73 වැනි ජාතික නිදහස් දින සැමරුම - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 4, 2021

73 වැනි ජාතික නිදහස් දින සැමරුම

ශ්‍රී ලංකාව යටත් විජිත පාලනයෙන් නිදහස ලැබ වසර 73 ක් සම්පූර්ණවීම සනිටුහන් කරමින් 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ, නිදහස් චතුරස්‍රයේ පිහිටි ‘ජාතියේ පියා’ යන විරුදාවලිය ලද ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුව අභියස දී ඉතා අභිමානවත්, සෞඛ්‍යාරක්‍ෂිත හා චාම් අයුරින් අද (4) පෙරවරුවේ පැවැත්විණි. 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගීත්වයෙන් මෙම උළෙල පැවැත්විණි. “ඉසුරුමත් හෙට දිනක්, සෞභාග්‍යමත් මව්බිමක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාව විය. 

උත්සවය සඳහා ආරාධිත අමුත්තන් පැමිණීම පෙරවරු 7.30ට ආරම්භ වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය උත්සව භූමියට පැමිණියේ පෙරවරු 8.11 ට පමණය. 

අනතුරුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අයෝමා රාජපක්‍ෂ මහත්මිය පෙරවරු 8.13ට පමණ උත්සව භූමියට පැමිණි අතර උත්සවයේ කටයුතු ආරම්භ වූයේ ඉන් අනතුරුවය. 

ගියවර නිදහස් දින සැමරුම් උළෙලේදී මෙන්ම මෙවර ද ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ රිය පෙරහැර වෙනුවෙන් අශ්වාරෝහකයින් යොදාගෙන නොතිබූ අතර පෙරගමන් රථ හා පෙරගමන් යතුරුපැදි කිහිපයක් පමණක් යොදාගෙන තිබිණි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර ද නිදහස් උළෙලට සහභාගී වී සිටියේ තමන් යුද හමුදා සේවයේදී ලබාගත් වීර පදක්කම් සිය කමිසයේ පැළඳගෙනය. 

 උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් විසින් ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යනු ලැබිණි. 

ඉන්පසු මඟුල් බෙර වාදන මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය නංවන ලදී. අනතුරුව පාසල් සිසු සිසුවියෝ 45 දෙනකු එක්ව ජාතික ගීයත්, ඉන්පසු පාසල් ශිෂ්‍යාවන් 15 දෙනකු ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාත් ගායනා කරනු ලැබූහ. 

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ විරුවන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම අනතුරුව සිදුකෙරිණි. 

ඉන්පසු ත්‍රිවිධ හමුදාව විසින් ජනාධිපති උත්තමාචාර පැවැත්වූ අතර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම ද සිදුවිය. අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජාතිය ඇමතීය. 

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය හා ඊට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය පැවැත්විණි. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් 3153ක්, නාවික හමුදා නිලධාරීන් හා සෙබළුන් 821ක්, ගුවන් හමුදාවේ 740ක්, ශ්‍රී ලංකා පොලීසියෙන් හා විශේෂ කාර්ය බලකායෙන් 510ක් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ 457ක් මෙවර ආචාර පෙලපාලියට එක්ව සිටියහ. 

 යුද හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, ප්‍රධාන මාණ්ඩලික මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු මහතා පෙළපාලියේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය. 

ජාතික හා හමුදා ධජවලින්, ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම්වලින් හා ශ්‍රී ලංකා පාබල හමුදාවේ ‘මංගල’ හා ශ්‍රී ලංකා පොලීසියේ ‘අභීත’ ඇත් පැටවුන්ගෙන් මෙන්ම අශ්වාරෝහක කණ්ඩායම්වලින් විචිත්‍රවත් වූ පෙළපාලියට සන්නාහ සන්නද්ධ රථ, නාවික යාත්‍රා, ආරක්‍ෂක උපකරණ ආදියෙන් මහත් අභිමානයක් ලැබිණි. 

ගුවන් හමුදා කණ්ඩායම් ආචාර පෙලපාලියේ ගමන් කරද්දී නිදහස් චතුරස්‍රයට ඉහළ අහසේ ගුවන් හමුදා ප්‍රහාරක යානා ද ගමන් කරනු දක්නට ලැබිණි. මෙම ආචාර පෙළපාලිය නිදහස් චතුරස්‍රය ඉදිරිපිටින් ගමන් ගත්තේ ශ්‍රී ලංකා මාතෘභූමියේ මුරදේවතාවුන්ගේ අභිමානය හා ශක්තිය මැනවින් ලොවට විදහා පාමිනි. 

තම ජීවිතයේ වැඩි කාලයක් රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කැප වූ සේවා මුක්ත භටයින් හා යුද්ධයේදී විවිධ ආබාධයන්ට ලක්වූ රණවිරුවන් රැගත් රථ ද මෙවර ආචාර පෙළපාලියට එක්කර තිබිණි. 

ආචාර පෙලපාලිය අවසානයේ පැවති සංස්කෘතික සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, පාදුක්ක, මහරගම, කඩුවෙල, කැස්බෑව, මඩකලපුව සංස්කෘතික මධ්‍යස්ථානයන් මෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත් සභා නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් 340 දෙනෙක් සහභාගී වී සිටියහ. 

කෘෂි, මැටි, බතික්, වේවැල් ආදී දේශීය කර්මාන්ත නිරූපණය වන අයුරින් මෙම සංස්කෘතික සංදර්ශනය නිර්මාණය කර තිබුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා විසිනි. ඉන් අනතුරුව උත්සවයේ කටයුතු නිමාවට පත්විය. 

මෙවර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිදහස් දින සැමරුම සෞඛ්‍යාරක්‍ෂිත විධිවිධාන යටතේ සංවිධානය කර තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ද මෙවර නිදහස් දින උළෙලට සහභාගී වූහ. 

බස්නාහිර පළාත් ආණ්ඩුකාර, මාෂල් ඔෆ් ශ්‍රී ලංකා එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆීල්ඩ් වසන්ත කරන්නාගොඩ, යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටි නමුත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මෙවර ද නිදහස් දින උළෙල සඳහා සහභාගී වී සිටියේ නැත. 
උළෙලේ මඟුල් බෙර වාදනය හා සක් පිඹීම සඳහා රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීහු එක්ව සිටියහ. 

කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය, ආරක්‍ෂක සේවා විද්‍යාලය, දෙහිවල ප්‍රෙස්බිටීරියන් විද්‍යාලය, මුස්ලිම් කාන්තා විදුහල, රාජකීය විද්‍යාලය, රාමනාදන් හින්දු විදුහල, කොළඹ සහිරා විදුහල, කොළඹ හින්දු විදුහල, කිරිබත්ගොඩ විහාර මහා දේවී විදුහල, ශාන්ත පීතර විදුහල යන විදුහල්වන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 45 දෙනෙක් ජාතික ගීය ගායනා කිරීම සඳහාත්, කොළඹ දේවි බාලිකා විද්‍යාලය, විශාකා විද්‍යාලය සහ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය යන විදුහල්වල ශිෂ්‍යාවෝ ජයමංගල හා දේවෝ වස්සතු කාලේන ගාථා ගායනය සඳහාත් එක්වූහ. 

ජාතික ගීය ගායනා කිරීමේදී සහ ජයමංගල ගාථා ගායනා කිරීමේදී සංගීතය මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසිනි. මෙම උත්සවය සඳහා නිදහස් චතුරස්‍රය හා ඒ අවට මාර්ග වසා දමා තිබූ අතර විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබිණි. 

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරුන්ද නිදහස් දින උළෙල සඳහා එක්ව සිටියහ. කතානායක මහින්ද යාපා අබේවර්ධන, නීතිපති දප්පුල ලිවේරා, වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්‍ෂ, අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩග්ලස් දේවානන්දා, මහාචාර්ය ජී.එල් පීරිස්, උදය ගම්මන්පිල, එස්.එම් චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහත්වරුන්, රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන්, විදෙස් තානාපතිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

මෙවර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිදහස් දින උළෙලේ ආරාධිතයින් සංඛ්‍යාවද සීමා කර තිබූ අතර මහජනතාවට උත්සවය නැරඹීමට පැමිණීමේ අවස්ථාව ද නොලැබිණි.

෴සටහන -  ඩයනා උදයංගනී
     ඡායාරූප - ළහිරු හර්ෂණ  

උපුටා ගැනීම 
ලංකාදීප මැදපෙරදිග

Classified_Ad

Classified_Ad_News_Bottom