චීනයේ Panda Diplomacy - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 3, 2026

චීනයේ Panda Diplomacy

චීනෙන් ඇමෙරිකාවට ලැබුණු හරි අපූරු තෑග්ගක් ගැන කියන්නයි මේ සූදානම. මේ තෑග්ග, සෙල්ලක්කාර, හුරුබුහුටි කළු සුදු පැන්ඩා වලසුන් දෙන්නෙකි. ‘පිංග් පිංග්’ සහ ‘ෆු ෂුවාං’ එම පැන්ඩාවන්ය. ‘පිංග් පිංග්’ පිරිමි සතෙකි. ‘ෆු ෂුවාං’ ගැහැනු සතෙකි. තෑග්ගක් ලෙස ලැබුණත් මේ දෙන්න ඇත්තටම නම්, චීනයෙන් ඇමෙරිකාවට පැමිණි තානාපතිවරුන් දෙදෙනකු හා සමානය. 

පැන්ඩා චීනයේ සංකේතයයි. චීනයේ අභිමානයයි. පැන්ඩා චීනයට පමණක් ආවේණික වළස් විශේෂයක්. අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල පැන්ඩා වළසුන් ගැන නිතරම විහිලු වීඩියෝ දකින්න ලැබේ. හුරුබුහුටි හුරතල් වැඩ නිසා පැන්ඩා හරි ජනප්‍රියයි. වලස් විශේෂ අතරින් පැන්ඩා කියන්නේ ප්‍රචණ්ඩකාරි වලස් විශේෂයක් නම් නොවෙයි. පැන්ඩා ආහාරයට ගන්නේ උණ ගස් පමණි. 

පැන්ඩා ‘කම්මැලි’, ‘මෝඩ’ සතකු යැයි බොහෝ දෙනකු අතරේ මතයක් ඇත. ඒත් එය වැරදිය. විද්‍යාත්මකව බැලුවොත්, පැන්ඩා කියන්නේ මෝඩ සතුන් නෙවෙයි. එයාලගේ ඒ අමුතු සහ හැසිරීම් පිටුපස අපූරු විද්‍යාත්මක හේතු කිහිපයක් තියෙනවා. කලින් කී විදියට පැන්ඩාවන්ගේ ප්‍රධානම ආහාරය උණ බට වුණත්, උණ බටවල සිරුරට අවශ්‍ය තරම් වැඩි ශක්තියක් නැහැ. 

ඒ නිසා තමන්ට ලැබෙන සීමිත ශක්තිය රැක ගන්න පැන්ඩාවන් වැඩිපුර එක තැනකට වෙලා ඉන්නවා. පැන්ඩාවන්ගේ මහත ශරීරය සහ කෙටි කකුල් නිසා සමහර අවස්ථාවලදී ඇවිදින්න හෝ ගස් නඟින්න යද්දී සමබරතාව නැතිවී වැටෙන්න පුළුවන්. ඒක ඔවුන්ගේ සිරුරේ ස්වභාවය මිසක් මෝඩකමක් නෙවෙයි. 

පැන්ඩා කියන්නේ කිසිසේත්ම මෝඩ සතුන් නොවෙයි; ඔවුන් ස්වභාවධර්මයේ ජීවත් වෙන්න පුදුම අයුරින් හැඩගැසුණු, ලෝකවාසීන්ගේ ආදරය දිනාගත් අපූරු සත්ව විශේෂයකි. 

දැන් අපි ආපසු යමු අපේ කතාවට. ‘පිංග් පිංග්’ සහ ‘ෆු ෂුවාං’ ඇමෙරිකාවට තෑගි වශයෙන් ලැබුණේ, පසුගිය දා සිදුවුණු චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ඓතිහාසික ඇමෙරිකා සංචාරයෙන් පසුවය. චීනය විසින් ඇමෙරිකාවට තෑගි කරනු ලැබූ මේ පැන්ඩා යුවළ ආරක්ෂිතව ඇමෙරිකාවට ළඟා වුණේ පසුගිය 27 වැනිදාය. ඒ විශේෂ බෝයිං 777 වර්ගයේ ගුවන් යානයකිනි.

‘පිංග් පිංග්’ සහ ‘ෆු ෂුවාං’ දෙන්නා ඉපදිලා තියෙන්නේ 2020 වසරේදීයි. ඒ කියන්නේ එයාලා පුංචි පැටවු දෙන්නෙක් නම් නොවෙයි. චෙන්ඩු ෂුවැංලියු ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට පැය 16 ක දිගු ගුවන් ගමනකින් පස්සේ තමයි මේ දෙන්නා ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ ඇට්ලන්ටා නුවරට ළඟා වුණේ. දැන් ඉදිරි වසර 10 ක කාලය පුරාම එයාලගේ නිවහන ඇට්ලන්ටා සත්ව උද්‍යානයයි. 

මීට පෙර 1999 සිට වසර 25 ක් පුරා මේ සත්ව උද්‍යානයේ පැන්ඩා වලසුන් සිටියත්, 2024 වසරේ සිට එහි පැන්ඩා වලසුන් සිටියේ නැත. ඒ නිසා, මේ ‘පිංග් පිංග්’ සහ ‘ෆු ෂුවාං’ පැන්ඩා යාලුවෝ දෙන්නා දැකගන්න ඇට්ලන්ටා වැසියන්, විශේෂයෙන්ම පුංචි දරුවන් ගොඩක් සතුටින් බලාගෙන සිටි බව පැවැසෙයි. පැන්ඩාවන්, ස්වභාවිකව ජීවත් වෙන්නේ චීනයේ මධ්‍යම ප්‍රදේශයේ උස් කඳුකරයේ පිහිටි සිසිල් වනාන්තරවලය. 

මේ වනවිට ලෝකයේ වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දී සිටින දුර්ලභ සතුන් අතර පැන්ඩාවන් ද ඉදිරියෙන්ම සිටී.  චීනය, මේ විදිහට වෙනත් රටවලට පැන්ඩා වළසුන් තෑගි කරන්න විශේෂ ක්‍රමයක් පාවිච්චි කරයි. ‘පැන්ඩා රාජ්‍යතාන්ත්‍රිකභාවය’ නැත්නම් ඉංග්‍රීසි බසින් ‘පැන්ඩා ඩිප්ලෝමසි’ යනු එම ක්‍රමයයි. විදේශීය සබඳතා සහ මිත්‍රත්වය වර්ධනය කරගන්න චීන රජය දශක ගණනාවක සිට මේ අපූරු ක්‍රමය භාවිතා කරයි. 

චීනය මේ විදිහට තමන්ගේ රටේ ආඩම්බරය වන හුරුබුහුටි පැන්ඩා වළසුන් ලෝකයේ විවිධ රටවලට තෑගි කර ඇත. ජපානය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවල් ඊට ඇතුළත් වෙයි. චීන ජනාධිපති ෂී ජින්පින් සහ බිරිඳ ඇමෙරිකා සංචාරයක නියැලුණු අවස්ථාවේදී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා  විසින් ඔවුන් ඉතා උණුසුම් ලෙස පිළි ගනු ලැබුණි.

ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්වුණා. එහිදී රටවල් අතර තීරුබදු ගැටලු වගේම යුක්රේන රුසියා යුද්ධය සහ ඇමෙරිකා ඉරාන යුද්ධය වැනි දේ ගැනත් නායකයන් අවධානය යොමු විය. කොහොම වුණත් මේ පැන්ඩා වළසුන් තෑග්ග ලෝක සාමයට හමුවුණු හරිම ලස්සන සංකේතයකි. 

ලුසිත ජයමාන්න 
CNN ඇසුරිනි

Classified_Ad