අපේ ඇඟේ හොල්මන් කරන මානවයා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Nov 24, 2026

අපේ ඇඟේ හොල්මන් කරන මානවයා

මේ අපේ සිරුරේ හොල්මන් කරන අද්භූත මානවයකු ගැන කතාවකි. මේ මානව විශේෂය හැඳින්වෙන්නේ ‘ඩෙනිසෝවන්’ යනුවෙනි. ඩෙනිසෝවන් මානවයා ජීවත් වූ බව පැවැසෙන්නේ, ඈත අතීතයේ අද අප ආසියාව යනුවෙන් හඳුන්වන භූමි ප්‍රදේශයේය. ‘ඩෙනිසෝවන්’ අද්භූත මානව විශේෂයක් යැයි විද්‍යාඥයන් පවසන්නේ, ඔවුන් ගැන වැඩි විස්තර හෙළි කරගත හැකි පොසිල සාක්ෂි තවමත් සොයා ගැනීමට හැකි වී ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් බැවිනි. 

ඩෙනිසෝවන් මානවයාගේ විශේෂත්වය, එම මානවයා මිහිතලයෙන් වඳ වී ගිය ද ඔවුන්ගේ ජාන අදටත් අප නූතන මානවයා තුළ ජීවමානව පැවතීමය. අප්‍රිකාවෙන් පිටතට සංක්‍රමණය වූ හෝමෝ සේපියන් මානවයන් ඩෙනිසෝවන්වරුන් සමග මිශ්‍ර වීම නිසා, වර්තමානයේ පැපුවා නිව්ගිනියාවේ වැසියන්ගේ සහ ඕස්ට්‍රේලියා ආදිවාසීන්ගේ සිරුරුවල සියයට 4 සිට 6 දක්වා ප්‍රමාණයකින් ඩෙනිසෝවන් ඩී.එන්.ඒ. පවතී. එපමණක් නොවෙයි; වර්තමාන ටිබෙට් ජාතිකයන්ට ඔක්සිජන් ඉතා අඩු හිමාල කඳුකර පරිසරයේ පහසුවෙන් හුස්ම ගැනීමට සහ ජීවත් වීමට හැකියාව ලබා දෙන ‘ඊපාස්1’ නමැති විශේෂ ජානය ඔවුන්ට උරුම වී ඇත්තේ ද ඩෙනිසෝවන් මානවයාගෙනි. 

ඩෙනිසෝවන් මානවයා පිළිබඳ පළමු හෝඩුවාව ලැබෙන්නේ 2008 වසරේදීය. ඒ, රුසියාවේ සයිබීරියාවේ අල්ටයි කඳුකරයේ පිහිටි ‘ඩෙනිසෝවා’ ගුහාවේ කැණීම් කරමින් සිටි රුසියානු පුරාවිද්‍යාඥයන් පිරිසකට වසර 40,000ක් පමණ පැරණි කුඩා දැරියකගේ සුළැඟිල්ලක අස්ථි කැබැල්ලක් හමුවීමත් සමගය. 2010 දී ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ ස්වන්ටේ පාබෝ ඇතුළු විද්‍යාඥයන් මෙම අස්ථි කැබැල්ලේ ජාන පරීක්ෂා කරනු ලැබීය. එහිදී පෙනී ගියේ එය නූතන මානවයාට හෝ නියැන්ඩර්තාල් මානවයාට අයත් නොවන, සම්පූර්ණයෙන්ම වෙනස් මානව කොට්ඨාසයකට අයත් බවය. ඒ අනුව, එම පොසිලය හමු වූ ගුහාවේ නම ඇසුරින් ඔවුන්ට ‘ඩෙනිසෝවන්’ යනුවෙන් නම් තැබුණි. 

මෙම සොයාගැනීමෙන් පසු සිදු කළ පර්යේෂණ මඟින් මානව ඉතිහාසයේ තවත් විස්මිත තොරතුරු රැසක් හෙළි විය. 2018 දී එම ගුහාවෙන්ම හමු වූ වසර 90,000ක් පැරණි තවත් කුඩා අස්ථි කැබැල්ලක් පරීක්ෂා කිරීමේදී, එය නියැන්ඩර්තාල් මවකට සහ ඩෙනිසෝවන් පියකුට උපන් දෙමුහුන් දැරියකගේ බව තහවුරු විය. විද්‍යාඥයන් එම දැරිය හඳුන්වන්නේ ‘ඩෙනී’ යනුවෙනි. පුරාණ මානව විශේෂ දෙකක් අතර සෘජු අන්තර්-අභිජනනයක් සිදු වූ බවට ලැබුණු ප්‍රබලතම සාක්ෂිය මෙය වෙයි. 

අනතුරුව 2019 දී චීනයේ ටිබෙට් සානුවේ පිහිටි ‘බයිෂියා කාර්ස්ට්’ ලෙනෙන් වසර 160,000ක් පැරණි යටි හනු අස්ථියක් හමුවීමත්, 2022 දී ලාඕසයේ ‘කෝබ්‍රා’ ගුහාවෙන් වසර 130,000කට වඩා පැරණි දතක් හමුවීමත් සමග ඩෙනිසෝවන්වරුන් සයිබීරියාවට පමණක් සීමා නොවී ආසියාවේ ඉහළ කඳුකරයේ සිට උණුසුම් නිවර්තන කලාපීය පරිසරවල පවා ජීවත් වූ බව ඔප්පු විය. ‘ඩෙනිසෝවන්’ මානවයන් ගැන තොරතුරු අනාවරණය වීමට පෙර, මානව පරිණාමයේ ඉතිහාසය දෙස බලද්දී, අප දැන සිටියේ හෝමෝ සේපියන් නූතන මානවයා සහ නියැන්ඩර්තාල් මානවයා වැනි ප්‍රධාන මානව කොට්ඨාස කිහිපයක් ගැන පමණි. 

හෝමෝ සේපියන් සහ නියැන්ඩර්තාල් යනු ඉතා සමීප ඥාතීන් දෙපිරිසකි. අප්‍රිකාවේ සම්භවය ලැබූ හෝමෝ සේපියන් මානවයන් කාලයත් සමග ලෝකය පුරා ව්‍යාප්ත වූ අතර, ඊට සමගාමීව නියැන්ඩර්තාල්වරුන් ප්‍රධාන වශයෙන් යුරෝපය සහ බටහිර ආසියාව ආශ්‍රිත සීතල දේශගුණයට අනුවර්තනය වෙමින් ජීවත් විය. මීට වසර 40,000කට පමණ පෙර නියැන්ඩර්තාල්වරුන් වඳ වී යන තෙක්ම, මෙම මානව කාණ්ඩ දෙක සමහර ප්‍රදේශවල එකම කාලයක ජීවත් වූ බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේ. 

ශාරීරික ස්වරූපයෙන් ගත් කළ, නියැන්ඩර්තාල්වරුන් සතුව තිබුණේ අධික සීතලට ඔරොත්තු දෙන ශක්තිමත්, මහත සහ මාංසපේශි බහුල ශරීරයකි. ඔවුන්ගේ හිස් කබල් දිගටි සහ පහත් වූ අතර, ඇස්වලට ඉහළින් කැපී පෙනෙන නළල් බැමි, විශාල නාසයක් සහ නිකටක් නොමැති ඉදිරියට නෙරා ගිය මුහුණක ලක්ෂණ දක්නට ලැබුණි. 

ඊට හාත්පසින්ම වෙනස්ව, නූතන මානවයන්ට වඩාත් උස් වූ නළලක්, පැහැදිලි නිකටක්, සාපේක්ෂව සිහින් අස්ථි ව්‍යුහයක් සහ වටකුරු හිස් කබලක් හිමි විය. සංස්කෘතික සහ හැසිරීම් රටාවන්ගෙන් ද මෙම කාණ්ඩ දෙක අතර රසවත් සමානකම් මෙන්ම වෙනස්කම් ද පැවතුණි.
නියැන්ඩර්තාල්වරුන් දක්ෂ දඩයක්කරුවන් වූ අතර, ගල් ආයුධ නිපදවීම, ගින්දර භාවිතය සහ මියගිය අය භූමදාන කිරීම වැනි සංකීර්ණ සමාජ හැසිරීම් පවා ඔවුන් සතුව තිබූ බව සොයාගෙන ඇත. කෙසේ වෙතත්, වඩාත් දියුණු සංකේතාත්මක භාෂාව, සියුම් කලා නිර්මාණ, දිගු දුර වෙළඳ හා සබඳතා ජාල සහ වේගවත් තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ හෝමෝ සේපියන් මානවයාට අභියෝග රැසක් ජය ගනිමින් ඉදිරියට යාමට හැකි විය.

වඩාත්ම වැදගත් කරුණ වන්නේ, නියැන්ඩර්තාල්වරුන් සම්පූර්ණයෙන්ම වඳ වී ගිය ද ඔවුන්ගේ ජානමය උරුමය අද ජීවත් වන බොහෝ මිනිසුන් තුළ තවමත් පැවතීමයි. අතීතයේදී හෝමෝ සේපියන් සහ නියැන්ඩර්තාල්වරුන් අතර සිදු වූ අන්තර්-අභිජනනය හේතුවෙන්, අප්‍රිකානු නොවන පසුබිම් ඇති නූතන මිනිසුන්ගේ ඩී.එන්.ඒ. වලින් සියයට 1 සිට 2 දක්වා ප්‍රමාණයක් නියැන්ඩර්තාල් සම්භවයක් සහිත බව ජාන විද්‍යාඥයන් තහවුරු කර ඇත. 

මේ අනුව, නියැන්ඩර්තාල්වරුන් හුදෙක් අතීතයේ වඳ වී ගිය ඥාතියකු පමණක් නොව, අපගේම පරිණාමීය කතාවේ සජීවී කොටසක් බවට පත්ව සිටී. ඩෙනිසෝවන් මානවයන් පිළිබඳ පොසිල සාක්ෂි තවමත් ඉතා සීමිත බැවින් ඔවුන් විද්‍යාඥයන්ට අද්භූත අබිරහසක්ව පවතී. එහෙත් මෙතෙක් සොයාගත් පොසිල සාක්ෂි අනුව, ‘ඩෙනිසෝවන්’ මානවයකුගේ පෙනුම මෙන්න මේ වගේ යැයි කීමට විද්‍යාඥයෝ මේ වනවිට සමත් වී සිටිති. 

මේ සටහන සමග ඇති කඩවසම් මුහුණ එසේ පොසිල සාක්ෂි අනුව පරිගණක යොදා ගනිමින් නිර්මාණය කළ එකකි. මෙම පරිගණක රූපය නිර්මාණය කිරීම පසුපස සිටින්නේ චීන විද්‍යාඥයන් පිරිසකි. චීනයෙන් සොයාගත් ඩෙනිසෝවන් මානවයකුගේ හිස් කබල කොටස් සහ හකු අස්ථි කොටස් එකට ගළපා, ඒවා ස්කෑන් කර පරිගණකගත කරමින් මෙම රූපය නිර්මාණය කිරීම සිදුවිය. 

 මෙම පරිගණක රූපයෙන් පෙනී යන්නේ, ඩෙනිසෝවන් මානවයන්ට නියැන්ඩර්තාල් මානවයන් හා යම් සමානකම් තිබුණත්, ඔවුන්ගේ මුහුණේ ලක්ෂණ ඊට වඩා බෙහෙවින් වෙනස් බවය. ඩෙනිසෝවන් මානවයන්ගේ හිස් කබල් අනෙක් මානව කාණ්ඩවලට සාපේක්ෂව පහත් සහ පළල් හැඩයක් ගනී. 

විශේෂත්වය වන්නේ හිස් කබලේ දෙපැත්ත ඇතුළට නැමෙනවා වෙනුවට, කෙළින්ම පසුපසට විහිදී යෑමය. ඊට අමතරව, ඔවුන්ගේ ඇස්වලට ඉහළින් ඉතා විශාලව ඉදිරියට නෙරා ගිය නළල් බැමි පිහිටා තිබූ අතර, කම්මුල් අස්ථි ද තරමක් පළල් විය. තවත් පුරාණ මානව ඥාතීන් සමග සසඳන විට, ඩෙනිසෝවන් මානවයාගේ මුහුණේ ස්වභාවය තරමක් පැතලි වූ අතර, මුහුණ සහ හකු ඉදිරියට නෙරා ඒම ඉතා අඩු මට්ටමක පැවතුණු බව මෙයින් පැහැදිලි වෙයි. 

ලුසිත ජයමාන්න 
BBC Science ඇසුරිනි

Classified_Ad