73 වැනි නිදහස් දිනය අද - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 4, 2021

73 වැනි නිදහස් දිනය අද

ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ඉතා අභිමානවත් හා චාම් අයුරින් කොළඹ 07, නිදහස් චතුරස්‍රයේදී අද (4) පෙරවරුවේ පැවැත්වේ. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙන් අද (4) පෙරවරු 7.30ට මෙම උළෙල ආරම්භවීමට නියමිතය. 

‘ඉසුරුමත් හෙට දිනයක් සෞභාග්‍යමත් මව් බිමක් යන්න’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවය. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල සියලු සෞඛ්‍ය විධිවිධාන අනුව, සෞඛ්‍යාරක්‍ෂිත අයුරින් පැවැත්වීමට රජය පියවර ගෙන ඇත. 
මෙවරත් ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ආරම්භ වන්නේ නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය දිවංගත ඩී.එස් සේනානායක මහතාගේ කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුවය.  

හිටපු කතානායක, කරු ජයසූරිය, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ගේ සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සහභාගීත්වයෙන් පෙරවරු 7.15ට මෙම පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරේ. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8.11 ට වන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරවරු 8.13 ට උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු මඟුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජාතික ජනාධිපතිවරයා විසින් ධජය නැංවීම සිදුකෙරේ. 

එම අවස්ථාවේදී පාසල් සිසු සිසුවියන් 45 දෙනෙක් විසින් ජාතික ගීය ගායනා කිරීමට නියමිත අතර අනතුරුව ඔවුන් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථා ගායනා කිරීමට නියමිතය.
නිදහස් දින උළෙලට පෙර පැවැති පුහුණුවීම්...

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම ඉන් අනතුරුව සිදුකෙරේ. 

අනතුරුව ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21 ක් පිරිනැමීම සිදුවේ. ඉන්පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ජාතිය අමතා අදහස් දැක්වීම සිදුකරන්නේ පෙරවරු 8.40 ටය.

 ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු ආරම්භ වූයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය හා සංස්කෘතික සංදර්ශනය ආරම්භවීමට නියමිතය. 

යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් 3153ක්, නාවික හමුදා නිලධාරීන් හා සෙබළුන් 821ක්, ගුවන් හමුදාවේ 740ක්, ශ්‍රී ලංකා පොලීසියෙන් හා විශේෂ කාර්ය බලකායෙන් 510ක් සහ සිවිල් ආරක්‍ෂක බලකායේ 457ක් මෙවර ආචාර පෙලපාලියට එක්ව සිටිති. 

 ආචාර පෙලපාලිය අවසානයේ පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ජාතික තරුණ සේවා සභාව, පළාත් සභා සංස්කෘතික මධ්‍යස්ථානයන් නියෝජනය කරමින් නර්තන හා වාදන ශිල්පීන් 340 දෙනෙක් සහභාගී වීමට නියමිතය. 

උත්සව භූමියට ඉහළ අහසේ සිටගුවන් හමුදා ප්‍රහාරක යානා ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය. නාවික හමුදා යාත්‍රා ද නිදහස් දිනය නිමිත්තෙන් ගාලු මුවදොර මුහුදේ සිට අද (4) පස්වරුවේ දස්කම් දැක්වීමට නියමිතය. 

පාසල් සිසු සිසුවියන් විසින් ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව පෙරවරු 10.30 ට උත්සවයේ කටයුතු නිමාවට පත්වේ. ඉන්පසු ශ්‍රී ලංකා නාවික හමුදාව ගාලු මුවදොර ප්‍රදීපාගාරය අසලදී මධ්‍යහ්න 12.00ට නාවික හමුදා ආචාර වෙඩිමුර 25 ක් පිරිනැමීම සිදුවේ. 

ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ප්‍රධාන උත්සවය ආරම්භවීමට පෙර ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද (4) පෙරවරුවේ සර්ව ආගමික වතාවත් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. 

ඒ අනුව නාරාහේන්පිට අභයාරාමයේදී අද (4) පෙරවරු 6.30ට බෞද්ධ ආගමික වතාවත් ද, කොළඹ බම්බලපිටිය නව කදිරේෂන් කෝවිලේදී හින්දු ආගමික වතාවත් ද පැවැත්වෙන අතර උදෑසන 6.25 ට කොළඹ 4, නිමල් පාර පිහිටි ජුම්මා දේවස්ථානයේදී ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වේ. 

රෝමානු කතෝලික ආගමික වතාවත් බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දෙව්මැදුරේදී උදෑසන 6.15ට පැවැත්වෙන අතර ක්‍රිස්තියානි ආගමික මෙහෙය කොළඹ මුවර් පාර මෙතෝදිස්ත දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය. 

මීට අමතරව කොළඹ 03, පොල්වත්ත, ධර්මකීත්‍යාරාම විහාරස්ථානයේදීද අද (4) පෙරවරු 6.30ට ආගමික වැඩසටහනක් පැවැත්වේ. නිදහස් උත්සවය පැවැත්වෙන නිදහස් චතුරස්‍රය හා ඒ අවට මාර්ග අද (4) අළුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා වසා තැබීමට නියමිත අතර විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු යොදා ඇත. 

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර ආචාර පෙළපාලියට සහභාගී වන ත්‍රිවිධ හමුදා හා පොලිස් භට කණ්ඩායම්, මාධ්‍යවේදීන් ආදී පාර්ශව පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා ලක් කිරීමට ද පියවර ගෙන තිබිණි. එමෙන්ම මහජනතාවට මෙවර නිදහස් උත්සවය නැරඹීමට පැමිණිය නොහැකි අතර සහභාගී වන ආරාධිතයන් සංඛ්‍යාව ද සීමා කර තිබේ.

ඡායාරූප - ඒ.එෆ්.පී

Classified_Ad

Classified_Ad_News_Bottom