සූ කීගේ පක්ෂ මූලස්ථානය වනසලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 10, 2021

සූ කීගේ පක්ෂ මූලස්ථානය වනසලා

නොබෙල් සාම ත්‍යාගලාභී අවුන් සාන් සූකීගේ යැංගොන් නුවර පිහිටි පක්ෂ මූලස්ථානය මියන්මාර හමුදාව විසින් ඊයේ (9) රාත්‍රියේ වටලනු ලැබීය. 

මියන්මාර හමුදාව පසුගිය සතියේ දී එරට බලය අත්පත් කරගත් අතර අවුන් සාන් සූකී ඇතුළු ඇයගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ දේශපාලන නායකයන් අත්අඩංගුවට ගත්තේ ය. 

මියන්මාර හමුදාවට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබෙන අතර මේ වන විට අඛණ්ඩව පස්වැනි දිනටත් එම විරෝධතා පැවැත්වේ. 

මියන්මාරයේ මිලිටරි ජුන්ටාව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර තිබුණ ද එය නොතකමින් දස දහස් ගණනක් මියන්මාර වැසියෝ යැංගොන් නුවරට රැස්වෙමින් විරෝධතාවල නිරත වෙති. 

‘හමුදා ඒකාධිපතියා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය වැටලුවා. රාත්‍රී 9.30ට පමණ මූලස්ථානය වටලා එය විනාශ කර දැමුවා’ යැයි එම පක්ෂය සිය ෆේස්බුක් පිටුව ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය අවස්ථාවේ දී කෙටි නිවේදනයක් නිකුත් කළ ද ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් සඳහන් කර නොතිබිණි. 

 මියන්මාර හමුදාවේ පාලනයට එරෙහිව අඛණ්ඩව සිවුවැනි දිනටත් පෙරේදා (8) විරෝධතා පැවැත්වුණු අතර ඊට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය. ඇතැම් ස්ථානවලදී පොලිසිය රබර් උණ්ඩ භාවිත කරමින් වෙඩි තබා ඇතැයි ද වාර්තා විය. 

විරෝධතාකරුවන් මියන්මාරයේ ‘‘ස්ථාවරත්වයට’’ තර්ජනයක් බවත් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවත් එරට හමුදාව අනතුරු අඟවා තිබේ. 

ඊට අමතරව පස් දෙනකුට වඩා රැස්වීම තහනම් කිරීමට ද හමුදා පාලනය පියවර ගෙන තිබේ. මෙම අනතුරු ඇඟවීම් සහ නීතිමය ක්‍රියාමාර්ග නොතකා මියන්මාර වැසියෝ අද (10) දිනයේදී පස්වැනි දිනටත් විරෝධතා පැවැත්වූහ. 

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom