ඉරාන සටන්කාමීන්ට ඇමෙරිකාව පහර දෙයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 26, 2021

ඉරාන සටන්කාමීන්ට ඇමෙරිකාව පහර දෙයි

ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ නැගෙනහිර සිරියාවේ පිහිටි කඳවුරු කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි. 

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ එල්ල කළ පළමු යුද ප්‍රහාරය මෙයයි.

 මෙම ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනකු මරණයට පත්වූ බව ද ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය නිවේදනය කළේය. 

 මේ මස මුලදී ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් එල්ල වූ රොකට් ප්‍රහාර මාලාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ද පෙන්ටගනය සඳහන් කළේය. 

“ජනාධිපති බයිඩන්ගේ උපදෙස් පරිදි ඇමෙරිකානු හමුදා නැගෙනහිර සිරියාවේ සිටින ඉරානයේ සහාය ලබන සටන්කාමීන්ගේ කඳවුරු වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා” යැයි පෙන්ටගනයේ ප්‍රකාශක ජෝන් කර්බි නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය. 

“ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා සහ ඒකාබද්ධ හමුදා ඉලක්ක කරගනිමින් මෑතකදී එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළා” යැයි ද හෙතෙම කීය. ඉරාක සහ සිරියානු දේශසීමාවේ පිහිටි සටන්කාමීන්ගේ කඳවුරු මෙලෙස ප්‍රහාර එල්ල වී තිබේ. 

ඉරානයේ සහාය ලබන කටායිබ් හිස්බුල්ලා (කේ.එච්) සහ කටායිබ් සයිද් අල් ෂුහාදා (කේ.එස්.එස්) යනාදී කඳවුරු රැසක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇතැයි පැවසේ. 

මෙම ප්‍රහාරවලින් ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනකු මරණයට පත්වූ බව මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වන සිරියානු සංවිධානය නිවේදනය කළේය.

 “මෙම ප්‍රහාරවලින් පුපුරණ ද්‍රව්‍ය රැගෙන යන ලොරි තුනක් විනාශයට පත්වුණා. තවත් පිරිසක් තුවාල ලබලා. දැනට තිබෙන තොරතුරු අනුව ඉරානයේ සහාය ලබන සටන්කාමීන් 17 දෙනකු මරණයට පත්වෙලා” යැයි එම සංවිධානයේ අධ්‍යක්ෂ රාමි අබ්දුල් රහ්මාන් පැවැසීය. 

 ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපොළේ පිහිටි ඇමෙරිකාවට අයත් ප්‍රධාන හමුදා කඳවුරු මීට සති දෙකකට පෙර සටන්කාමීන්ගෙන් රොකට් ප්‍රහාර දෙකක් එල්ල විය. එම ප්‍රහාර මාලාවෙන් විදේශීය සිවිල් කොන්ත්‍රාත්කරුවකු මරණයට පත්වූ අතර ඇමෙරිකානු සොල්දාදුවකු ඇතුළු නවදෙනෙක් තුවාල ලැබූුහ. 

ඉරාකයට අයි.එස්.අයි.එල්. හෙවත් අයි.එස්.අයි.එස්. සංවිධානයට එරෙහිව සටන් වදින අතර ඊට සහාය දැක්වීම සඳහා 2014 වසරේ සිට ඇමෙරිකානු හමුදා ඇතුළු ඒකාබද්ධ හමුදා ඉරාකයේ ස්ථාපිත කර ඇත. 

‘රුධිරයේ රැකවලුන්’ හෙවත් අව්ලියා අල්-දාම් නමැති සංවිධානයක් එම රොකට් ප්‍රහාර මාලාවේ වගකීම බාරගෙන තිබූ අතර ඉරාකයේ සිටින ඇමෙරිකානු හමුදා වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව ද ප්‍රකාශ කර තිබිණි. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom