ලොව පැරණි විශාලතම බුදු වෙහෙර - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 2, 2021

ලොව පැරණි විශාලතම බුදු වෙහෙර

ලොව පැරැණිතම‍ මෙන්ම විශාලතම බුදු වෙහෙර කුමක්දැයි යන පැනයට පිළිතුර ‘බොරෝබුදුර්’ ය. ‘බොරෝබුදුර්’ යනු එක් තනි වෙහෙරක් නොව, වෙහෙර සංකීර්ණයකි. 

‘බොරෝබුදුර්’ ඇත්තේ ආසියානු රටක වුවත්, බෞද්ධ රටක නොවෙයි. 

තට්ටු නවයකින් ද සමන්විත මෙම ඉපැරණි වෙහෙර සංකීර්ණය දකින්න ලැබෙන්නේ, ඉන්දුනීසියාවට අයත් ජාවා දූපතේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සැදුම්ලත් මුස්ලිම් රාජ්‍යයකි. 

‘බොරෝබුදුර්’ අද ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තයට රුකුලකි. ගිනස් පොතට ද ඇතුළත් වුණු ‘බොරෝබුදුර්’ විහාර සංකීර්ණය ලෝක උරුමයකි. 

බුදු දහම ආගමක් නොව දර්ශනයකි. කිසිදු බලපෑමක් හෝ කොන්දේසියක් නැති, යථාර්ථය පමණක් අවබෝධ කර දීමේ දර්ශනයයි. බෞද්ධ දර්ශනයේ ගැඹුරු ඉගැන්වීම්, සරලව, වටහා ගැනීමට පහසු වන ආකාරයට ‘බොරෝබුදුර්’ විහාර පරිශ්‍රයේ නිර්මාණ කර තිබීම සුවිශේෂත්වයකි. 

මහායාන බුදු දහමේ ඉගැන්වෙන කාම ධාතු, රූප ධාතු සහ අරූප ධාතු යන තුන් ආකාරය, ‘බොරෝබුදුර්’ විහාරස්ථානයෙන් පිළිබිඹු කෙරේ. ‘බොරෝබුදුර්’ විහාර සංකීර්ණයේ පහළින්, විවිධ පැතිකඩ ඔස්සේ, උදාහරණ සහිතව, ගලින් නෙලන ලද රූප සහ මූර්ති විශාල ප්‍රමාණයක් ඇත. 

පහළින් ඇත්තේ, ලෞකික ජීවිතයේ තෘෂ්ණාව නිසා ඇති වන දුක සහ වේදනාව ය. විවිධ උදාහරණ ගෙන හැර දක්වමින්, යමහල් ගලින් කළ රූප විශාල ප්‍රමාණයක්, විහාර සංකිර්ණයේ ගල් බිත්තිවල දකින්න ලැබේ. 

ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපත එසේ මෙසේ තැනක් නොවෙයි. ලොව ඉපැරණි සංස්කෘතික උරුමයන් බොහොමයක් ජාවා දූපතේ දකින්න ලැබේ. ඒ සියල්ල අතරින් කැපී පෙනෙන්නේ ‘බොරෝබුදුර්’ විහාරයයි. 

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට කිලෝ මීටර් 40 ක් දුරින්, මාගේලාන් පළාත හමුවෙයි. ගලින් තැනූ ‘බොරෝබුදුර්’ දැක ගැනීමට හා හැකි මාර්ගය වන්නේ එයයි‍.

‘බොරෝබුදුර්’ විහාර සංකීර්ණය සොයා ගැනීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ශ්‍රීමත් තොමස් ස්ටැම්ෆර්ඩ් රැෆල්ය.‍ ලන්දේසීන්ට යටත්ව පැවැති ඉන්දුනීසියා දූපත් (ජාවා ද ඇතුළුව) බ්‍රිතාන්‍ය යටත් විජිතයට එක් කර ගැනීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ශ්‍රීමත් තොමස් ස්ටැම්ෆර්ඩ් රැෆල්ය.‍ 

එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ ඉන්දියාවේ ප්‍රධාන ආණ්ඩුකාරවරයා වූ මින්ටෝ ආදිපාදවරයාගේ ප්‍රියතමයකු ලෙස රැෆල්ස් සැලකිණි. එහෙයින්, ඉන්දුනීසියාවට අයත් දූපත් බ්‍රිතාන්‍ය යටත් විජිතයට එක් කර ගනිද්දී, (එනම් 1811 සිට 1816 දක්වා කාලයේ) ඉන්දුනීසියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ධුරය රැෆල් ට පිරිනැමුණි. රැෆල් මාලේ බස හොඳින් දැන සිටියේය. 

එහෙයින්, ඉන්දුනීසියාවේ අතීත බෞද්ධ සහ හින්දු උරුමයන් ගැන රැෆල් උනන්දුවක් දැක්වීය. මිනිස් පහස නොලැබ වසර ගණනාවක් පාළුවට ගොස් වල් බිහිවී, ගිනි කඳු අළුවලින් ද වැසී තිබුණු ‘බොරෝබුදුර්’ වෙහෙර සංකීර්ණය සොයා ශ්‍රීමත් තොමස් රැෆල් මහා ගවේෂණයක් ඇරැඹුවේය.
‘බොරෝබුදුර්’ සොයා ගැනීමේ ගෞරවය රැෆල්ට හිමිවන්නේ එහෙයිනි.

13 වැනි සියවසට පෙර, ඉන්දුනීසියාවේ ආගම වූයේ බුදුදහම හා හින්දු ආගම ය. 

ගන්ධාර කලා සම්ප්‍රදායට අනුව නිර්මාණය කළ ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසට අයත් බුදු පිළිම රාශියක් ඉන්දුනීසියාවේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇත. අතීතයේ පටන්, ඉන්දුනීසියාවේ බුදු දහම පැතිර තිබුණු බව ඓතිහාසික වාර්තා සහ පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලින් සනාථ වී තිබේ. 

ඉන්දුනීසියාවට බුදු දහම මෙන්ම හින්දු දහම ව්‍යාප්ත වන්නට ඉන්දියාව සහ ඉන්දුනීසියාව අතර වෙළෙඳ කටයුතු හේතුවක් විය. චීන ජාතික පාහියන් හිමියෝ ක්‍රිස්තු වර්ෂ 414 දී ජාවා රටට වැඩම කළහ. පාහියන් හිමියන් වාර්තා කර ඇති ආකාරයට එම කාලයේ ඉන්දුනීසියාවේ වඩාත් ප්‍රබලව පැතිර තිබුණේ හින්දු ආගමය. 

සිව්වන සියවසේ දී බුදුදහම ඉන්දුනීසියාවට හඳුන්වා දුන් භික්ෂුව හැටියට බොහෝදෙනා පිළිගන්නේ ගුණවර්මන් හිමියන්ය. එසේ වූයේ පාහියන් හිමියන් ඉන්දුනීසියාවට පැමිණෙන්නට වසර හයකට පෙරය. ගුණවර්මන් හිමි කාශ්මිර දේශයේ රාජ කුමාරයකු වී සිටි අයකු බව ඉතිහාස වාර්තාවල සඳහන්ය. ගුණවර්මන් හිමියන් ඉන්දුනීසියාවේ ජාවා දූපතට වැඩම කිරීමෙන් පසු එවකට ජාවා රජුගේ මව, ගුණවර්මන් හිමියන්ගෙන් බණ අසා බුදුදහම වැළඳගත්තාය. 

පසුව රජු ද බුදුදහම ගැන පැහැදී පැවිදි වන්නට තීරණය කළ නමුත් ගුණවර්මන් හිමියන් ඔහුට පවසා ඇත්තේ දැහැමිව රට පාලනය කිරීමට රජකු සිටිය යුතු බවය. ඒ අනුව, ගුණවර්මන් හිමි දැහැමිව රාජ්‍ය පාලනයේ යෙදෙන ලෙස රජුට උපදෙස් දුන්නේය. 

රජු බුදුදහමට අනුව රට පාලනය කළේය. රටවැසියෝ ද රජු අනුගමනය කරමින්, බුදු දහම අනුව, සදාචාර සම්පන්නව, සමගියෙන් ජීවත් වූහ.ඉන්දුනීසියාවේ මුල්ම බෞද්ධ රාජධානිය ලෙස සැලකෙන්නේ මධ්‍යම ජාවා හි කාලිංග රාජධානියයි.  

දහවන සියවස වන විට, ඉන්දුනීසියාව බුදු දහමින් පෝෂණය ලැබුවේ, සුමාත්‍රාවේ ශ්‍රී විජය රාජධානි සමයේදීය. ඉට්සිං නමැති චීන ජාතික හිමියන්ගේ වාර්තා අනුව, එකොළොස් වන සියවසේ ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයේ අනුබද්ධ ආයතනයක් ද සුමාත්‍රාවේ ස්ථාපිත කෙරුණි.9 වන සියවසේ පැවැති ශෛලේන්ද්‍ර රාජධානි යුගය ඉන්දුනීසියා බෞද්ධ ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයකි. 

මධ්‍යම ජාවා ප්‍රදේශයේ ‘බොරෝබුදුර්’ විහාරය ඉදිකෙරුණේ ශෛලේන්ද්‍ර රජ සමයේදීය. ක්‍රිස්තු වර්ෂ 800 දී ඉදිකිරීම් ඇරඹුණු මෙම විහාර සංකීර්ණයේ වැඩ කටයුතු නිමවන්නට අවුරුදු 70 ක් ගතවීමෙන් යැයි අනුමාන කෙරේ. 

විහාර සංකීර්ණයේ වැඩ කටයුතු අවසන් වන කාලයේ ජාවා රට රජකළේ සමරතුංගා රැජිනය. ඇය හින්දු කුමාරයකු සමඟ විවාහ වී සිටියාය. ඒ අනුව, එකල බෞද්ධ හා හින්දු ආගම මිශ්‍රව පැවැති සමයක් විය. බොරෝබුදුර් විහාර සංකීර්ණයේ කලා නිර්මාණයන් හි බෞද්ධ දර්ශනය සහ හින්දු ආගම මුසුවූයේ එහෙයිනි.

ඉන්දුනීසියාවේ මෙගලන් පළාතේ ඉදි කෙරුණු බොරෝබුදුර් විහාරයට, ‘බොරෝබුදුර්’ යනුවෙන් නම යෙදුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් නැත. 

බොරෝ නමැති ගම ආසන්නයේ යමහල් (ගිනි කඳු) භූමි ප්‍රදේශයක පිහිටි නිසා එම ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඇතැමුන් මෙම ‘බොරෝබුදුර්’ විහාරය ඇති ස්ථානය හඳුන්වන්නේ බුදු කන්ද යනුවෙනි. 
1814 දී ශ්‍රීමත් තෝමස් රැෆල් ප්‍රමුඛ ගවේෂණ කණ්ඩායමට ‘බොරෝබුදුර්’ හමුවෙද්දී, එය සියවස් ගණනාවක් ලාවා තට්ටු සහ අළුවලින් වැසී පැවැතිණි. ‘බොරෝබුදුර්’ විහාරය ඉදිකර ඇත්තේ වේදිකා තුනක් ලෙසය. පළමුවන වේදිකාවේ බුදුපිළිම 504 ක් සහ දහසකට අධික කැටයම් ඵලක තිබේ. 

දෙවන වේදිකාවේ බුදුපිළිම 72 කි. ඒ අතර පිවිසුම් දොරටු ඇත. ඉහළ වේදිකාව මත කුඩා දාගැබ් රැසකි. මැද විශාල දාගැබකි. ‘බොරෝබුදුර්’ විහාර සංකීර්ණයෙන් නිරූපණය වන්නේ, විශ්වය පිළිබඳ බෞද්ධ මතය නිරූපණය කිරීමකි. පුරාණ ලේඛන අනුව, ‘බොරෝබුදුර්’ විහාර සංකීර්ණය ජිනාලය යනුවෙන් ද හැඳින්විණි. 

1935 වසරේ දී පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙන අන්දමට මෙම විහාරය ඉදිකර ඇත්තේ විශාල ජලාශයක් (නෙළුම් පොකුණක්) මැද ය. එහෙයින් පද්ම විහාරය යනුවෙන් ද ‘බොරෝබුදුර්’ හඳුන්වා ඇත. ඉන්දුනීසියාවේ සමරතුංගා රැජිණගේ දියණිය වූ ප්‍රමෝදවර්ධනී කුමරිය සයිලේන්ද්‍ර රජ පරපුරේ තම ඥාතීන්ට පින් පිණිස ජිනාලය විහාරයේ පැවැත්මට බද්දෙන් තොර භුමියක් පරිත්‍යාග කළ බව ශිලා ලේඛනයකින් අනාවරණය වී ඇත.
>
ඉන්දුනීසියාවේ බුද්ධාගමේ අභාවය ආරම්භය සිදුවූයේ 14 වන සියවසේ මජාපාහිත් රාජධානි සමයේ පටන්ය. ඒ රජු මුස්ලිම් කුමරියක විවාහ කර ගැනීම නිසාය. 

තමන්ට ඉස්ලාම් ආගම ඉගෙනීමට අවශ්‍ය බව දන්වා එම මුස්ලිම් බිසොව, මුස්ලිම් ගුරුවරුන් රජමැදුරට ගෙන්වා ගත්තාය. ඇයගේ අනුග්‍රහයෙන් මුස්ලිම් පූජකවරුන් විශාල සංඛ්‍යාවක් ඉන්දුනීසියාවට පැමිණ ඉස්ලාම් ආගම ප්‍රචලිත කරවිණි. 

ඉන්දුනීසියාවේ බුද්ධාගමේ අභාවය සිදුවූයේ ඒ අනුවය. රජ මැදුරට ගෙන්වා ගත් මුස්ලිම් පූජකරු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළහ. ඔවුන්ගේ උපාය වූයේ මුස්ලිම් බිසොවට දාව උපන් කුමරු ලවා බෞද්ධයකු වූ පියරජු ඝාතනය කිරීමය. ඒ අනුව රාදන් පාටා නමැති මුස්ලිම් රජ කුමරු හමුදාව මෙහෙයවමින් බෞද්ධ සිද්ධස්ථාන වනසා බෞද්ධ පොත්පත් ගිනි තැබීමට කටයුතු කළේය. බෞද්ධ ඇමතිවරුන් දෙදෙනකු සමඟ පිය රජු පලා ගියත් පසුව ඔහු අත් අඩංගුවට පත්විය. 

ඉන්පසු ඉස්ලාම් ආගම ඉන්දුනීසියාවේ රාජ්‍ය ආගම ලෙස නම් කෙරුණි.පහළොස්වන සියවසෙන් පසු කාලය, ඉන්දුනීසියාවේ බුදු දහම සැඟවිණි. ඉස්ලාමීය බලපෑම්වලින් බුදුදහම මුලුමනින් යටපත් කිරීමට හෝ වළලා දැමීමට නොහැකි වුණි. බොහෝ ජනයා තමන් මුස්ලිම් බව වචනයෙන් ප්‍රකාශ කළත්, හදවතින් බෞද්ධයන් විය. ඒ අයුරින් හෝ ඉස්ලාම් ආගම වැළඳගන්නට අකමැති වූ බෞද්ධයෝ පිටිසර ප්‍රදේශවලට ගියහ. 

අදත් එම පරම්පරාවලට අයත් බෞද්ධයෝ සිටිති. ඔවුන්ගේ සංඛ්‍යාව දහතුන් ලක්ෂයකට අධිකය. මුස්ලිම්කරණයට ගොදුරු වුවත්, ‘බොරෝබුදුර්’ ඉන්දුනීසියානු වැසියන්ගේ හදවත්වලින් ඈත් නොවුණි. එමනිසා, එරට රජු ‘බොරෝබුදුර්’ යනු රටට හා වැසියන්ට අවාසනාව විපත් ගෙන දෙන තැනක් ලෙස නම් කොට එහි යාම තහනම් කළේය. 

1757 දී බොරෝබුදුර් කන්දෙන් රජමැදුරට බුදුපිළිමයක් රැගෙන ඒමෙන් පසු ඔටුන්න හිමි සුල්තාන් යෝගකර්තා රජකුමරු මියගිය නිසා බොරෝබුදුර් තහනම් පෙදෙසක් ලෙස නම් කෙරුණි. 1814 දී ශ්‍රීමත් තෝමස් රැෆල් ‘බොරෝබුදුර්’ සොයා ගන්නා විට එය වල් බිහිවී මූසල පාළු ස්වභාවයක් පෙන්නුම් කළේ මිනිස් පහස නොලැබ වසර ගණනාවක් පැවැති බැවිනි.
ඉස්ලාම් දහම ව්‍යාප්ත වූ ඉන්දුනීසියාවේ බුදු දහම යළි අවදිවුණේ පසුගිය සියවසේ මුල් කාලයේය. එහි ගෞරවය හිමිවිය යුතු වන්නේ කොළඹ වජිරාරාමවාසී නාරද හිමියන්ටය. 

උන්වහන්සේ 1934 වසරේ මාර්තු මාසයේ ඉන්දුනීසියාවේ නොයෙකුත් පළාත්වලට වැඩම කරමින්, ධර්මදේශනා සංවිධානය කළහ. ඉන්දුනීසියාවේ බෞද්ධ සංවිධාන ආරම්භ කිරීමට පියවර ගත්හ. 

තායිලන්ත, බුරුම හා චීන භික්ෂූන් ඉන්දුනීසියාවට වැඩම කරවීමට අවස්ථාව සලසා දුන්හ. ඉන්දුනීසියාවේ රජය මගින් නීතිගත කළ පංචශීල ප්‍රතිපත්තිය අනුව ආගමික නිදහස අරුත් ගන්වා ඇත්තේ එක දෙවියකු අදහන ලෙසය. එහෙයින්, එය දෙවියන් නොඅදහන බෞද්ධයන්ට එය ගැටලුසහගතය. 

1985 වසරේ සිට වරින්වර අවස්ථා කීපයක දී ම ඉස්ලාමීය අන්තවාදී කළ බෝම්බ පිපුරුම්වලින් පවා බෞද්ධ දාගැබ් විනාශ විය. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කටයුතු අඩපණ වී ඇති නමුත්, සාමාන්‍යයෙන් වසරක් පාවා ‘බොරෝබුදුර්’ වෙත පැමිණෙන විදෙස් සංචාරකයන් ඇතුළු බෞද්ධ බැතිමතුන් ගණන මිලියන 3 ක් පමණ යැයි පැවැසෙයි.

 යුනේස්කෝ සංවිධානය මැදිහත් වී, ‘බොරෝබුදුර්’ සංරක්ෂණ කටයුතු 1982 වසරේ දී නිම කෙරුණු අතර, 1991 වසරේ දී ලෝක උරුමයක් ලෙස ‘බොරෝබුදුර්’ නම් කෙරුණි. ලෝකයේ ලොකුම බෞද්ධ සිද්ධස්ථානය ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් වන්නේ බොරෝබුදුර් විහාරයයි.

අන්තර් ජාලය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom