මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි ඇති, ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් වන කෲඩියා සිලනිකා ශාකය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්. කේ කොඩිතුවක්කු මහතා පවසයි.
සිලනිකා ශාකය මුලපිටින් උදුරා වෙනත් ස්ථානයකට ගෙන ගොස් එය යළි සිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව කොඩිතුවක්කු මහතා පවසා තිබේ. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පේරාදෙණිය උද්භිත උද්‍යානය හා මධ්‍යම පරිසර අධිකාරිය යන ආයතනවලින් මේ සඳහා අනුමැතිය හිමිව ඇති බව ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.
ලොව දැනට ඉතිරිව ඇති දුර්ලභම ශාකයක් බවට මෙම සිලනිකා ශාකය හඳුනාගෙන ඇත. මෙම ශාකය මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට යෝජිත බිමෙහි දාරළුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක ඇති අතර මෙම ශාකය ඉවත් කිරීමට ගම්පහ දිසා වන නිලධාරී කාර්යාලය සහ පරිසරවේදීන් විරෝධය පළ කරන අතර, හොඳින් වැඩුණු මෙවැනි ශාකයක් ඉවත් කිරීමට සුදුසු තාක්ෂණයක් මෙරට පවතින්නේ ද යන්න සැක සහිත යැයි ද ඔවුහු පෙන්වා දෙති.
මෙම කෲඩියා සිලනිකා ශාකය හඳුනා ගැනීමට සමත් වූයේ පරිසරවේදී හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ මහතාගේ හපන්කමක් නිසාය. අධිවේගී මාර්ගය තැනීමට අවසර දීමට පෙර මධ්‍යම පරිසර අධිකාරිය, මේ ප්‍රදේශයේ පූර්ණ පරීක්ෂණයක් කර මේ මාර්ගය තැනීමෙන් පාරිසරික හානි කිසිවක් නැතැයි නිගමනය කර තිබුණු අතර, ඔවුන්ට කෲඩියා සිලනිකා ශාකය මඟ හැරී තිබුණි.
එහෙයින් පරිසරවේදී මහතා එය සොයා ගැනීම සැබැවින්ම හපන්කමකි.
හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ
ඩිල්රුවන් මහතා වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකි. පරිසරවේදියකු වීමට ඩිල්රුවන් මහතාගේ කැමැත්ත යොමු වී ඇත්තේ තරුණ සත්වවේදීන්ගේ සංගමයට බැඳී එයින් ලත් දැකීම් නිසාය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ඉවත් වූ ඔහු පසුව පරිසරවේදියකු වීම නිසාම මිසක් වෙන කිසිදු ක්‍රමයකට කෲඩියා සිලනිකා ශාකය මෙසේ යළි හමුවන්නේ නැත. ඩිල්රුවන් මහතා සිය සොයා ගැනීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් පළ තිබුණේ මෙසේය.
‘දැනට තනා ගෙන යන මහනුවර අධිවේගී මාර්ගයේ කඩවත ඉඳන් මීරිගමට යන කොටසේ දාරළුව ප්‍රදේශයේ දී තමයි, අපට මේ ශාකය මුණ ගැහුණේ. මේ ප්‍රදේශය ගැන කලින් තත්ව වාර්තාවක් කර බලා මාර්ගය තැනීමට මධ්‍යම පරිසර අධිකාරියෙන් විසින් අවසර දී තිබුණත් පසුගිය වසරෙදි ඒ පරිසර අධිකාරියම අපට පැවරීමක් කළා, යළිත් මේ ප්‍රදේශවල සවිස්තරාත්මක වාර්තාවක් සපයන්න කියා. ඒ අනුව කළ අධ්‍යයනයේදී තමයි අපට මේ ශාකය හමු වුණේ.’
‘මේ ගහේ කොළ දැක්කාම මට හිතුණා මේ කෲඩියා සිලනිකා ශාකය විය හැකි බව. ඒත් ඒ වෙලාවෙ ගහේ මල් පිපිලා තිබුණේ නෑ. ඒ නිසා නිශ්චිතව තහවුරු කර ගන්න හැකියාවක් තිබුණේ නෑ. ඒත් දැන් ඒ ගහේ මල් පිපිලා තියෙනවා. දැන් ඒ ශාකය බව පැහැදිලියි.’ ඩිල්රුවන් මහතා පැහැදිලි කර තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඩිල්රුවන් ජයසිංහ මහතා ඉංජිනේරුවකු බවට පත්වූයේ මොරටුව විශ්ව විද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ සමනලුන් සංරක්ෂණ සංගමයේ ආරම්භක සභාපතිවරයා ද වන ඔහු ශ්‍රී ලංකාවේ සමනලුන් ගැන ඉංග්‍රීසියෙන් 'කොමන් බටර්ෆ්ලයිස් ඔෆ් ශ්‍රී ලංකා යන නමින් 2015 දී පොතක් සම්පාදනය කර ඇත.
උද්භිද විද්‍යාත්මකව කෲඩියා සිලනිකා (Crudia zeylanica) යනුවෙන් හැඳින්වෙන මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් හෙයින්, දේශිය නමක් තිබිය යුතුය. එහෙත් ඒ නම කුමක්දැයි සොයා ගැනීමට පරිසරවේදීන් සමත් වී නොමැත.
පැරණි වාර්තාවලින් දැක්වෙන පරිදි මෙම ශාකය මුලින් හඳුනා ගෙන ඇත්තේ 1868 වසරේදිය. මෙම ශාකය තෙත් කලාපයේ පහත් බිම්වල වැවෙන සපුෂ්ප ශාකයක් ලෙස සඳහන් වෙයි.
ඉන්පසු මෙම ශාකය යළිත් වරක් 1911දී හමු වී ඇත.
කෙසේ නමුත් මෙම ශාකය 1998 වසරෙන් පසුව වඳ වී ගිය ශාකයක් ලෙස ලෝක රතු දත්ත නාමාවලියේ සඳහන් වී ඇත.
ඉන්පසු 2006 දී ලෝක රතු දත්ත නාමාවලියේ මෙය වඳ වී ගිය ශාකයක් ලෙස නම් කළේය. 2012 දී ජාතික රතු දත්ත නාමාවලියේත් මෙය වඳ වී ගිය ශාකයක් ලෙස සටහන් විය. මෙම ජාතික රතු දත්ත නාමාවලිය සකසන්නේත්, ලෝක රතු දත්ත නාමාවලියට තොරතුරු සපයන්නේත් රාජකීය උද්භිද උද්‍යානයේ පිහිටි ජාතික ශාකාගාරයයි.
බීබීසී සිංහල වෙබ් අඩවියේ
පළවුණු වාර්තාවක් ඇසුරිනි