අමල්ට නායකත්වය දුන් සාරා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mawitha Ads

Feb 9, 2021

අමල්ට නායකත්වය දුන් සාරා

ඇන්ඩ්‍රෝමිඩා මන්දාකිණියේ ඡායාරූපයක් පළමු වරට දකිද්දී ඇගේ වයස අවුරුදු 12 කි. අභ්‍යවකාශ ගවේෂණය ගැන සිහින මවමින්, ඒ සිහිනය සැබෑවක් කර ගැනීමට ඇය සමත් වූවාය. ඇය එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරියයි. එමිරේස්ට් රාජ්‍යය නව මඟකට යොමු කරමින්, එමිරේට්ස් රාජ්‍යයේ ආර්ථිකය නංවාලීම ඇයට පැවැරුණු වගකීමය. එමිරේට්ස් විද්‍යා කවුන්සිලයේ ප්‍රධානියා ඇයයි. එමිරේට්ස් රාජ්‍යය පෘථිවි කක්ෂයේ රැඳවූ චන්ද්‍රිකා නිර්මාණයට ඇය දායක වූවාය. ‘එමිරේට්ස් මොහොමද් බින් රෂීද්’ අභ්‍යවකාශ මධ්‍යස්ථාන අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ රහස් සෙවීමට ආරම්භ කළ මෙහෙයුමට නායකත්වය දෙන්නේ ඇයයි. ඇය සාරා බින් යූසෙෆ් අල් අමීරි ය. 

සාරා බින් යූසෙෆ් අල් අමීරිගේ වයස අවුරුදු 33 කි. අල් අමීරි උපතින් එමිරේට්ස් ජාතික තරුණියක නොවෙයි. ඇය ඉරාන ජාතිකයෙකි. ඉරානයේ සිටියේ නම්, ඇයට මේ කිසිදු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හැකිවන්නේ නැත. අල් අමීරි, උපත ලබා ඇත්තේ 1987 වසරේය. ඇගේ පියා යූසොෆ් අමීරි, සිස්ටන් සහ බලුකිස්තාන පළාතේ නික්ෂාර් නගරයේ වැසියෙකි. 

 අල් අමීරි පියා සහ මව ද සමඟ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට සංක්‍රමණය වී ඇත්තේ ඇය කුඩා කාලයේය. අද අල් අමීරි, එක්සත් අරාබි එමිරේට්ස් වැසියෙකි. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට සම්පතකි. අල් අමීරි විවාහකය. ඇය දෙදරු මවකි. තම දියණියට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පියා යූසොෆ් අමීරි ට අවබෝධ වූයේ අමීරි ගණිතයටත් විද්‍යාවටත් බොහෝ සේ ප්‍රිය කළ බැවිනි. 

අල් අමීරි අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි බසිනි. ඇය ඇමෙරිකාවුවකුට වඩා හොඳින්, චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරුවයි. ඇය සාජා හි, ඇමෙරිකන් විශ්ව විද්‍යාලයෙන් අල් අමීරි පරිගණක විද්‍යාව හැදෑරුවා ය. උසස් අධ්‍යාපනය අවසන් වෙද්දී ශාස්ත්‍රපති සහ ශාස්ත්‍රවේදී උපාධි හිමිකර ගත්තා ය. අභ්‍යවකාශ යානා තාක්ෂණය සම්බන්ධයෙන් අල් අමීරි සැමවිටම උනන්දුවක් දැක්වූවත්, ඒ වනවිට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අභ්‍යවකාශ මෙහෙයුම් සම්බන්ධයෙන් වැඩසටහනක් ක්‍රියාත්මක වූයේ නැත. 

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා යොමුවීම, අල් අමීරිගේ සතුටට කරුණක් විය. කුඩා කළ සිට පැවැති තම සිහිනය සැබෑ කර ගැනීමට මඟ සකස් කිරීමක් ද විය. අල් අමීරි පළමුවෙන් රැකියාව කළේ පරිගණක ඉන්ජිනේරුවරියක ලෙසය. ඇය එමිරේට්ස් විද්‍යා තාක්ෂණ ආයතනයට සම්බන්ධ වූවාය. 

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පළමු චන්ද්‍රිකා ද්විත්වය වන ‘ඩුබායි සැට් 1’ සහ ‘ඩුවායි සැට් 2’ යන යානා නිර්මාණයට දායක වූයේ ඇයයි. ඇය දේශපාලනයට පිවිසුණේ ඉන්පසුවය. අල් අමීරි එමිරේට්ස් පරිසර අමත්‍යාංශයට සම්බන්ධ වී වැඩ කළාය. 

ඩුබායි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉහළ තනතුරක් පවා හෙබවූවාය. එමිරේට්ස් රාජ්‍යය වර්තමානයේ දියුණුවෙන් දියුණුවට පත් වී ඇත්තේ උගත්කමට තැන දීමෙනි. සුදුස්සාට සුදුසු දේ ලබා දීමෙනි. කාන්තා අයිතීන් සුරකිමින් ඔවුන්ට සම තැන දෙමිනි. 2016 දී අල් අමීරිගේ ජීවිතය වෙනස් විය. 

 2016 දී, එමිරේට්ස් විද්‍යා කවුන්සිලයේ ප්‍රධානියා ලෙස අල් අමීරි පත් කෙරුණි. වසරක් යද්දී, ඇයට තවත් උසස්වීමක් ලැබුණි. ඒ අනුව, අභිනවයෙන් පිහිටුවූ විද්‍යා තාක්ෂණ අමත්‍යාංශයේ ප්‍රධානියා ලෙස ඇය පත් කෙරුණි. ඒ, 2017 වසරේ සිදුවුණු කැබිනට් සංශෝධනයකිනි. එමිරේට්ස් විද්‍යා තාක්ෂණ ඇමැති ධුරයට කාන්තාවක පත් කෙරුණු පළමු අවස්ථාව මෙය විය. 

 අල් අමීරිගේ වයස අවුරුදු 34 කි. එමිරේට්ස් රාජ්‍යයේ පළමු අඟහරු ගවේෂණ මෙහෙයුම වන ‘අල් අමල්’ හි ව්‍යාපෘති ප්‍රධානියා ලෙසත් කටයුතු කරන්නේ ඇයයි. එක්සත් අරාබිය, මෙම අඟහරු මෙහෙයුම ආරම්භ කළේ ඇමෙරිකාවේ සහ ජපානයේ සහාය ඇතිවය. 
ඇමෙරිකාවේ කොලරාඩෝ බෝල්ඩර් විශ්ව විද්‍යාලය, කැලිෆෝනියාවේ බර්ක්ලි විශ්ව විද්‍යාලය, ඇරිසෝනා රාජ්‍ය විශ්ව විද්‍යාලය අඟහරු මෙහෙයුම සඳහා හවුල් වී සිටී. පසුගිය 2020 ජූලි මාසයේ ‘අමල්’ රොබෝ ගවේෂණ යානය පෘථිවි කක්ෂයට තල්ලු කිරීම කළේ ජපානයේ රොකට්ටුවක් ආධාරයෙනි. 

‘අමල්’ රොබෝ යානයට සම්බන්ධ කැමරා පද්ධතිය සහ සන්වේදක පද්ධතිය ‘එමිරේට්ස් මොහොමද් බින් රෂීද්’ ඉන්ජිනේරුවන් නිර්මාණය කළේ ඇමෙරිකා නාසා ආයතනයේ උපදෙස් අනුවය. 'අමල්' යානය දීර්ග ගමකින් පසු අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ කක්ෂයට පිවිසිණි. එය එක්සත් අරාබි ඒමිරේට්ස් රාජ්‍යය ලැබූ ලොකු ජයග්‍රහණයකි.

‘ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණියේ ඡායාරූපයක් පළමු වරට දකිද්දී මගේ වයස අවුරුදු 12 යි. අප සෞරග්‍රහ මණ්ඩලය පිහිටි ක්ෂීරපථයට ළඟින්ම තිබෙන්නේ ඇන්ඩ්‍රෝමීඩා මන්දාකිණියයි.’ තම අතීත සිහිනය ගැන අල් අමීරි මෙසේ පැවැසුවේ, ඩුබායි හි ‘ටෙඩෙක්ස්’ සමුළුවකට එක්වෙමින්, අඟහරු මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. 

ඇය එදා කළ මෙම කතාව, විද්‍යාව සහ තාක්ෂණය ගැන උනන්දුවක් දක්වන එමිරේට්ස් තරුණ තරුණියන්ට පන්නරයක් විය. ‘තමන් අභ්‍යවකාශය ගැන උනන්දු වූයේත්, අභ්‍යවකාශය ගැන වැඩිදුර හැදෑරුවේත්, ඇන්ඩ්‍රෝමිඩා මන්දාකිණියේ එම ඡායාරූපය නිසා යැයි එම අවස්ථාවේදී ඇය පැහැදිලි කළාය. 2016 වසරේ, ලෝක ආර්ථික එකමුතුවේ ජාත්‍යන්තර සමුළුවට අල් අමීරි ට ඇරැයුම් ලැබුණි. ඒ, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට මහත් ගෞරවයක් එක් කර දෙමිනි. 

අල් අමීරි 2017 වසරේ නොවැම්බරයේ, ‘ටෙඩෙක්ස්’ ජාත්‍යන්තර සමුළුව පැවැත් වූයේ ඇමෙරිකාවේ ලුවිසියානාදී ය. ‘අමල්’ මෙහෙයුම ගැන විස්තර කිරීමට, අල් අමීරි ඊට සහභාගී වූවා ය. ටෙඩෙක්ස් සමුළුවට සහභාගී වූ පළමු එක්සත් අරාබි එමිරේට්ස් ජාතිකයා ඇය විය. එය ද අල් අමීරි ලැබූ ජයග්‍රහණයකි. 

අඟහරු කක්ෂයට පිවිසි ‘අමල්’ රොබෝ යානය අඟහරු වායුගෝලය ගවේෂණය කරනු ඇත. මෙම 2021 වසර එමිරේට්ස් රාජ්‍යයට සුවිශේෂී එකකි. ඒ, එමිරේට්ස් රාජ්‍යය ස්ථාපිත කර වසර 50 ක් සපිරීම ය. අඟහරු මෙහෙයුම සාර්ථක වීම ද ඊට සමගාමීව සිදුවුණු සුවිශේෂී මෙන්ම ඓතිහාසික සිදුවීමකි. 
'අමල්' යනු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පළමු අඟහරු මෙහෙයුම වන අතර, අරාබි රටකින් අඟහරු වෙත යානයක් යැවුණු පළමු අවස්ථාව ද මෙයයි. ‘අමල්’ යන්නෙහි අර්ථය ‘බලාපොරොත්තුව’ යන්නය. කාන්තාවකගේ නායකත්වයෙන් (විශේෂයෙන් අරාබි රටක) අඟහරු බලා යානයක් යෑම, ලොව සමස්ත කාන්තාවන් ලැබූ ග්‍රහණයක් බව අවිවාදයෙන් කිව යුතුය. 

 තාක්ෂණය, ගණිතය සහ ඉන්ජිනේරු විද්‍යාව කෙරෙහි එමිරේට්ස් තරුණ ප්‍රජාව වැඩි වැඩියෙන් යොමු වනු දැකීම තම බලාපොරොත්තුව යැයි අල් අමීරි වරක් පවසා තිබුණි. 

ලෝකය ජය ගන්න, විශ්වය ජය ගන්න, ඉදිරියට යන්න මට අවස්ථාවක් උදා කළේ විද්‍යාව. විද්‍යාවට සීමා බාධක නැහැ. ආසාව තිබෙනවා නම්, උනන්දුව තිබෙනවා නම්, සිහින මවනවා නම්, ඒ සිහින සැබෑ කර ගැනීම අපහසු වන්නේ නැහැ.’ අල් අමීරි පෙන්වා දී තිබේ. අද අඟහරු මෙහෙයුමට සම්බන්ධ විද්‍යාඥ කණ්ඩයමේ කාන්තා නියෝජනය සියයට 34 කි. එමිරේට්ස් විද්‍යාඥ කණ්ඩායමේ කාන්තා නියෝජනය සියයට 80 කි. මෙම පරිවර්තනයට නායකත්වය දුන්නේ අල් අමීරි ය. 

යූ ටියුබ් චැනල් 
අයිඇම් ඇසුරිනි

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe