ඉරානයත් එන්නතක් හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 1, 2021

ඉරානයත් එන්නතක් හදලා

ඇමෙරිකාවේ කෙණෙහිලිකම් මැද තම විද්‍යාඥයන් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්විය හැකි ප්‍රතිශක්තිකරණ එන්නතක් නිර්මාණය කර ඇති බවත්, ලබන සතියේ සිට එය තෝරා ගත් පිරිසක් යොදා ගනිමින් අත්හදා බැලීමට නියමිත බවත් ඉරාන රජය පවසා ඇත. 

මැදපෙරදිග කලාපයේ, ‘කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යය වන්නේ ඉරානයයි. ඉරානය ‘කොවිඩ් 19’ වයිරසයේ තෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටී. 

මේ වනවිට ඉරානයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,220,481 කි. මරණ වාර්තා වන්නේ 55,000 ක් ලෙසය. 

ඉරාන විද්‍යාඥයන් එක් වී මෙම එන්නත නිපදවා ඇත්තේ ඔවුන් සතු පවතින සම්පත් සහ තාක්ෂණය භාවිත කරමිණි. තවත් එන්නත් 6 ක් ද නිපදවමින් පවතින බව වාර්තා වේ. අත්හදා බැලීම් සිදු කරන එන්නතට එසේ කිරීමට ඉරාන වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවී ඇත. 

ඉරානය ‘කොවිඩ් 19’ වයිරසයට මුහුණ දෙන්නේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අභිමතය පරිදි, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය දක්වමින්, ඉරානයට එරෙහිව පනවා ඇති වෙ‍ළෙඳ සහ ආර්ථික සම්බාධක මධ්‍යයේය. 

 වයිරස ආසාදිතයන්ට ඖෂධ, වෙන්ටිලේටර් සහ කොරෝනා පරීක්ෂණ කට්ටල විදේශවලින් ලබා ගැනීමට සහනයක් දෙන්නැයි ඉරාන රජය ඇමෙරිකාවෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කළත් ඊට යහපත් ප්‍රතිචාර හිමිවූයේ නැත. 

ඉරාන වැසියන් වෙනුවෙන්, ‘කොවිඩ් 19’ වයිරස පරීක්ෂාවක් සිදු කළ හැකි පර්යේෂණ කට්ටලයක් නිපදවීමට සමත් වූයේ ඉරාන විද්‍යාඥ මොශේන් ෆන්රීසාදේ ය. මොහු ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ පුරෝගාමියෙකි. පසුගිය නොවැම්බර් 27 වැනිදා ෆන්රීසාදේ වෙඩි තබා ඝාතනය කෙරුණි. 

එම ඝාතනය සිදු කළේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්වෙමින් යැයි චෝදනා එල්ල වී තිබේ.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom