ඉන්දීය විදෙස් ඇමැති ජනපති හමුවෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 6, 2021

ඉන්දීය විදෙස් ඇමැති ජනපති හමුවෙයි

‘කොවිඩ්-19’ වයිරසය මර්දනය සඳහා එන්නත් සැපයීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් අද (6) දැනුම් දුන්නේය. 

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය විදේශ ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (6) පැවැත්විණි.

‘කොවිඩ්-19’ වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන අදහස් පළ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිකාර අවශ්‍යතාව ඇස්තමේන්තු කිරීමෙන් පසු ඉන්දියාව නිෂ්පාදනය කරන ‘කොවිඩ්-19’ එන්නත් ලබාගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බව ඉන්දීය විදේශ අමාත්‍යවරයාට දැන්වීය.

සෙසු රටවලට එන්නත අපනයනය කිරීමේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දෙන බව එහිදි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා, ජනාධිපතිවරයා හමුවේ පැවැසීය.ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ උපරිම වන අයුරින් වර්ධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදි එකඟතාව පළ කළහ.

ඉන්දීය සහභාගීත්වය සහිතව දැනටමත් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට අමතරව සහයෝගීතා වර්ධනය පුළුල් කළ හැකි තවත් ක්ෂේත්‍ර කිහිපයක් හඳුනාගෙන ඇතැයි ද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා කීය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ද්‍රව-ස්වභාවික වායු (එල්.එන්.ජී.) බලාගාර ව්‍යාපෘතිය, නිවාස හා මාර්ග ඉදිකිරීම, කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ, සන්නිවේදන තාක්ෂණය, විකල්ප බලශක්ති මූලාශ්‍ර සංවර්ධනය ඒ අතර වන බව ද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ නිශ්චිත අවශ්‍යතා දැනුම් දුන් විට වෘත්තීය පුහුණු වැඩසටහන් සඳහා උදව් කිරීමට සූදානම් බව ද හෙතෙම කීය.

විකල්ප බලශක්ති මූලාශ්‍රයක් ලෙස සූර්ය තාපය භාවිත කිරීම සඳහා දැනටමත් ඉන්දීය ආධාර ලබා දී තිබෙන බවත් ඉදිරි කාලයේ දී මේ ක්ෂේත්‍රයට තවදුරටත් මූල්‍ය හා තාක්ෂණික ආධාර සම්පාදනයට ඉන්දියාවට හැකි බවත් හෙතෙම පැවැසීය.මාලදිවයින බබල් (ජෛව බුබුළු) ක්‍රමවේදයට සංචාරකයන් ගෙන්වා ගැනීම දිගටම කරමින් සිටින බවත් ඉන්දියානුවන් විශාල පිරිසක් දැනටමත් එහිගොස් ඇති බවත් ඔහු කීවේය.

වසංගතය නිසා ඇතිවූ ආතතියෙන් මිදීමට සංචාරයේ නිරතවීමට ජනතාව කැමැති බවත් නවදිල්ලි නුවර හෝටල් දැන් ඉන්දියානුවන්ගෙන් පිරී ගොස් ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.ශ්‍රී ලංකාවට යන ලෙස ඔවුන් දිරි ගන්වන්න හැකියාව ඇතැයි ද හෙතෙම කීවේය.

විධිමත් අධ්‍යාපනයක් ලැබූ තරුණ ජනහගණයක් ශ්‍රී ලංකාවේ සිටින බව සදහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔවුනට විවිධ ක්ෂේත්‍රවල ක්‍රමවත් වෘත්තීය පුහුණුවක් දීම සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව පැවසීය.

සංචාරක ව්‍යාපාරයේ පුනරුදය පිණිස ගත හැකි නව ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා නේපාලය එක්ව හැකි ඉක්මනින් සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි මෙම හමුවේදී අවධානය යොමු විය.කොවිඩ් 19 වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වීමේ අවශ්‍යතාව ගැන දෙපාර්ශ්වය අදහස් හවුමාරු කර ගත්හ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ඉන්දීය විදේශ සබඳතා අමාත්‍යාංශයේ සම ලේකම්වරුන් වන අමිත් නාරං සහ ආචාර්ය ශිල්පක් අම්බුලේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසූන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

Classified_Ad

Classified_Ad_News_Bottom