නිම්නාගේ ඉතිහාසය ඉදිරිපිට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 24, 2021

නිම්නාගේ ඉතිහාසය ඉදිරිපිට

සොෆීගේ ලෝකයෙන් යූස්ටයින් ගෝඩර් දිගහරින්නේ දර්ශනයේ ඉතිහාසයයි. නිම්නාගේ ඉතිහාසයෙන් නිම්නා දිගහරින්නේ රජවරුන්ගෙන් උත්කර්ෂයට නැංවුණු නිතර දෙවේලේ අසා කියවා උගන්වා දැක ඇති ඉතිහාසය නොවේ. රජවරුන්ගෙන් මෙහා ඉතිහාසයයි. එම ඉතිහාසයේ ද යටයන උඩ එන විපරීත විවිධ සමාජ සංසිද්ධීනුයි. කොළඹ ප්‍රත්‍යක්ෂ විපර්යාසයයි. 

විකල්ප මතධාරී පුවත්පත් නොව ජාතිවාදී පුවත්පත් කියවමින්, ජාතිවාදය සහ දෘඩතර පුරුෂ ආධිපත්‍යය වින්දනය ම ප්‍රීනනය කරගත් පටු කුටුම්භ සමාජ සංස්ථායි. එක් ස්ත්‍රියක එක් පුරුෂයකු ලෙස සම්මත විවාහ දිවිය උපහාසයට ලක්කරන, නිදහස් හා විවෘත ලිංගික දිවියක් ගෙවූ මානව බන්ධනයි. 

බෞද්ධ අධිපති මතවාද සහ සංස්කෘතික හර පද්ධති යැයි කියා ස්ත්‍රීන් විෂයෙහි ඇති කළ පීඩීත තත්වය සහ එවැන්නකැයි නොදැන ස්වකැමැත්තෙන් ගෘහනියන් ම වීමට විනා අන් අරමුණක් නොමැති පරම්පරාවල කාන්තාවන්ගේ ඉතිහාසයයි. පශ්චාද් යුද සමයේ මනස් පුතුන්ගේ ඉතිහාසයයි. 

සමාජය උත්කර්ෂයට නැංවූ ලිංගිකත්වය ග්‍රාමීය පරමාදර්ශී යැයි කියන සමාජය විසින් සඟවා තබන අයුරුයි. ලංකාවේ පීඩිත පන්තියේ සමාජ පරිණාමයයි. 

මහාවංශයට හසු නොවන, නිවැරදිව කියන්නේ නම් මහාවංශ කතුවරුන් බැහැරලන පාලක පැලැන්තියේ ඛේදවාචකයයි. දේශපාලනයේ අදිසි හස්තවල බලපෑමට ලක්වන මතවාදී මාධ්‍යවේදී පරපුරයි. තථ්‍ය සමාජ ලෝකයේ ෆැන්ටසිමය ආශා ප්‍රදර්ශනයට සහ නිගමන ගොඩනගාගැනීමට මුහුණුපොත යොදාගන්නා ඔද්දල්බාවයෙන් යුතු සමාජයයි. 

පොදු සමාජයේ හුදකලාව වෙසෙන, සමාජ දේශපාලනය සම්බන්ධයෙන් සවිඥානික නොවන නාස්තිකාරයන් ලෙසින් වැඩිහිටි පරම්පරා විසින් නාමකරණය කළ තරුණයන්ගේ ඉතිහාසයයි. 

යහපත්, පිරිසිදු, සුන්දර ගැමි සංස්කෘතියක් තිබෙන බවට හිස් සෝදා පාලු කළ පාලක මෙහෙයුමේ ඉතිහාසයයි. 

අසකු පිටේ නැගුණු කුමාරයකු පැමිණ තමාව රැගෙන මාලිගයකට යනතෙක් නිවසේ උලු ගනින, පන්සල එකම පිහිට කරගත්, බාලිකා පාසල්වලදී පවා කුල කුමරියන් ලෙස විනීතව හැසිරුණු කාන්තාවන්ගේ බොරු විශාඛා කුලසිරිත්වලින් හෙඹි ඉතිහාසයයි. එබැවින් නිම්නාගේ ඉතිහාසය, 

මෙතෙක් කලක් නිර්මාණය කරන ලද, මවා පාන ලද, බලෙන් පොවන ලද, ව්‍යාජ ඉතිහාසය ගැන නැවත සිතන්නට පොළඹවන ලියවිල්ලක් වැන්න. 

෴ඩිල්ෂානි චතුරිකා දාබරේ

Classified_Ad

Classified_Ad_News_Bottom