ආරක්ෂක අභියෝගවලදී සහාය දෙනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 6, 2021

ආරක්ෂක අභියෝගවලදී සහාය දෙනවා


වර්ධනය වෙමින් තිබෙන සමුද්‍රීය සහ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව වර්ධනය කිරීම සඳහා සහාය දීමට ඉන්දීය සූදානම් යැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) පැවැසීය. 

ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් හෙතෙම කීය.

ඖෂධ නිෂ්පාදනය සඳහා වෙනම කලාපයක් ස්ථාපිත කිරීම සහ සංචාරක කර්මාන්තය ඉන් මුල්තැනක් ගන්නා බවත් මෙහි ඊළඟ පියවර ගැනීම සුරක්ෂිත කිරීමට තමන් පියවර ගන්නා බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීවේය. 

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කරුණු සඳහන් කළේය.

‘අසල්වැසියාට මුල්තැන’ සිය විදේශ ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව, කොවිඩ්-19 මර්දනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දුන් බවත් ශ්‍රී ලංකාව ද ඉන්දියාව ට පෙරළා සහාය දුන් බවත් හෙතෙම කීය. 

එන්තත් බෙදාහැරීම ඇතුළු එන්නත්කරණයට අදාළ කටයුතුවලදී ජාත්‍යන්තර සහයෝගීතාව ඉතා වැදගත් බවත් එය සිය වගකීමක් ලෙස සලකා කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද පවසා ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීවේය. 

කොවිඩ්-19 වසංගත සමයේදී රටවල් දෙකම බැරෑරුම් සහ පොදු අභියෝගවලට මුහුණ දුන් බවත් ඒ අතරම මෙම වසංගතය රටවල් දෙකට පෙරටත් වඩා සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දුන් බවත් හෙතෙම පැවැසීය. 
මෙරට සිර වී සිටි ඉන්දීය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා දුන් සහාය කෘතඥව සිහිපත් කරන බව ද ඔහු කීය. 

මේ වනවිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පශ්චාත් කොවිඩ්-19 සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද ඔහු කීය. එහිදි අදහස් දැක්වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘ඔබ සියලු දෙනාටත් ශ්‍රී ලංකාවේ සිටින අපේ මිත්‍රයන් සියලු දෙනාටත් මම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීමත් ඔබ සමඟ මෙහි සිටීමට ලැබීමත් සතුටක්. මේ සුවිශේෂී රටට පැමිණීමට ලැබීම වෘත්තීය මට්ටමින් සහ පෞද්ගලිකව බොහෝ සතුට ගෙන දෙන්නක්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන ශිෂ්ටාචාර ගත සම්බන්ධතා වසර දහස් ගණනක් පැරැණියි. ශ්‍රී ලංකාවට ආවේණික සත්කාරකත්වයෙන් මාත් මගේ දූත පිරිස පිළිගැනීමත් මෙරටට ආරාධනා කිරීම සම්බන්ධයෙනුත් මා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට කෘතඥතාව පළ කරනවා. මීට වසරකට පෙර ඔහු ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී තමයි මේ ආරාධනාව කළේය. මට කලින් එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙත් ශ්‍රී ලංකාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා සහ පාර්ශවකරු වන ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් 2021 වසර ආරම්භ කිරීමට ලැබීම ගැන මා ඉමහත් සතුටට පත්වෙනවා.කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අපේ රටවල් දෙක ඉතා බැරෑරුම් සහ පොදු අභියෝගවලට මුහුණ දී සිටින අවස්ථාවක මා ශ්‍රී ලංකාවේ සංචාරය කරනවා. ඒ වගේම අපට කොවිඩ්-19 වසංගතය වෙනදාටත් වඩා සමීපව වැඩ කරන්න අවස්ථාව සලසා දී තිබෙනවා. කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා අපි දිගින් දිගටම විශේෂයෙන් වෛද්‍ය ආධාර ලබාදෙමින් ශ්‍රී ලංකාවට සහාය දුන්නා.‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් අප දෙරටේ ද්විපාර්ශවීය සබඳතාවලට කිසිදු බාධාවක් වී නොමැති බව ද මෙහිදි සුබවාදීව සිහිපත් කළ යුතු යි. පසුගිය වසරක කාලයේදී දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වුණා. ඒ වගේම ඒ සබඳතා ශක්තිමත් වුණා. පසුගිය වසරේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශවීය සමුළුවක් පැවැත්වූවා. එය පසුගිය වසරේ සුවිශේෂී සන්ධිස්ථානයක්.අද උදෑසන මා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණා. ඒ වගේම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා පැවැත්වූවා. එහිදි අපේ සබඳතාවල ප්‍රගතිය විමසා බැලුවා. අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැදගත් දේශපාලන නායකයන්, ප්‍රජා නායකයන් හමුවීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ව්‍යාපාරික ප්‍රජාවත් මුණ ගැසෙනවා. ඔවුන් සියලු දෙනාට මා පණිවුඩයක් රැගෙන ඇවිත් තිබෙනවා. ඉන්දියාව සෑමවිටම විශ්වාසය තැබිය හැකි පාර්ශවකරුවෙක් සහ මිත්‍රයෙක්. අන්‍යෝන්‍ය විශ්වාසය, අභිලාෂ, ගෞරවය සහ සංවේදීත්වය යන කරුණු මත ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතාව ශක්තිමත් කරගැනීමට ඉන්දියාව සෑම විටම විවෘතයි.ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මේ මොහොතේ පශ්චාත් කොවිඩ්-19 තත්ත්වයෙන් යථ තත්ත්වයට පත්වීමේ කඩිනම් අභියෝගයට මුහුණ දී සිටිනවා. මෙය මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේක ආර්ථික අභියෝගයක්. මේ වනවිට ඉන්දියාවේ වයිරස ආසාදිතයන්ගේ ගණන අඩුවෙමින් තිබෙනවා. අපි ඉදිරියේදී මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කරනවා. ඉන්දීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බවට පසුගිය මාස කිහිපයේදී ශක්තිමත් සංඥා පෙන්වා තිබෙනවා. ඊළඟ කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථිකය පූර්ණ වර්ධනයක් පෙන්නුම් කරනු ඇතැයි අපට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඉන්දියාවේ මේ සංවර්ධනයෙන් ශ්‍රී ලංකාවට ධනාත්මක බලපෑමක් සිදුවනු ඇත. ඒ වගේම අපි කඩිනමින් විසඳාගත යුතු විශේෂිත අභියෝග කිහිපයක් තිබෙනවා. එය මූල්‍ය ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් වෙළෙඳාමේ වෙන්න පුළුවන්. මගේ මේ සංචාරයේ අරමුණ එම ක්‍රියාවලියට පහසුකම් සැපයීමයි.අප දෙරට සහක්‍රියා රැසක් සිදුවන අසල්වැසියන් දෙදෙනෙක්. අපට අපේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට සුවිශාල හැකියාවක් හා අවස්ථාවක් තිබෙනවා. ඒ තුළින් ඇතැම් විට කඩිනම් සහන සලසන්න හැකියාව තිබෙනවා. අනෙක් අංශවලින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා මධ්‍ය කාලීනව ධනාත්මක බලපෑම් කළ හැකියි. යටිතල පහසුකම්, බලශක්තිය, සම්බන්ධතා ඇතුළු යෝජනා රැසක් මේ වනවිට සාකච්ඡාවට ලක්වෙමින් තිබෙනවා. ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීම දෙරටේම යහපතට උපකාරී වෙනවා. එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරනු ඇත. ඉන්දියාවේ ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි මේ වනවිට ඉතා වැදගත් අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඖෂධ නිෂ්පාදනය සඳහා වෙනම කලාපයක් ස්ථාපිත කිරීම සහ සංචාරක කර්මාන්තය ඉන් මුල්තැනක් ගන්නවා. මෙහි ඊළඟ පියවර ගැනීම සුරක්ෂිත කිරීමට මා පියවර ගන්නවා.සමාජ, ප්‍රජා සහ මානව සම්පත් යන අංශවලදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්ථීර සංවර්ධන පාර්ශවකරුවකු ලෙස කටයුතු කර තිබෙනවා. නිවාස, ගිලන් රථ, ඉපැරැණි උරුම සංරක්ෂණය හෝ අධ්‍යාපනය වෙන්න පුළුවන් අපේ සම්බන්ධය ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් කර තිබෙනවා. අපේ ණයවලින් සම්බන්ධතා නැවත ගොඩනංවා තිබෙනවා. යථා තත්ත්වයට පත්වීමට එය පහසුකම් සපයා තිබෙනවා. කෘෂිකර්මය, තාක්ෂණය, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ නාගරික සංවර්ධනය ඇතුළු ශ්‍රී ලංකා රජයේ දේශීය ප්‍රමුඛතා අප හඳුනාගෙන තිබෙනවා. වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා රජය වැඩි අවධානයක් යොමු කර තිබෙනා. අපේ ඉදිරි කටයුතුවලදී මේ ප්‍රමුඛතාවලට ස්වභාවයෙන්ම මුල්තැන දෙනවා.ඉන්දීය සාගරයේ සමුද්‍රීය රටවල් සහ සමුද්‍රීය ආරක්ෂාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දැඩි උනන්දුවක් දක්වනවා. මේ සම්බන්ධයෙන් අප දෙරට අතර දීර්ඝ සහයෝගීතාවක් තිබෙනවා. බොහෝ අවස්ථාවලදී මුලින්ම ප්‍රතිචාර දැක්වූයේ ඉන්දියාවයි. ඉදිරියේදී එම සහයෝගීතාව තවදුරටත් වැඩි වනු ඇතැයි මට විශ්වාසයි. වර්ධනය වෙමින් තිබෙන සමුද්‍රීය සහ ආරක්ෂක අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව වර්ධනය කිරීමට සහාය දීමට අපි සූදානම්.ඉන්දු-ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ කමිටුවක් පසුගිය කාලයේදී විවෘතව සහ සෘජුව සාකච්ඡා පැවැත්වූවා. අපේ ධීවරයන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ද සලකා බලනවා. අද මම ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවී සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව බිම්ස්ටෙක් සංවිධානයෙන් නායකත්වයට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

මෙහිදි අදහස් දැක්වූ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ කීය.

‘‘ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ආසියාවේ පැරැණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හිමි රටවල්. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ඇතුළු සෑම පුරවැසියකුගේම ප්‍රගතිය, සුබසාධනය සහ ඔවුන් තිබෙන අවස්ථා සුරක්ෂිත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු දී තිබෙනවා.ආර්ථිකය, මූල්‍ය. වෙළෙඳම, ආරක්ෂාව, ධීවර, සංස්කෘතික, ‘කොවිඩ්-19’ වසංගතය සහ පශ්චාත් ‘කොවිඩ්-19’ යනාදී දෙරටට බලපාන කරුණු රැසක් සහ අන්‍යෝන්‍ය වශයෙන් බලපාන කරුණු රැසක් සම්බන්ධයෙන් මාත් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාත් සාකච්ඡා පැවැත්වූවා.කොවිඩ්-19 වසංගතය මර්දනය කිරීම සඳහා පසුගිය මාස කිහිපයේදී ඉන්දියාව ලබාදුන් සහාය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉන්දීය රජය සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට කෘතඥතාව පළ කරනවා.ඉන්දියාවේ අසල්වැසියාට මුල්තැන ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගියේ කාලයේදී අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට, ආර්ථිකයට ඉතා විශාල ධනාත්මක බලපෑමක් එල්ල වුණා.ආර්ථිකයේ විවිධ අංශ සහ අපේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගැනීමට අවශ්‍ය සහාය ලබාදෙන්නැයි ද අපි ඉන්දීය දූත පිරිසෙන් ඉල්ලීමක් කළා. ඉන්දීය සාගරයේ කුඩා දූපතක් ලෙස සමුද්‍රීය සහ ධීවර අංශවලට මෙන්ම ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා.ඉන්දීය සාගර කලාපයේ සාමය සහ සහයෝගීතාව ආරක්ෂා කිරීමටත් නීතිවිරෝධී කටයුතු පාලනය කිරීමටත් බිම්ස්ටෙක්, අයෝරා සහ සාර්ක් සංවිධානය තුළින් ගත හැකි ක්‍රියාමාර්ග සහ ඊට ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගය දෙන බව ද අපි ප්‍රකාශ කළා.දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා.අපේ හරිත ආර්ථිකය දැවැන්ත නීල ආර්ථිකයකින් වට වී තිබෙනවා. අනාගතයේදී මේ තත්ත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් වර්ධනය කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා’’.

කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුන් සහ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

Classified_Ad

Classified_Ad_News_Bottom