සයිබීරියාවේ මහාමාරිය බිය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Oct 7, 2026

සයිබීරියාවේ මහාමාරිය බිය

විවිධාකාරයේ දේශපාලන අර්බුද, යුද ගැටුම් සහ හැලහැප්පීම් මැද, සයිබීරියාවෙන් ඇඟ කිලිපොළා යන පුවතක් අසන්න ලැබුණි. ඒ පුවතට මුල් වූයේ, රුසියාවට අයත් සයිබීරියාවේ ඉර්කුට්ස්ක් නමැති නගරයේ, වසංගත මර්දන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, පර්යේෂිකාවක ලෙස කටයුතු කළ 28 හැවිරිදි තරුණියක දැඩි රෝගී වී හුස්ම ගැනීමට නොහැකිව මියයෑමේ සිද්ධියයි. මියගිය ඇය ඩාරියා ෂිපිලෝවා ය. 

 බලධාරීන්ට අනුව, ඉර්කුට්ස්ක් නගරයේ, වසංගත මර්දන වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ වයිරස සහ බැක්ටීරියා සම්බන්ධ පර්යේෂණය. වසංගත තත්ත්වයන් ඇතිවුවහොත් ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න සහ ප්‍රතිකාර කළ යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න සෙවී‍ම මෙම පර්යේෂණ ආයතනයේ අරමුණය. ඩාරියා මියගියේ ඉකුත් ඔක්තෝබර් දෙවැනිදාය. 

ඇය ඒ වනවිට අසල්වැසි ෂෙලෙකොව් නගරයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූවාය. වෛද්‍යවරුන් ඇය කෘත්‍රිම ශ්වසන ආධාරක යන්ත්‍රයකට නැතිනම් වෙන්ටිලේටරයකට සම්බන්ධ කර තිබුණි. ඩාරියා මියගියේ ස්වසන අපහසුතාවකිනි. මරණයට හේතුව, නියුමොනික් ප්ලේග් (Pneumonic plague) හෙවත් පුප්ඵුසීය මහාමාරිය නමැති රෝගී තත්ත්වයයි. 

ප්ලේග් (Plague) යන්න සිංහලෙන් අර්ථ ගැන්වුවහොත්, එය මහාමාරියයි. එසේත් නැතිනම් වසංගතය යන අරුතය. නියුමොනික් ප්ලේග්, 'යෙර්සීනියා පෙස්ටිස්' (Yersinia pestis) නමැති බැක්ටීරියාව මගින් වැළඳෙන රෝගී තත්ත්වයයි. 

මෙම බැක්ටීරියාව සෘජුවම පෙණහලු ආසාදනය කරන අතර දැඩි ප්‍රශ්වාස අපහසුතා ඇති කරයි. මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින්, මුහුණු ආවරණ පැලඳ සිටීමෙන් මෙම බැක්ටීරියාවෙන් ආරක්ෂා විය හැකිය. බැක්ටීරියා වයිරස මෙන් දරුණු ලෙස ව්‍යාප්ත වන්නේ ද නැත. 

රෝගය ගැන හරි අවබෝධයෙන් සිටීම වැදගත්ය. රෝගය කල්තියා හරිහැටි හදුනා ගැනීමට හැකිවුවහොත්, ප්‍රතිජීවක ඖෂධ මගින් ආසාදිතයන් බේරා ගැනීම කළ හැකිය. ඩාරියා මියගියේ ඇගේ රෝගී තත්වය කල් තියා හඳුනා ගැනීමට නොහැකි වුණු බැවිනි. 

 වසංගත මර්දන වෛද්‍ය පර්යේෂණ ආයතනය තුළ සිටිද්දී, ඩාරියා 'යෙර්සීනියා පෙස්ටිස්' බැක්ටීරියා සාම්පල, පරීක්ෂණ සඳහා නියැදි ලබා ගනිද්දී, එක් පර්යේෂණ නළයක් අත්වැරදීමකින් බිදී ගිය බවත්, බැක්ටීරියාව ඇගේ සිරුරට ඇතුළු වෙන්න ඇති බවත් අනුමාන කෙරේ. ඒත් සිදුවූවේ කුමක්දැයි තවමත් අප හරියටම දන්නේ නැත. ඉර්කුට්ස්ක් වසංගත මර්දන වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රහස් තිබෙනවා විය හැක. 

රුසියානු රජය මේ ගැන කිසිවක් පවසා නැත. හමුදාව ද කිසිදු නිවේදනයක් නිකුත් කර නැත. කෙසේ නමුත්, පර්යේෂණාගාරයේ ඇය සමග සිටි, රෝගී වූ පසු ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්, ඇගේ යහළුවන්, පවුලේ අය, මඟතොටේ දී ඇය මුණ ගැසුණු අය ඇතුළු 500 කට වැඩි පිරිසක් සොයා ඔවුන් වහාම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ. 

මෙම බැක්ටීරියාව ආසාදනය වූ පසු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ දින 7 කට පසුව යැයි ද පැවැසෙයි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය ද මෙම පුප්ඵුසීය නියුමොනියා රෝගී තත්ත්වය සම්බන්ධයෙන් යොමු විය. 

ට්‍රම්ප් පරිපාලනය මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් රුසියන් බලධාරීන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වී පුප්ඵුසීය නියුමොනියා ව්‍යාප්තියක් සිදුවන්නේ නම් ඒ ගැන විමසිල්ලෙන් පසුවන බවය. අවහ්‍ය නම් රුසියාවට සහාය දීමට තමන් සූදානම් බව ට්‍රම්ප් සෘජුවම පැවැසීය. 

මේ අතර, කිසිදු අනියත බියක් ඇති කර ගැනීමෙන් වළකින්නැයි පවසමින්, රුසියන් සහ සයිබීරියානු බලධාරීන් මහජන උත්සව සහ ජනතා ඒකරාශීවීම් අත්හිටුවා ඇත. මුහුණු ආවරණ (මාස්ක්) පලඳින මෙන් ජනතාවට උපදෙස් දී ඇත. අත්‍යාවශ්‍ය කාරණාවකට පවා රුසියාවට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව සිය වැසියන්ට දන්වා ඇත. 

 සයිබීරියාව, රුසියාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 77 ක් පුරා පැතිරුණු, බටහිරින් යූරල් කඳුවැටියේ සිට නැගෙනහිරින් පැසිෆික් සාගරය දක්වා විහිදෙන අතිදැවැන්ත භූගෝලීය කලාපයකි. මුළු පෘථිවියේම භූමි ප්‍රමාණයෙන් සියයට 10 කට ආසන්න විශාලත්වයකින් යුක්ත වුව ද, අධික ශීතල දේශගුණය හේතුවෙන් මෙහි ජීවත් වන්නේ රුසියානු ජනගහනයෙන් සියයට 27 ක් වැනි සුළු ජගහනයකි.

උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 50 ට වඩා අඩුවෙයි. සයිබීරියාව රුසියාවේ ආර්ථිකයේ කොඳුනාරටිය බඳු ස්වාභාවික සම්පත්වලින් පිරි කලාපයයි. සයිබීරියාවේ, රුසියානු හමුදාව සහ රාජ්‍යය සතුව අධි-ආරක්ෂිත ජීව විද්‍යාත්මක පර්යේෂණාගාර පිහිටා ඇත. ඒ අතරින්, නොවොසිබිර්ස්ක් කලාපයේ කොල්ට්සෝවෝ පිහිටි, ‘වෙක්ටර්’ - වයිරස් විද්‍යාව සහ ජෛව තාක්ෂණික පර්යේෂණායතනය කැපී පෙනෙයි. 

අතීතයේ සෝවියට් සංගමය පැවැති අවදියේ, නිරවි යුද සමයේ, 'වෙක්ටර්' පර්යේෂණ ආයතනය ලෝකයට රහසක් විය. ඇන්ත්‍රැක්ස්, එබෝලා වැනි මාරාන්තික වයිරස පමණක් නොව, බැක්ටීරියා ද ආයුධ ලෙස සකස් කර, සතුරන්ට එරෙහිව යොදා ගන්නා ආකාරය අත්හදා බැලීම් සිදුවූයේ මෙම 'වෙක්ටර්' පර්යේෂණ ආයතනයේ පර්යේෂණාගාර තුළය. තවත් වැදගත් කරුණක් කීමට ඇත. 

'වැරියෝලා' (Variola) වයිරසය, ආසාදනය වී, අධික උණ, හිසරදය සහ ශරීරය පුරා තුවාල මෙන්ම දියබුබුළු හටගනිමින් අතිශය වේදනාකාරී ලෙස මරණය උදා කරන බිහිසුණු මාරක රෝගයක් වන්නේ වසූරියයි. වසූරිය යනු නූතන වෛද්‍ය විද්‍යාත්මක එන්නත්කරණයේ සාර්ථකත්වය හේතුවෙන්, 1980 දී සමස්ත ලෝකයෙන්ම සම්පූර්ණයෙන්ම තුරන් කරන ලදැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් පිළිගනු ලැබූ මාරක වයිරසයකි. 

ඔබ දන්නවාද? සමස්ත ලෝකයෙන්ම සම්පූර්ණයෙන්ම තුරන් කළැයි කියන වසූරිය වයිරසය අද ලෝකයේ තැන් දෙකක පමණක් අධි ආරක්ෂාවක් යටතේ ගබඩා කර ඇති බව. එම ස්ථාන දෙකෙන් එකක්, ඇමෙරිකාවේ රෝග පාලනය සහ වළක්වා ගැනීමේ මධ්‍යස්ථානයයි. අනෙක, ඉහත සඳහන් කළ රුසියන් රජයට අයත්, රුසියන් හමුදා පාලනය යටතේ පවතින 'වෙක්ටර්' පර්යේෂණ ආයතනයයි. 

ගෝලීය වසංගත ගැන කතා කරද්දී අපේ සිහියට නැගෙන ආසන්නතම බිහිසුණු අත්දැකීම 'කොවිඩ් 19' වයිරස වසංගතයයි. තවමත් සුල මුල හරි හැටි නොදන්නා, 'කොවිඩ් 19' වයිරස වසංගතය අපට පමණක් නොව, මුළු ලෝකයටම කළ 'හදිය' අමතක කළ නොහැක. ඒත්, ලෝක ඉතිහාසයට එක් වුණු දරුණුතම සහ විනාශකාරී වසංගතය 'කොවිඩ් 19' නොව, 'කළු මරණය' හෙවත් 'මහාමාරිය' වසංගතයයි. 14 වන සියවසේදී මුළු මහත් යුරෝපය සහ ආසියාව භීතියෙන් සලිත කිරීමට මෙම වසංගතය සමත් විය. 

ක්‍රි.ව. 1346 ත් 1353 ත් අතර කාලයේ පැතිර ගිය මෙම මාරාන්තික රෝගය නිසා එවකට යුරෝපයේ විසූ ජනගහනයෙන් හරි අඩකට වැඩි පිරිසක් අකාලයේ මියගියහ. වසා ග්‍රන්ථි ඉදිමී, අභ්‍යන්තර ලේ ගැලීම් නිසා සම යට රුධිරය කැටි ගැසී මුළු සිරුරම කළු පැහැයට හැරෙමින් රෝගීන් අතිශය වේදනාකාරී ලෙස මියයෑම සිදුවිය. 

මෙම වසංගතය 'කළු මරණය' යන නමින් හැඳින්වීම සිදුවූයේ ඒ නිසාය. මෙම වසංගතයට මුල් වූයේ වයිරසයක් නොව, බැක්ටීරියාවකි. මේ බැක්ටීරියාව, කලින් සඳහන් කළ පර්යේෂණාගාරයෙන් කාන්දු වී, පර්යේෂිකාව මරණයට පත් කළ ‘යෙර්සීනියා පෙස්ටිස්’ ය.

 එදා ප්‍රතිකර්මයක් නොතිබුණු අවදියේ 'කළු මරණය' බිහිසුණු විය. මධ්‍යම ආසියාවෙන් ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන මෙම ‘යෙර්සීනියා පෙස්ටිස්’ බැක්ටීරියාව, වෙළඳ නෞකාවල සිටි මීයන් සහ උන්ගේ සිරුරුවල සිටි මැක්කන් මාර්ගයෙන් ඉතා වේගයෙන් යුරෝපයේ වරාය නගර වෙත ව්‍යාප්ත විය. 

එකල පැවැති අවම සනීපාරක්ෂක පහසුකම්, නාගරික තදබදය මෙන්ම වෛද්‍ය විද්‍යාත්මක දැනුමේ පැවැති ඌනතාවය හේතුවෙන් රෝගය පාලනය කිරීම කිසිසේත්ම කළ නොහැකි අසීරු විය. බොහෝ දෙනා මෙය දෙවියන්ගේ කෝපයක් පැතිරෙන 'දෙවියන්ගේ ලෙඩක්' ලෙස හඳුන්වන්න පටන් ගත්තේය. 

ඒ කාලයේ 'කළු මරණය' අඩපණ කරන්න කිසිදු සාර්ථක ඖෂධයක් හෝ ප්‍රතිකාරයක් සොයාගැනීමට විද්‍යාඥයන්ට හැකි වූයේ නැත. 'කළු මරණය' මගින් ඇති කළ බලපෑම හුදෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් සීමා නොවූ අතර, එය මුළු මහත් මානව සමාජයේ සහ ආර්ථිකයේ අඩිතාලමට මරු පහරක් විය. යුරෝපයේ වැඩවසම් ආර්ථිකය සෙමින් කඩා වැටෙන්න පටන් ගත්තේය. රදල ආර්ථික ක්‍රමය කඩා වැටෙද්දී, කම්කරුවන්ගේ ඉල්ලුම සහ වේතන ඉහළ යෑමට එය හේතු විය. 

එපමණක් නොව, මෙම මහා විනාශයත් සමග ප්‍රශ්න කිරීමකින් තොරව ආගමික මතයන් පිළිගැනීමේ ප්‍රවණතාව අඩුවී, විද්‍යාත්මක සහ වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ කෙරෙහි යොමු වීමටත්, පසුකාලීනව යුරෝපයේ පුනරුද යුගය උදාවීමටත් මෙම 'කළු මරණය' නමැති වසංගතය හේතුවක් විය. ඉතිහාසයේ ප්‍රකටම මහාමාරිය මෙම 'කළු මරණය' යි. යුරෝපය, ආසියාව සහ උතුරු අප්‍රිකාව පුරා පැතිර ගිය අතර, එකල යුරෝපයේ ජනගහනයෙන් සියයට 30 ක් 60 ක් අතර ප්‍රමාණයක් (ලක්ෂ 75–200 ත් අතර) මෙයින් මියගියහ.

'කළු මරණය' වසංගතයට පෙර, ජස්ටිනියන් ප්ලේග් (Justiniani Plague) එසේත් නැතිනම් ‘වාටක මහාමාරිය’ නමැති වසංගතය ව්‍යාප්ත විය. ඒ, ක්‍රි.ව. 541–542 දක්වා කාලයේය. එදා පැවැති‍ බයිසන්ටයින් අධිරාජ්‍යය පුරා පැතිර ගිය අතර මිලියන ගණනක් මිය ගියහ. 2019 වසරේ කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය සිදුවුණු ආකාරයටම, 1855 වසරේ දී චීනයෙන් ආරම්භ වී ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට ප්ලේග් වසංගතයක් පැතිර ගිය අතර, ලක්ෂ 120 කට වැඩි පිරිසක් මියගියහ. 

ලුසිත ජයමාන්න 
Daily Mail ඇසුරිනි

Classified_Ad