ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද නව යෝජනාවක් ඉදිරිපත්වන එක්සත් ජාතීන් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි එම කවුන්සිල මූලස්ථානයේ ආරම්භ වූ බව ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.
කවුන්සිලයේ සාමාජික රටවල් 47 නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඇරඹෙන මෙවර සැසියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැචලේගේ වාර්තාව 24 වැනිදා එම කවුන්සිලයට නිල වශයෙන් සභාගත කෙරෙන බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාව මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාර දැක්වීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර ඊට අමාත්‍යවරයා කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ කවුන්සිලයේ සාමාජික රටවල් අමතමින් කරුණු දක්වනු ඇත.
කෝවිඩ් 19 වින්දිතයින් ආදාහනය කිරීම, යුද අපරාධ චෝදනා වලට ලක් වූවන්ට තනතුරු ලබා දීම් ඇතුළුව ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින මානව හිමිකම් පිළිබඳ ගැටළු සම්බන්ධයෙන් මානව හිමිකම් මහකොමසාරිස්වරිය කවුන්සිලයට නිල වශයෙන් ඉදිරිපත් සිය වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කරනු ඇතැයිද ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.
තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රකාශයට පත් කරන වාර්තා පදනම් කර ගනිමින්, මෙවර සැසිවාරයේදී කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, මලාවි උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවල් ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙලෙස නව යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මෙලෙස නව යෝජනාවක් මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් මානව හිමිකම් සැසියට ඉදිරිපත් කරන බව මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ප්‍රවර්ධනය කරන මූලික කණ්ඩායම අද (22) දිනයේදී නිල වශයෙන් මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දීමටද නියමිතය.
අද 22 සිට මාර්තු 23 දක්වා පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය සඳහා වන සැලසුම් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්වීමත් සමඟ මෙම තහවුරු කිරීම සිදු විය.
මීට පෙර ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වූ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවට පසුගිය යහපාලන රජය සමයේදී සම අනුග්‍රාහකත්වය සැපයූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වීමෙන් පසුව පසුගිය වසරේදී එම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීමට වත්මන් රජය තීරණය කළේය.