'සෙනොරීටා' මුහුණු පොතට ගෙනා පවනි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 27, 2021

'සෙනොරීටා' මුහුණු පොතට ගෙනා පවනි

මාපියන්ගේ අඩිපාරේ යමින් ලේඛන කලාවට පිවිසි පවනි උමයංගනා, 'තුරඟ මායම්', 'මන්දෝදරී', 'නිරූප රූප', 'සයුරු කුරුල්ලෝ', 'භව බන්ධන', 'රැහිරු මැදියම' ආදී නව කතා හරහා පාඨක හදවත් ආකර්ශණය කරගත් ලේඛිකාවක ලෙස පවනි උමයංගනා හඳුන්වා දෙන්න පුළුවන්. 

පවනි දැන් නවකතා කලාවෙන් පියවරක් ඔබ්බට තබමින්, මුහුණු පොත හරහා ද නවකතාකරණයට පිවිස සිටින්නීය. මුහුණු පොතේ කොටස් 106 පුරා දිග හැරුණු පවනිගේ 'සෙනොරීටා' අතිශය ජනප්‍රිය විය. මුහුණු පොත හරහා නවකතා ලිවීම මොනවාදැයි අපි ඇයගෙන් විමසීමක් කළෙමු. මුහුණු පොතේ නවකතා ලිවීම මොනවගේද? 

මුහුණු පොතේ නවකතා ලිවීම වෙනස්ම අත්දැකීමක්. කොටසින් කොටසට ඒ මොහොතේම ලැබෙන කමෙන්ට් හරිම අපූරුයි. ඒ වගේම පාඨකයෝ කොයි තරමක් නම් කතාව එක්ක ආත්මගත වෙනවද කියලා ඒවගෙන් තේරෙනවා. හරියට තමන්ට සිද්ද වෙන දෙයක් වගේ එයාලා කතාව රසවිඳින්නේ. 

අද බොහෝ දෙනෙක්, විශේෂයෙන් ආධුනික ලේඛක ලේඛිකාවන් මුහුණු පොත හරහා නවකතා ලියන්න යොමු සිටිනවා. ඒ ගැන මොකක්ද අදහස? 

ආධුනික ලේඛක ලේඛිකාවන්ට කළ එළි බහින්න මුහුණු පොත තෝතැන්නක් වුණා. ඒක හොඳ තත්ත්වයක්. මොකද ගොඩක් දක්ෂ ලේඛක ලේඛිකාවෝ ඉන්නවා කියලා දැන ගන්න පුළුවන් වුණේ මුහුණු පොත නිසයි. හැබැයි ප්‍රශ්න නැත්තෙමත් නෑ. දැනට මුද්‍රණයේ පවතින පොත්වල නම් භාවිතා කිරීම වගේම කොපි කරනවා කියන චෝදනා සමහරුන්ට එල්ල වෙනවා. තමන්ගේ දක්ෂතාවය ඔප් නංවා ගන්නවා වගේම දැනට මුද්‍රණයේ පවතින පොත් සම්බන්ධයෙනුත් අවධානයක් යොමු කළා නම් හොඳයි ගැටලු ඇති නොවෙන්න. 

දැන් අපි 'සෙනොරීටා' ගැන කතා කරමු‍. 

ෂෝන් මෙන්ඩිස් ගේ සෙනොරීටා කියන ඉංග්‍රීසි ගීතය හරහා තමයි මට මේ සෙනොරීටා කියන නම නම් හිතේ ඇදුණේ. සෙනොරීටා කියන්නේ ස්පාඤ්ඤ වචනයක්. ඒක ඇත්තටම නම් කියවන්නේ ‘සෙඤොරීටා’ කියලා. ඒකේ තේරුම ‘මිස්’ එහෙම නැත්නම් ‘මෙනවිය’ කියන එක. වචනෙට ඇතිවුණු කැමැත්ත කතාවක් විදියට ගොඩ නැඟුණා. ඒ ගීතය තමයි කතාව ගොඩ නැගෙන්න ප්‍රධානම හේතුව. කතාව ගොඩ නගද්දී මට අවශ්‍ය කරන තොරතුර ලබා දුන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්ය, නීතීඥ පොලිස් පරීක්ෂක දිමුතු ප්‍රදීප් ජයසිංහ මහතාටත්, තුෂාරි කුලරත්න මහත්මියටත් විශේෂයෙන් ස්තුති කරන්න කැමතියි. ඒ වගේමයි 'සෙනොරීටා' කතාව වෙනුවෙන් මුහුණු පොතට කවර නිර්මාණය කළ කෙනාටත් ස්තුති කරන්නම වෙනවා. එයා මගේ ආදරණීය සැමියා දිනේෂ් පෙරේරා. 

කොටස් වශයෙන් පළ කරද්දී ලැබුණු ප්‍රතිචාර ලැබෙන්න ඇතිනේ. ඒ ගැනත් කියමුකෝ බලන්න. 

කොටස් වශයෙන් කතාව පළ කරද්දී, හැම කොටසකටම හොඳ ප්‍රතිචාර ලැබුණා. මුද්‍රිත පොත් විතරයි මම කලින් කරලා තිබ්බේ. මේක මගෙත් පළවෙනි මුහුණු පොතේ අත්දැකීම. කතාව ගොඩ නඟන්න ඒ ප්‍රතිචාරත් හේතු වුණා. සමහර වෙලාවට මම හිතලා නැති පැති ගැන පාඨකයෝ හිතලා තිබ්බා. මුලදිම මම හිතාගෙන හිටියට වැඩිය සමහර චරිත ඉස්මතු කරලා පෙන්නන්න කතාව කොටස්වලට ලැබෙන ප්‍රතිචාරත් හේතු වුණා. 'සෙනොරීටා' පාඨක පිරිස ගැනත් මතක් කරමු නේද? ඔව්, මුහුණු පොත හරහා හරිම අපූරු පාඨක පිරිසක් ලැබුණා. කතාව හැමදාම එකම වෙලාවක දාන්න මට පුළුවන්කමක් තිබ්බේ නෑ. සමහර දවසට කතාව දාද්දී රෑ 12 ත් පහුවෙලා. ඒත් කතාව දානකම් බලා ඉන්න අය හිටියා. මම හැමදාම කතාව දාන්න උත්සාහ කළේ ඒ පාඨකයින් නිසාමයි. කතාවේ සෙනොර්ට ගොඩක් ආදරේ කරපු අය හිටියා. මැසේජ් කරලා කතාව දාන්නේ නැද්ද ඇහුවා. හැබැයි මට කතාව දාන්න බැරි දවසට කිසිම මැසිවිල්ලක් කළේත් නෑ. කතාවේ හැම කොටසකටම දිගම දිග කමෙන්ට්ස් දාන්න වෙලාව වෙන් කර ගත්ත අය හිටියා. 

දැන් 'සෙනොරීටා' අවසන්. ඉදිරියේ දී මොනවද කරන්නේ? මුහුණු පොත හරහා තවත් කතාවක් අරන් එනවාද? නැතිනම් සුපුරුදු විදියට පොතක් එළියට දානවාද? 

ඉදිරියේදී මුහුණු පොත හරහා ආයෙමත් කතාවක් අරගෙන එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම එළඹෙන සැප්තැම්බර් මාසය වෙනුවෙන් තවත් කතාවක් ලියාගෙන යනවා. ඒ ගැන විස්තර කියන්න නම් බෑ දැන්මම. 

෴සාගර

Classified_Ad

Classified_Ad_News_Bottom