අගමැතිතුමන්ගේ නිදහස් දින පණිවුඩය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 4, 2021

අගමැතිතුමන්ගේ නිදහස් දින පණිවුඩය

ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙනි. 

73 වැනි නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කළ නිදහස් දින පණිවුඩය පහත දැක්වෙයි. 

ශ්‍රී ලාංකේය පුරවැසියන් 73 වන ජාතික නිදහස් දිනය සමරනු ලබන්නේ ඉමහත් අභිමානයෙනි. අපේ මාතෘභූමිය යටත් විජිතයක් බවට පත් වූ දින පටන් නිදහස දිනා ගැනීමට ලක්වැසියන් කළ කැපවීම හා සටන් ලෝක ඉතිහාසයේ නම් දරා තිබේ. යුද ශක්තිය මෙන් ම දේශපාලන, ආගමික හා සංස්කෘතික මුහුණුවරින් ද උපක්‍රමික අරගලවල යෙදෙමින් නිදහස දිනාගත් අභිමානවත් අතීතයක් ශ්‍රී ලාංකේය ජාතියට හිමිය. අද වන විට අපගේ මාතෘභූමියට අවශ්‍යව ඇත්තේ ලැබූ නිදහස අර්ථවත් කර ගැනීමේ ක්‍රියාවලියයි. ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම හා ආගමික සංහිඳියාව ඊට දක්වන්නේ ප්‍රබල පිටුබලයකි. විවිධ අභියෝග හමුවේ දේශීයත්වය අගයන ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙන යාමේ මාවතට අප දැන් ප්‍රවිෂ්ට වී තිබේ. සෑම ක්ෂේත්‍රයක ම සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ අවබෝධ කරගනිමින් ජනතාව මත තැබූ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවෙන් නිදහස තවත් අර්ථවත් වන විට “ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන්න යථාර්ථයක් වනු ඇත. ඉතිහාසය පුරාවට මාතෘ භූමියට එරෙහි දෙස් විදෙස් බලවේග මෙන් ම ත්‍රස්තවාදය පරාජය කිරීමේ ස්ථිර ප්‍රතිපත්තියක අපි කටයුතු කළෙමු. කොතරම් අභියෝග පැමිණිය ද අපගේ මාතෘ භූමිය අප කිසි ලෙසකින් පාවා දී නැත. කොවිඩ් - 19 දැන් ලෝකය හමුවේ ඇති විශාලම අභියෝගයයි. ජනතාව මෙම අර්බුදයෙන් නිදහස් කර ගැනීමේ සටනට අප දැන් උර දී සිටී. සතුරු බලවේග පරාජය කිරීමට මෙන් ම කොවිඩ් - 19 පරාජය කිරීමට ද ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස අපි නැගී සිටිමු. අපගේ මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීත්වය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා අපරිමිත කැපවීම් කළ සියලු දෙනාටත් වර්තමානයේ එම අභියෝගය හමුවේ නොසැලී කැපවන දෑ හිතකාමී සියලු දෙනාටත් මාගේ ගෞරවය පුද කරමි. 

අගමැති මහින්ද රාජපක්ෂ 
2021.02.04

Classified_Ad

Classified_Ad_News_Bottom