වලාකුළු අතරින් දුටු බිහිසුණු සෙවනැල්ල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 3, 2021

වලාකුළු අතරින් දුටු බිහිසුණු සෙවනැල්ල

ගුවන් යානයක්: තරුණියක්: අමුතු සතෙක්: ත්‍රාසජනක අත්දැකීමක්!

2021 නව වසර උදාවීමත් සමඟ එළිදැක්වුණු පළමු ත්‍රාසජනක චිත්‍රපටය ලෙස 'ෂැඩෝ ඉන් ද ක්ලවුඩ්' හැඳින්විය හැකිය. 

මිනිත්තු 83 ක ධාවන කාලයක් සහිත 'ෂැඩෝ ඉන් ද ක්ලවුඩ්' දැවැන්ත, බොක්ස් ඔෆිස් සිනමා නිර්මාණයක් නොවෙයි. චිත්‍රපටයේ කතාව සරලය. චිත්‍රපටය ආරම්භය සෙමින් සිදුවෙයි. මුල් අදියරේ ඇත්තේ ජවනිකා කීපයක් පමණි. කෙසේ නමුත්, චිත්‍රපටයේ අවසන් අදියරේ දී සියල්ල මුළුමනින්ම වෙනස් වෙයි. 

'ෂැඩෝ ඉන් ද ක්ලවුඩ්' චිත්‍රපටයට පාදක වන්නේ දෙවැනි ලෝක යුද්ධයයි. 

මෙය නවසීලන්ත චීන සිනමා අධ්‍යක්ෂිකාවක වන රොසෑන් ලියැංගේ අධ්‍යක්ෂණයකි. 'ෂැඩෝ ඉන් ද ක්ලවුඩ්' ඇමෙරිකන්, නවසීලන්ත සිනමා නිර්මාණයක් වන අතර, නවසීලන්ත චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රහය ද ඊට හිමිවී තිබේ. 

1943 වසරේ අගෝස්තු මාසයේ දිනෙක, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින් ගුවන් හමුදා කඳවුරින්, සමෝආ දූපත බලා පිටත්වන 'ෆූල්ස් එරන්ඩ්' නමැති බෝම්බ හෙළන දැවැන්ත බී 17 වර්ගයේ හමුදා ගුවන් යානයට හමුදා නිලධාරිනියක ගොඩවෙයි. චිත්‍රපටයේ ආරම්භය මෙයයි.  

මෝඩ් ගැරට් නමැති ඇය පවසන්නේ තමන් මිත්‍ර පාර්ශ්වීය හමුදාවේ (ඇමෙරිකන්) ගුවන් නියමුවරියක බවය. කෙසේ හෝ වේවා මෝඩ් ගැරට් කුඩා බෑගයක් රැගෙන යයි. යානයේ නියමුවා ඇතුළු පිරිසගෙන් ඇයට සුබ පිළිගැනීමක් හිමි නොවන්නේ, ඇගේ පැමිණීම ගැන ඔවුන් කලින් නොදැන සිටි නිසාත්, ඇය සම්බන්ධයෙන් සැකයක් මතුවන නිසාත්ය. ඇය පවසන පරිදි ඇය රැගෙන යන බෑගයයේ ඇති දේ රහසකි. එම බෑගය ආරක්ෂා කර ගැනීමට ඇය දිවි හිමියෙන් වීර වික්‍රමවල යෙදෙයි. ඊට හොඳ හේතුවක් ද ඇත. 

ගුවන් යානයේ ඇයට කරුණාව පෙන්වන්නේ එක හමුදා නිලධාරියකු පමණි. ඔහු වෝල්ටර් ක්වේඩ් ය. මෝඩ් සහ ක්වේඩ්ගේ සම්බන්ධය සහ ඔවුන්ට කුඩා බෑගයේ ඇති දේ සම්බන්ධ වන ආකාරය අනාවරණය වෙන්නේ චිත්‍රපටය ආරම්භ වී ත්‍රාසජනක මෙන්ම බිහිසුණු සිදුවීම් පෙළකින් අනතුරුවය.'ෂැඩෝ ඉන් ද ක්ලවුඩ්' භීෂණය පිරි ක්‍රියාදාම චිත්‍රපටයකි. 

මෝඩ් ගැරට් ගොඩවන හමුදා යානයේ නියමුවන් සහ කාර්ය මණ්ඩලයට  අමතරව අමනුෂ්‍යයෙක් සිටී. ඒ වවුලකුගේ මෙන් කන්, තියුණු දත් සහ නිය ඇති දිගු වල්ගයක් ද සහිත පිසාචකයකු වැනි සතෙකි. මේ සතා ග්‍රිම්ලින් ය.

ග්‍රිම්ලින් යනු මනුෂ්‍යයන්ට හිරුහැර කරන, කඩාකප්පල් වැඩ කරන මිථ්‍යා සතෙකි. යම් කෙනකුට මොකක් හරි අත්වැරදීමක් වුණොත්, අතපසුවීමක් වුණොත්, වරද ග්‍රිම්ලින් මත පැටවෙයි. 'ෂැඩෝ ඉන් ද ක්ලවුඩ්' චිත්‍රපටයේ කතාව අනුව, ග්‍රිම්ලින් ට අවශ්‍ය වන්නේ මෝඩ් ගැරට්ගේ බෑගයේ ඇති වටිනා වස්තුවය. ඇයට ඇගේ බෑගය ආරක්ෂා කර ගනිමින්, ග්‍රිම්ලින්ගෙන් පමණක් නොව, සතුරු ජපන් හමුදා එල්ල කරන ප්‍රහාරවලින් ද බේරීමට සිදුවෙයි.

'ෂැඩෝ ඉන් ද ක්ලවුඩ්' මහා පරිමාණයේ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් නොවුනත් එය වෙනස් අත්දැකීමකි. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් එළිදැක්වෙන චිත්‍රපට සීමා වූ අවස්ථාවක නැරඹීමට ලැබෙන චිත්‍රපටයකි. චිත්‍රපටයේ පරිගණක ශිල්ප ක්‍රම එසේ නැතහොත් සී.ජී.අයි. තාක්ෂණය සාර්ථකව භාවිත කර ඇත.

චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනා පවසා ඇත්තේ ඉතිහාස වාර්තා අනුව දෙවැනි ලෝක යුද්ධයේ, මිත්‍ර පර්ශ්වීය හමුදාවල (විශේෂයෙන් ඇමෙරිකා හමුදාවේ) කාන්තා ගුවන් නියමුවන් නොසිටි බවය. කෙසේ නමුත් 'ෂැඩෝ ඉන් ද ක්ලවුඩ්' චිත්‍රපටය අවසානයේ දෙවැනි ලෝක යුද්ධයේ ගුවන් හමුදා නිලධාරීන්ගේ සැබෑ දසුන් එක් කිරීමට අධ්‍යක්ෂවරිය පියවර ගෙන ඇත. ඒ, දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ වූ කාන්තාවන්ට උපහාරයක් ලෙසය.

'ෂැඩෝ ඉන් ද ක්ලවුඩ්' චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ක්ග්‍ලෝඒ රේස් මෝටේස්ය. වචනයේ පරිසමාප්තියෙන්ම ඇය ප්‍රධාන නිළිය පමණක් නොව, චිත්‍රපටයේ වැඩියෙන් රංගනයේ යෙදෙනු දකින්න ලැබෙන චරිතය වන්නේ ද ඇයයි. දෙවැනි චරිතය පරිගණක ඇසුරින් නිර්මාණය කළ ග්‍රිම්ලින් ය. 
23 හැවිරිදි වියෙහි පසුවන මෝටේස් ජනප්‍රිය වූයේ ළමා නිළියක ලෙසය. ඇය වඩාත් ජනප්‍රිය වූයේ 2010 දී 'කික් ඈස්' පළමු සහ 2013 දී 'කික් ඈස්' දෙවැනි චිත්‍රපටයේ කළ රංගනයෙනි.  මෝටේස් පළමුවෙන් රංගනයට පිවිසියේ 2005 වසරේ, 'ඇමිටිවිල් හොරර්' චිත්‍රපටයෙනි. මෝටේස් චිත්‍රපට රැසකට මෙන්ම රූපවාහිනී කතා මාලා රැසකට ද දායක වී සිටී.

සටහන - ලුසිත ජයමාන්න

Classified_Ad

Classified_Ad_News_Bottom