කවුළුවට එපිටින් අතළඟ ම උදෑසන වැහි වැටෙයි.
දකින හීන, රෝස ද නිල් පාට ද කියා කිව නොහැක. එබැවින් එනම් කවි පොත මාස කිහිපයකට පසුව නැවත ගෙන කියවා බැලීමී. හැකි පමණ අංවකව මෙය ලියමි.
කවි කිහිපයක්ම කියවන කල, වින්‍යාගේ රිද්මය හසුවිය. පේළි වශයෙන් පද බෙදමින් යන කළ මතුවන රිද්මයකි ඒ.
බොහෝ කවිවලදී එය සාර්ථකය. කව්යේ රිද්මය සහෘදයා බැඳ තබන මෙවලමකි.
කවියක ආකෘතිය ද වැදගත් නමුත් කවියේ රිද්මය රකිනුවස් ආයාසීව පේළි නොබෙදිය යුතු යැයි මට සිතේ.
වින්‍යාගේ කවි එක්වරක් කියවා නිම කළ නොහේ. එය වටහා ගැනීමට මට කිහිපවරක් වෑයම් කිරීමට සිදුවිය.
ඒ මාගේ නොදැනුම්කම විය හැකිය.
ස්ත්‍රී දෘෂ්ටියෙන් දකින කුටුම්භ සංස්ථා, පරිසර පද්ධති, කාන්තා චරිත ආදි හුරුපුරුදු තේමා විෂය කරගන්නා වින්‍යා ලොව ගිල එයින් බිඳිත්තක් පිටතට දමන්නා සේ කව් ලියා ඇති සෙයකි.
එසේ පැවසීමට හේතුව, අනෙකක් නොව, අත්දැකීම් විෂයෙහි ආධුනික කවියන්ට වඩා පළලක් දැකිය හැකි වීමය. වින්‍යාගේ ආනුභූතීන් පිටතට එන්නේ බිඳු බිඳු කව් වශයෙනි.
තව බොහෝ කවි ඇගේ සිතෙහිය.
ඒවා ද පිටතට දැමිය යුතුය. ඇය සිතෙන් ගසන කැරැල්ලක් වෙයි. එය කවියට ගැනීමට වින්‍යා තැත්කරනු පෙනුනද, එය මුල් පිටින් උදුරා එහි හොවාබහාලීමට නොහැකිව ඇති බවක් පෙනෙන්නේ, සුපුරුදු ළතෙත් කවි බසෙන් මිදී තරමක් රළු පද, පේළි, රිද්ම මෙහෙයවීමක් බවට පෙර කී කැරැල්ල පිටවන නිසා විය යුතුය.
මෙම ප්‍රයත්නය ඇගයිය යුතු අතර ඒ වෙනුවෙන් යුතු අරමුණ ඉටුවේවායි ද පතමි.
රෝස නිල් පාට හීනවල සුපැහැදිලි ලකුණු ද බොඳ ලකුණු ද මට පෙනේ.
අභ්‍යාස කරමින් වඩවා ගත යුතු කව් බසක් වින්‍යාට උරුම බැවින්, අපට මතු බලාපොරොත්තු තැබිය හැකිය.
(කවිවල කොටස් මෙහි උපුටා දැක්වූයේ නැත්තේ, සමස්ත පොත ම කියවීමට කියවන අයට පෙළඹවීමක් ඇතිකිරීමට බව සලකන්න)කල්පනා, ධනුෂ්කා නිෂාධි, ප්‍රගීතිකා කිවිඳියන්ගේ කව් බස මෙන්ම, චිරන්තන සාහිත්‍ය බසද, විශ්ව සාහිත්‍යයේ පැරණි පරිවර්තන බසද, ජනප්‍රිය නොමැති නමුත් විශිෂ්ට ලෙස කාව්‍යකරණයේ යෙදෙන පිරිසගේ කවි ද, සූක්ෂ්මව අධ්‍යයනය කරන්නේ නම් වින්‍යාගේ කවිවලට සුපෝෂණයක් ලද හැකි බව මගේ අදහසයි.
මේ කවිබසෙහි පවා, ගලා යන ආකාරයක් දැකගතහැකි කවි වෙයි.
සෑම කවියක් ගලා යා යුතු බසකින් ලිවිය යුතු යැයි එයින් අදහස් නොකරමි.
නමුත් ගලායාමට බාධා තැනෙන කවිද, කවිය කියවා අවසන් වූ විට අදහස නොවැටහෙන කවිද, වෙයි. එලෙස අන්දුන් කුන්දුන් වූ බැවින් අමනාපයක් නොවනු ඇතැයි සිතමි.
ඇතැම් කවි නූතනයේ වින්‍යා ඇසුරු කරන සහෝදර කවි කිවිඳියන්ගේ ඒකමිතික වූ වදන් ඇසුරින් ලබාගත් බසකි. 'ම' කාරය බහුලය. එය අවශ්‍යම තැනදී යෙදුවොත් කාව්‍යයට දීප්තිය ගෙනෙනු ඇත.
මානූෂීය බව, වැගිරෙන ස්ත්‍රී චින්තා, අත්දැකීම් විෂයෙහි පළල බහුතර කවිවලදී දැකිය හැකිය.
පවත්නා සමාජ තත්වය පිළිබඳව වින්‍යාගේ දැක්ම තවදුරටත් නිශ්චිත තියුණු එකක් කරගන්නේ නම් අනාගත කවි වඩා මුවහත් වනු ඇත.
රෝස නිල් පාට හීනෙන් මිදී, ඉදින් දැන් වැඩට යමි!
෴ඩිල්ෂානි චතුරිකා දාබරේ