්ලැසියර නායයෑමක් සිදුවන්න ඇති බවත්, ග්ලැසියරයේ ජලය ගංගාව හරහා පහළට වේගයෙන් ආ බවත්, නේපාල භූවිද්‍යාඥයන්ගේ අදහසය. නේපාල රජය ද මේ බව තහවුරු කර ඇත. 

කෙසේ නමුත්, ඇමෙරිකන් භූ විද්‍යාඥයන්පැවැසුවේ, තමන්ට එම පළාතෙන් කිසිදු ආකාරයක භූ චලනයක් ගැන තොරතුරු ලැබී නැති බවය. චන්ද්‍රිකා ඡායාරූප ද භාවිතයට ගනිමින් මේ ගැන වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇමෙරිකන් විද්‍යාඥයන් වැඩිදුරටත් පවසා ඇත. සැඬ රළ පහරට හසුවීමෙන් අතුරුදන් වුණු ගණන 1500 පසු කර ඇතැයි නේපාල රජය පැවැසීය. 

නේපාල සංචාරක මණ්ඩලය ප්‍රකාශ කළේ එරට රසුවා පළාතේ වැසියන්ට අමතරව‍, දෙස් විදෙස් සංචාරකයන් 500 කට වැඩි පිරිසක් අතුරුදන් බවය. ඔවුන් අතර විදේශිකයන් 291 දෙනකු සිටින බව පැවැසෙයි. අතුරුදන් වූ විදෙස් සංචාරකයන් අතර ඉන්දියානුවන් 300 දෙනකු, ඇමෙරිකානුවන් 54 දෙනකු, ඕස්ට්‍රේලියානුවන් 34 දෙනකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් 33 දෙනකු, යුක්රේන ජාතිකයන් 53 දෙනකු, මැලේසියා ජාතිකයන් 50 කට වැඩි දෙනකු සහ කැනඩා ජාතිකයන් 24 දෙනකු සිටින බව නේපාල රජය පවසා ඇත. ඊට අමතරව අතුරුදන් වූවන් අතරේ දකුණු කොරියා, දකුණු අප්‍රිකා, පෘතුගාල සහ නෙදර්ලන්ත සංචාරකයෝ ද සිටිති. 

ජල පහරට සහ මඩ තට්ටුවලට හමුවී අතුරුදන් වුණු ඉන්දියානුවන් වන්දනාකරුවන්ය. මොවුන් හිමාල අඩවියේ කෛලාශ කන්ද වන්දනාවකට යමින් සිටි පිරිසක් බව පැවැසෙයි. අද (27) උදෑසන වෙද්දී, මළසිරුරු 165 ක් සොයා ගැනීමට නේපාල දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ හමුදාව සමත් විය. මඩ තට්ටු අතරින් 200 දෙනකු බේරා ගැනීමට ද හමුදාව සමත් වූ බව විදෙස් මාධ්‍ය පැවැසීය. 
මාර්ග අවහිර වීම, පාලම් කැඩී යෑම හේතුවෙන්, සහන සේවා කටයුතු මන්දගාමීව සිදුවෙයි. හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වුණු, නේපාලයට අවශ්‍ය සහාය කඩිනමින් ලබා දිය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසා ඇත. මේ වනවිට ඇමෙරිකාව, චීනය, යුරෝපා සංගමය සහ නේපාලයේ අසල්වැසියා වන ඉන්දියාව කඩිනමින් සහාය දැක්වීමට ඉදිරිපත් විය. 

විපතට පත්වුණු ජනතාව සඳහා හදිසි නවාතැන්, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ වෙනත් සහනාධාර ද්‍රව්‍ය ලබා දීම වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 500,000 ක ආධාර ලබා දෙන බව ඇමෙරින් රජය පවසා ඇත. ඉන්දීය සහ චීන දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් ද නේපාලයට යෑමට සූදානමින් සිටින බව ද පැවැසෙයි. ඊට අමතරව, ඉන්දීය රජය ටොන් 10 ක ආධාර තොගයක් ද ගුවන් මගින් කත්මණ්ඩු බලා යැවූ බව වාර්තා විය. 

සිදුවුණු විපත සම්බන්ධයෙන් කනස්සල්ලට පත් වුණු නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා, විපතට පත්වූවන් වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කරන බවට ප්‍රතිඥා දී ඇත. නේපාලයේ සහායට ඉදිරිපත් වුණු විදේශවලට නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා ස්තුති කළේය.

Classified_Ad