කොරෝනා නසන්න පෙත්තක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 5, 2021

කොරෝනා නසන්න පෙත්තක්

විෂ පැළෑටියකින් නිපදවූ, පිළිකා නාශක බෙහෙත් පෙත්තකට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පවසති. 

‘තැප්සයිගාර්ජින්’ නමින් නම් කළ මෙම ඖෂධය නිපදවා ඇත්තේ ඇත්තේ ද බ්‍රිතාන්‍යයේ නොටින්හැම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ය. ඒ, පුරස්ථි ග්‍රන්ථි පිළිකා මර්දනය කිරීමේ අරමුණින්ය. 

කෙසේ නමුත්, ඖෂධය ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව ප්‍රතිචාර දක්වන ආකාරය විද්‍යාඥයන් අධ්‍යයනය කර ඇති බවත්, සාර්ථක ප්‍රතිඵල ලැබුණු බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ‘ඩේලිමේල්’ පුවත් වෙබ් අඩවියේ පළ වී ඇත. 

‘තැප්සයිගාර්ජින්’ ඖෂධය ‘කොවිඩ් 19’ රෝගය ආසාදනය වීමට පෙරත්, ආසාදනය වූ තැනැත්තකුටත් ලබා දීම සුදුසු බව තහවුරු වී තිබේ. 
‘තැප්සියා ගාර්ජනිකා’ ශාකය

වයිරසය ආසාදනය වීමට පෙර ඖෂධය ලබා ගැනීමෙන් වයිරසයෙන් ආරක්ෂා වීමට හැකියාවක් පවතී. වයිරසය ආසාදනය වූ අයකුට ‘තැප්සයිගාර්ජින්’ ඖෂධය ලබා දීමෙන්, වයිරසය සිරුර තුළ ගුණනය වීම එසේත් නැතිනම් පිටපත් නිර්මාණය කිරීම ඉතා වේගයෙන් අඩපණ කරයි. 

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි සටනේ දී මෙය ලොකු වාසියක් බව විද්‍යාඥයෝ පවසති. ‘තැප්සයිගාර්ජින්’ ඖෂධය වරක් ලබා දුන් පසු විනාඩි 30 ක් ඇතුළත ක්‍රියාකාරී වන බවත්, අතුරු ආබාධ කිසිවක් නැතිව දින දෙකක් සිරුර තුළ රැඳී පවතින බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති. 

“තැප්සයිගාර්ජින් වයිරස නාශකයක් නොවෙයි. ඒත් කොරෝනා වයිරසය සිරුර තුළ පිටපත් සාදා වර්ධනය වීම අඩපණ කිරීමට ඊට පුළුවන්. මෙය සුවිශේෂී ජයග්‍රහණයක් බව අප අවිවාදයෙන් පිළිගන්න ඕනෑ. ආසාදිතයන් ඉක්මණින් සුවපත් කිරීමටත්, ආශ්‍රිතයන් ආසාදිතයන් නොවී ආරක්ෂා කර ගැනීමටත් ඖෂධයට හැකියාව තිබෙනවා. එපමණක් නොවෙයි, අනාගතයේ දී ලොවට වසංගත විය හැකි කොරෝනා වැනි සතුන්ගෙන් ආසාදනය වන වයිරසවලට එරෙහිව සටන් කළ හැකි ඖෂධයක් වේවි.” යැයි නොටින්හැම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාර්ක් වූල්හවුස් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර තිබේ.

‘තැප්සයිගාර්ජින්’ ඖෂධය නිපදවා ඇත්තේ ‘තැප්සියා ගාර්ජනිකා’ නමැති ශාකයේ සාරයෙනි. මෙය මධ්‍යධරණී රටවල වෙරළ ආශ්‍රිතව වැඩෙන ශාකයකි. ඇල්ජීරියානු පැරැන්නෝ, වසර දහස් ගණනක් තිස්සේ මෙම ශාකය වේදනා නාශකයක් ලෙස භාවිතයට ගනිති. 

ඇල්ජීරියාවේත් ග්‍රීසියේත් වැසියන් මෙම ශාකය හැඳින්වෙන්නේ ‘විෂ කැරට්’ යනුවෙනි. ඒ, මෙම ශාකය ආහාරයට ගන්නා බැටලුවන්, ගවයන් වැනි ගොවිපොල සතුන්ට එය විෂ වන බැවිනි. 

ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් ද මෙම ශාකය යොදා ගනිමින් වසර 15 ක් තිස්සේ පිළිකා නාශක ඖෂධ නිර්මාණයේ යෙදී සිටින බව ද පැවැසෙයි. 

පිළිකා මර්දනයට මෙන් නොව, වයිරස මර්දනයේ දී අවශ්‍ය වන්නේ සුළු මාත්‍රාවක් පමණක් යැයි නොටින්හැම් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයෝ පැහැදිලි කරති. 

ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom