ඉම්රාන් ඛාන් එනවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 22, 2021

ඉම්රාන් ඛාන් එනවා

ඉන්දියාවට වඩා පාකිස්තානය ශ්‍රී ලංකාවේ මිතුරකු යැයි කීවොත් එය නිවැරදිය. එම මිතුදම් තවත් ශක්තිමත් කර ගනිමින්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි. මේ ඉම්රාන් ඛාන් වෙනුවෙන් තැබෙන කෙටි සටහනකි. 68 හැවිරිදි ඉම්රාන් ඛාන් පාකිස්තානයේ 22 වැනි අග්‍රාමාත්‍යවරයාය.‍

ඉම්රාන් ඛාන් ශ්‍රී ලාංකික අපට ආගන්තුක නැත. පාකිස්තාන දේශපාලනයට පිවිසීමට හෝ අග්‍රාමාත්‍ය ධුරයට හෝ පත් වීමට හෝ පෙර සිට අපි ඔහු ගැන දනිමු. 80 සහ 90 දශකයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගය පැවැති සමයේ, ක්‍රිකට්වලට ආදරයට කළ බොහෝ දෙනාගේ විරුවකු වූයේ ඉම්රාන් ඛාන්ය. ඔහු 1992 දී පාකිස්තානයට, ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමේ නියමුවා වූයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු සහ ක්‍රිකට් නායකයකු වෙමිනි. 

ඉම්රාන් උපත ලැබුවේ 1952 නොවැම්බර් 25 වැනිදා, පාකිස්තානයේ ලාහෝර් නුවරදීය. ඉම්රාන් ඛාන් අයත් වන්නේ ‘පෂ්තුන්’ පරම්පරාවකටය. ‘පෂ්තුන්’ යනු පකිස්තානයේ ඇෆ්ගන් සම්භවයක් ඇති ජනවර්ගයකි. පෂ්තුන්වරුන්, ගෞරවණීය, මහත්මා ගුණයෙන් යුත් පිරිසක් ලෙස සැලකෙයි. පවුලේ එකම දරුවා ඉම්රාන්ය. 

වයස අවුරුදු නවයේ පටන්, ඉම්රාන්ට අවශ්‍ය වූයේ එක් දෙයක් පමණි. ඒ, ක්‍රිකට් ක්‍රීඩා කිරීමටය. එඩිසන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබද්දී පවා ඉම්රාන් වැඩියෙන් යොමු වූයේ ක්‍රිකට් ක්‍රීඩාවටය. වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ රාජකීය ග්‍රැමර් විද්‍යාලයට ඇතුළත් වූ ඉම්රාන් ක්‍රිකට් ක්‍රීඩා කළේය.1972 ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී, දාර්ශනික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හදාරද්දී ද ඉම්රාන් ක්‍රිකට් ක්‍රීඩා කළේය.

ඒ අනුව, අවුරුදු 9 සිට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ ආශාව ඉෂ්ට විය. දක්ෂ යොවුන් ක්‍රීඩකයකු වීම නිසා අවුරුදු 16 දී පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ඉම්රාන්ට හැකිවිය. අධ්‍යාපන කටයුතුවල නියැලුණු බැවින්, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගී වී දෙවැනි තරගයට සහභාගී වීමට ඉම්රාන්ට වසර 3 ක් ගතවුණු බව පැවැසෙයි. 
1971 සිට 1992 තෙක් කාලයේ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඉම්රාන්. 1982 සිට 1992 තෙක් එහි නායකත්වය දැරුවේය. කෙසේ නමුත් 1987 දී ඉම්රාන් පාකිස්තාන ක්‍රිකට්වලින් සමුගැනීමට තීරණය කළේය. එහෙත්, එවකට පාකිස්තාන ජනාධිපති ලෙස කටයුතු කළ සියා උල් හක්, ඉම්රාන්ගෙන් ඉල්ලා සිටියේ තව දුරටත් පාකිස්තාන කණ්ඩායම නියෝජනය කරන ලෙසය. ඉම්රාන් එම ඉල්ලීම බාරගෙන දිගටම පාකිස්තාන කණ්ඩායමේ රැඳී සිටියා. 

පාකිස්තානයේ ක්‍රිකට් වෙනුවෙන් සිදුවුණු හොඳම දේ එය යැයි කීවොත් ඒය නිවැරදිය. 1992 ලෝක කුසලානයට ඉදිරිපත් වූ කණ්ඩායම, ඉම්රාන් ඛාන් සිය අභිමතය පරිදි තෝරා ගත් කණ්ඩායම විය. 1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානයට දිනා ගැනීමට හැකි විය. පාකිස්තානයෙන් බිහිවුණු සාර්ථකම ක්‍රිකට් නායකයා ලෙස ඉම්රාන් සැලකෙයි. එම ලෝක කුසලාන ජයත් සමඟ ඉම්රාන් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්නේය.

ඉම්රාන් ඛාන්ගේ මව ෂෝකුත් කානුම්, පිළිකාවන් මියගියේ 1985 වසරේදීය. පිළිකා තත්ත්වය කල්තියා හඳුනා ගැනීමට හැකිවූයේ නම් හෝ ඊට අවශ්‍ය වෛද්‍ය පහසුකම් තිබුණේ නම් හෝ මවගේ ජීවිතය බේරා ගැනීමට හැකියාව තිබුණැයි යන සිතුවිල්ල ඉම්රාන්ට වද දෙන්න විය. ඒ අනුව, 1991 වසරේ දී පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකිරීම වෙනුවෙන් ඉම්රාන් අරමුදල් රැස් කළේය. 

අද පාකිස්තානයේ ලාහෝර් නුවර ඇති සියලු පහසුකම්වලින් අංගසම්පූර්ණ ෂෝකුත් කානුම් අනුස්මරණ පිළිකා ප්‍රතිකාර රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානය ඉදි කෙරුණේ ඒ අනුවය. මෙම පිළිකා රෝහල ඉදිකිරීමට මූල්‍ය අනුග්‍රහය දුන් බොහෝ දෙනා පාකිස්තානුවන් නොවෙයි. මුදල් ලබා දුන් වැඩි දෙනා ලොව නන්දෙසින් ඉම්රාන් ඛාන් නමැති ක්‍රිකට් තරුවට ආදරේ දක්වන ක්‍රිකට් ලෝලීන් වීම විශේෂත්වයකි. 

රෝහලට ආධාර එකතු කිරීම සිදුවෙද්දී, දිනක් ලාහෝර් වෙළෙඳපොළට ගිය අවස්ථාවේදී, වෙළෙඳපොළේ සිටි සහ ඊට පැමිණි පාකිස්තාන වැසියන් රුපියල රුපියල එකතු කර ඉම්රාන්ට ලබා දුන් බව ද පැවැසෙයි. 1994 රෝහල ඉදි කෙරුණේ එක් රැස් කළ ඩොලර් මිලියන 25 ක මුදලිනි. 

ඉම්රාන් ඛාන් තෙවරක් විවාහ වූ තැනැත්තෙකි. 1995 ඉම්රාන්ගේ පළමු බිරිඳ වූයේ බ්‍රිතාන්‍යයේ කෝටිපති ව්‍යාපාරික ජේම්ස් ගෝල්ඩ්ස්මිත්ගේ දියණියයි. 2004 දී දෙදෙනා අතරේ පැවැති නොගැළපීම් හේතුවෙන් විවාහය අවසන් විය. ඉම්රාන්ගේ දෙවැනි බිරිඳ වූයේ රහීම් ඛාන්ය. මැය බ්‍රිතාන්‍ය පාකිස්තාන මාධ්‍යවේදිනියකි. විවාහය පැවැතියේ 2014 සිට 2015 දක්වා පමණි. 2018 දී ඉම්රාන් යළි විවාහ විය. ඒ, බුෂාරා බීබී සමඟය. 
දෙවැනි බිරිඳ

සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් හමුවෙමින්...

චීන ජනාධිපති ජින්පින් හමුවෙමින්...

ඉම්රාන් ඛාන් දේශපාලනයට පිවිසියේ 1996 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය පිහිටුවමිනි. ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂය බලයට පත්වූයේ 2018 මහ මැතිවරණයෙනි. ඒ වනවිට, පාකිස්තායේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන පාකිස්තාන මුස්ලිම් ලීගයත් පාකිස්තාන ජනතා පක්ෂයත් දූෂණ චෝදනාවලට ලක්වීම හේතුවෙන් ජනතා අප්‍රසාදයට පත් වී තිබුණි. පාකිස්තානය දැඩි මූල්‍යමය අර්බුදයකට ලක් වී තිබුණි. 

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය රජයක් පිහිටුවූයේ අර්බුද රැසක් මධ්‍යයේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණක් නොව මැදපෙරදිග රටවලින් මූල්‍ය සහන පැකේජ ලබා ගැනීමට ඉම්රාන් සමත් විය. චීනය සමඟ මිතුදම් ශක්තිමත් කර ගත් නමුත්, අසල්වැසි ඉන්දියාව සමඟ මිතුදම් ශක්තිමත් කර ගැනීමට අග්‍රාමාත්‍ය ඉම්රාන්ට හැකියාවක් ලැබී නැත. ක්‍රිකට් ක්‍රීඩකයකු සහ දේශපාලනඥයකු පමණක් නොව, ඉම්රාන් ඛාන් ලේඛකයකු ද වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරයකු ලෙස ද කටයුතු කර තිබේ. 

විකිපීඩියා ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom