නන්දා දේවිට බිලිවුණු ගණන ඉහළට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 8, 2021

නන්දා දේවිට බිලිවුණු ගණන ඉහළට

ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, ‘නන්දා දේවි’ ග්ලැසියරය කඩා වැටීමත් සමඟ සිදුවුණු මහා ව්‍යසනයෙන් මියගිය ගණන ඉහළ යමින් පවතින බවත් පස් තට්ටු යට සිරවී අතුරුදන් වූ ගණන 177 පසු කර ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. 

අතුරුදන් වූවන් සෙවීමට දිවා රෑ පුරා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, ඉන්දීය හමුදා සොල්දාදුවන් දහසකට ආසන්න පිරිසක් ද අතිරේක හමුදා බලඇණියක් ද යොදවා ඇත. 

දිවි ගලවා ගැනීමේ කටයුතු සිදුවන අයුරු සම්බන්ධයෙන් තමන් නිරන්තරයෙන් සොයා බලන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ. ‘නන්දා දේවි’ ග්ලැසියරය ඊයේ (7) හිටිහැටියේ කඩා වැටීමට ලක් වූයේ ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 11 ට පමණය. 

ග්ලැසියරය කඩා වැටීමෙන් ‘දූලි ගංගා’ නදියට මහා ජල කඳක් එක් විය. ප්‍රචණ්ඩකාරී වූ එම ජල කඳ හේතුවෙන් ‘රිශිගංගා’ ජල විදුලි බලාගාරය පිහිටි වේල්ල කැඩී සුනුවිසුණු වූයේ, ‘ටැපොවාන්’ නමැති පළාත මුළුමනින්ම මඩ සහ පස් තට්ටුවලින් යට කරමිණි. 

ජංගම දුරකතනවලින් පටිගත කෙරුණු ජල කඳට හසුවී වේල්ල කැඩී බිඳී සිදුවන විනාශය දැක්වෙන දසුන් මේවනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. 

ග්ලැසියර් කඩා වැටීම සහ වේල්ල සුනුවිසුණු වී සිදුවුණු විනාශය දැකීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බවත් විපතට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පමණක් නොව, ලෝක නායකයෝ රැසක් ඉන්දියාවට සොව පළ කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ. ග්ලැසියරය හිටිහැටියේ කඩා වැටුණේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නැත. 

එසේ වුවත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ග්ලැසියර් කඩා වැටීම (ඛාදනය) සිදුවූයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙස බවය.

එන්.ඩී.ටීවී

Classified_Ad

Classified_Ad_News_Bottom