“Park & Ride” ඇරඹේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 15, 2021

“Park & Ride” ඇරඹේ

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) උදෑසන ආරම්භ විය.

මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම “Park & Ride” බස් රථ සේවාවේ අරමුණ වෙයි. 

පරිසර දූෂණය, වැය වන කාලය සහ මානසික පීඩනය අවම කිරීමට ද මෙම බස් රථ සේවාව හරහා අපේක්ෂා කෙරේ.

ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනෙන අතර, අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. 

නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ  Clock Wise  හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වෙයි.
මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනේ ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට නියමිතය.

පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.

පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25 කට වතාවක් බවත්  දිනකට  ගමන් වාර 64 ක් සිදු කරන බවත් පැවැසෙයි.

වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව මෙම පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වෙයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ. 
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ. 

නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම්  නිරීක්ෂණ කළේය.

ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ  (OREL UNMANNED STORE) ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ.ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු බොහෝ දෙනෙක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහාතාගේ ප්‍රධානත්වයෙන් මෙම අධි සුඛෝපභෝගි බස් රථ සේවාව  මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කළ අවස්ථාවේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංග්ස්ලි රණවක මහතා මෙසේ පැහැදිලි කිරීමක් ද කළේය.

"අද දිනයේදී මාකුඹුර සිට පිටකොටුව දක්වාත් පිටකොටුවේ සිට මාකුඹුර දක්වාත් 138 මාර්ගයේ සහ බත්තරමුල්ල ඔස්සේ මෙම සිටි බස් සේවාව ආරම්භ වෙනවා. පාර්ක් ඇන්ඩ් රයිඩ් කියන සංකල්පය මත මෙම සේවාව ආරම්භ වෙන්නෙ. අධික රථවාහන තදබදයක් සමග ගමන් කරන කාර්යාල පිරිස් ඉවත් කරගෙන මෙම බස්රථවලට ලබා ගැනීම තමයි ඉන් අපි බලාපොරොත්තුවෙන්නේ. ඒ වගේම කාර්යක්ෂමව ඔවුන්ගේ සේවා ස්ථානවලට ඔවුන්ව රැගෙන යෑම. සෑම මිනිත්තු 10කට වරක්ම මේ බස් රථයක් ඒ මාර්ග ඔස්සේ ගමන් කරනවා. ගාස්තුව සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක්."

Classified_Ad

Classified_Ad_News_Bottom