සංහිදියාවේ කවිය The Hill We Climb - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 25, 2021

සංහිදියාවේ කවිය The Hill We Climb

ඇමෙරිකානුවන්ට සංහිදියාව ඉගැන්වූ කළු කෙල්ල ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දුන්නේ පසුගිය 20 වැනිදා වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉදිරිපිටය.

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුව, දිවුරුම්දීමේ උලෙළ පැවැත්විණි. ජාතික ගීය ගායනා කළේ ජනප්‍රිය මෙන්ම සුපිරි ගායිකාවක ද වන ලේඩි ගාගා ය. 

තවත් ජනප්‍රිය ප්‍රකට ගායික ගායිකාවෝ දිවුරුම්දීමේ උලෙළ ට සහභාගී වූහ. ඒ අතර, වේදිකාවට ඇරැයුම ලැබුණු කිවිඳියක් ද සිටියාය. 

පෙනුමින් පාසල් දැරියක වැනි වුවත් ඇය අවුරුදු 22 ක යුවතියකි. ඇමෙරිකානුවන්ගේ එකමුතුකම සහ එකමුතුකමේ ශක්තිය සහ සංහිදියාව ඇගේ පද්‍ය නිර්මාණයේ තේමාව විය. 

 ඇය එය නම් කළේ ‘ද හිල් වී ක්ලයිම්බ්’ යනුවෙනි. 

මේ කිවිඳිය අමන්දා ගෝර්මන්ය. අමන්දා කිවිඳියක වීම ඇගේ උපන් හපන්කමකි. අද වනවිට අමන්දා ඇමෙරිකානුවන්ගේ පිළිගැනීමටත් ගෞරවයටත් පාත්‍ර වූ කිවිඳියකි. 

ජෝ බයිඩන්ගේ දිවුරුම්දීමේ උලෙළ අරුත් ගන්වමින්, අමන්දා ඇය විසින් නිර්මාණය කළ ‘ද හිල් වී ක්ලයිම්බ්’ පද්‍ය මුළු මහත් ඇමෙරිකාවටත්, ලොවටත් ඇසෙන සේ හඬ නගා ඉදිරිපත් කළාය. 
අමන්දා ගෝර්මන් ඇමෙරිකන් කළු ජාතික යුවතියකි. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර කිවිඳියකි. 2017 දී, ඇමෙරිකානු ජාතික කිවිඳිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. ඒ ඇගේ පද්‍ය නිර්මාණ සුවිශේෂී ඇගැයීමට ලක් වූ බැවිනි. 

කිවිදියක පමණක් නොව, අමන්දා කැපී පෙනෙන සමාජ ක්‍රියාකාරිනියක් ද වන්නීය. 2015 දී අමන්දා ලියා පළ කළ ‘ද ෆූඩ් ඊස් නොට් ඉනෆ්’ පද්‍ය එකතුව විචාරකයන්ගේ පැසැසුමට ලක් වී අවසන්ය. 

අමන්දා හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරයි. පසුගිය දෙසැම්බර් මාසයේ අමන්දාට ඇමතුමක් ලැබුණි. ඒ, ජෝ බයිඩන්ගේ බිරිඳ ජිල් බයිඩන්ගෙනි. එය අමන්දා අපේක්ෂා නොකළ ඇමතුමක් විය. 

‘ජෝ බයිඩන්ගේ පදවි ප්‍රාප්ති උලෙළ වෙනුවෙන් පද්‍ය නිර්මාණය කර දෙන්න.’ යන්න ජිල් බයිඩන්ගේ ඉල්ලීම විය. 

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ දිවුරුම්දීමේ උලෙළට සාම්ප්‍රදායික අංග රැසක් ඇතුළත් වෙයි. කවියකු හෝ කිවිඳියක හෝ නිර්මාණශීලී කවියක් ඉදිරිපත් කිරීම ද ඊට අයත් වෙයි. 

සියලු වැඩ පසෙකලා අමන්දා ගෝර්මන් පද්‍ය නිර්මාණයට අත ගැසුවාය. පසුගිය ජනපතිවරුන්ගේ පදවි ප්‍රාප්ති උලෙළවලදී ඉදිරිපත් කළ පද්‍ය නිර්මාණ මොනවාදැයි ඇය සොයා බැලුවාය. රොබට් ෆ්රොස්ට් කවියාගේත් කළු ජාතික මායා ඇන්ජෙලෝ කිවිඳියගේත් පද්‍ය නිර්මාණ ආභාෂයට ගත්තාය.

ඒබ්‍රහම් ලින්කන්, ෆෙඩ්රික් ඩග්ලස්, මාටින් ලූතර් කිං ජූනියර් පමණක් නොව වින්ස්ටන් චර්චිල්ගේ දේශනවලට ඇය සවන් දුන්නාය. 

දෙසැම්බර් 30 වැනිදා වනවිට, අමන්දා ගෝර්මන් පද්‍ය නිර්මාණය අවසන් කර තිබුණි. ඒත් පසුගිය ජනවාරි 6 වැනිදා සියල්ල වෙනස් විය. 

බයිඩන්ගේ දිවුරුම් දීමට දින 14 ක් තිබියදී, පසුගිය ජනවාරි 6 වැනිදා, බදාදා, ඇමෙරිකානුවන්ට කළු බදාදාවක් කරමින්, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙදරා ගියේය. 

බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රතික්ෂේප කරන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන්, ‘කුලප්පු’ වුණු සුදු අන්තවාදී ට්‍රම්ප් ආධාරකරුවන් කැපිටල් හිල් ගොඩනැගිල්ලට (පාර්ලිමේන්තුවට) කඩා වැදී කොංග්‍රසයේ බලය අත්පත් කර ගත්හ. විරෝධතාකරුවෝ පොලිසියට පහර දෙන්නට වූහ. දේපළ හානි කරන්නට වූහ.

‘ඔබ සමඟ කැප්ටල් හිල් යන්න මාත් එනවා’ යැයි කී ට්‍රම්ප් ධවල මන්දිරයට සීමා වෙද්දී, කැපිටල් හිල් ගොඩනැගිල්ල සහ ඒ අවට එකම යුද පිටියක් විය. එදින කොංග්‍රසය රැස්වූයේ ජෝ බයිඩන්ගේත් කමලා හැරිස්ගේත් ජය තහවුරු කිරීමටය. ඊට බාධා එල්ල විය. ජය තහවුරු කිරීම පසුව සිදුවූයේ බාධා මධ්‍යයේය. 

කලහකාරී පිරිස් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදීමේ එම සිදුවීම, ඇමෙරිකානුවන් බොහෝ දෙනා කම්පනයට පත් කළේය. එසේ කම්පනයට පත් වුණු අය අතරේ අමන්දා ගෝර්මන් ද සිටියාය.

සුදු අන්තවාදී විරෝධතාකරුවන්ගේ ක්‍රියාකලාපය ඇමෙරිකන් දේශපාලනයේ බෙදීමක් පෙන්නුම් කළේය. 

ඇමෙරිකන් සමාජයේ ද බෙදීමක් නිර්මාණය විය. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පමණක් නොව ට්‍රම්ප්ගේ ඇතැම් රිපබ්ලිකන් පාක්ෂිකයන්ගෙන් ද ට්‍රම්ප්ට දොස් නැගුණි.

රිපබ්ලිකන් පක්ෂය තුළ ද බෙදීමක් හට ගැනිණි. කැපිටල් හිල් ගොඩනැගිල්ලට එල්ල වුණු ප්‍රහාරයෙන් ලත් කම්පනයෙන් අමන්දාගේ කවි සිතුවිලි වෙනස් මගකට යොමු විය.

ඇය ඒ වනවිට නිර්මාණය කර තිබුණු පද්‍ය නිර්මාණය විසි කළාය. 

ඇය අලුතින් පද්‍ය නිර්මාණයකට යොමු විය. ‘ද හිල් වී ක්ලයිම්බ්’ නිර්මාණයට පාදක වූයේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් කඩා වැදීමේ සිදුවීමය. ‘ද හිල් වී ක්ලයිම්බ්’ පද්‍ය නිර්මාණය වචන 723 ක් දිගය. එය ඇරැඹෙන්නේ මෙලෙස, අමන්දා කරන ප්‍රශ්න නැගීමකිනි. 
‘දිනය උදා වෙද්දී, අඳුර දුරු කරන ඒ ආලෝකය ඇත්තේ කොහෙදැයි අප අපෙන් විමසයි.’ යනු එම ඇරැඹුමය. කැපිටල් හිල් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු කලහකාරීන් සිහි ගන්වමින්, ඔවුන්ගේ ක්‍රියා කලාපය පිළිකුල් කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවුණු කැළල සම්බන්ධයෙන් ඇය විස්තර කරයි. 

ආගමික වශයෙන් සහ සමේ වර්ණයෙන් බෙදී වෙන් නොවී සැවොම ඇමෙරිකානුවන් ලෙස එකමුතු විය යුතු බවත් එක්සත් විය යුතු බවත් ඇය පෙන්වා දෙයි. 

ප්‍රජාතන්ත්‍රවාදයට කොතරම් බාධා ආවත්, එය කිසිදිනෙක පරාජය කළ නොහැකි බව ද ඇය ‘ද හිල් වී ක්ලයිම්බ්’ පද්‍ය නිර්මාණය හරහා පවසයි. අමන්දා ඇගේ කළු ජාතික උරුමය ගැන ද සිහිපත් කරන්නීය. 

 වහලුන් ලෙස ඇමෙරිකාවට ආ කළු ජාතිකයන් සහ ඔවුන්ගේ අනාගතය ගැනත්, තමන්ගේ අනාගත බලාපොරොත්තු ගැනත් අමන්දා කියයි. 

 ඇමෙරිකාව නොබිඳුණු රාජ්‍යයක් බව කියමින් සංහිදියාවේ වැදගත්කම පෙන්වා දෙයි. 

නාට්‍ය නිර්මාණ ශිල්පිනියක වන ලික් මැනුවෙන් මිරින්ඩාගේ ‘හැමිල්ටන්’ නමැති සංගීත වේදිකා නාට්‍යයේ දෝංකාර දෙන වදන් පෙළක් ද අමන්දා ඇගේ පද්‍ය නිර්මාණයට උපුටා ගෙන තිබේ. 

‘හැමිල්ටන්’ වේදිකා නාට්‍යයේ එම වදන් පෙළ වන්නේ ‘ඉතිහාසය ඔබ දිහා බලා හිඳීවි’ (හිස්ටරි හෑස් ඉට්ස් අයිස් ඔන් යූ) යන්නය. අමන්දා එය වෙනස් කර ඇගේ පද්‍ය නිර්මාණයට එක් කර ඇත්තේ ‘ඉතිහාසය අප දිහා බලා හිදීවි’ යනුවෙනි. 

 කුඩා කාලයේ අමන්දාට හරිහැටි වචන පිට කිරීම ගැටලුවක් විය. කෙසේ නමුත්, ඇය කෙසේ හෝ එම දුර්වලතාව මඟ හරවා ගත්තාය. 

අමන්දා පිය සෙනෙහස අහිමි වූ යුවතියකි. අමන්දාගේ ශක්තිය ඇගේ මව ය. අමන්දාගේ මන ජොඇනා වික්ස් ගුරුවරියකි. 

අද අමන්දා වේදිකාවට ගොඩවන්නේ බියක් හෝ සැකයක් නැතිවය. ඇය චතුර ලෙස වචන පිට කරන්නීය. ඇය ඇගේ පද්‍ය නිර්මාණය පදවි ප්‍රාප්ති උලෙළ දා ඇමෙරිකානුවන්ටත් ලෝකයටත් ඉදිරිපත් කළේ හැඟීම්බරවය. 

හදවතට දැනෙන අයුරිනි. ඇමෙරිකන් ජනාධිපතිවරයකුගේ පදවි ප්‍රාප්තියකට සහභාගී වෙමින්, පද්‍ය නිර්මාණයක් ඉදිරිපත් කළ ළාබාලතම කවියා වන්නේ ද අමන්දාය. 

ඇමෙරිකන් මාධ්‍ය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom