අලුත් සුපිරි කෙල්ල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 21, 2021

අලුත් සුපිරි කෙල්ල

සැක් ස්නයිඩර්ගේ DC සුපිරි වීරයන්ගේ එකමුතුව වන්නේ 'ජස්ටිස් ලීග්' චිත්‍රපටයයි. එහි ෆ්ලෑෂ්ගේ චරිතය පාදක කර ගනිමින්  'ද ෆ්ලෑෂ්' නමින් චිත්‍රපයටයක් නිර්මාණය කිරීමට 'වොනර්' සමාගම උත්සාහ කළේ වසර කීපයක් තිස්සේය. දැන් ඒ කටයුතු ආරම්භ වී ඇත්තේ ඇන්ඩි මුෂියෙතී එය අධ්‍යක්ෂණය කිරීමට කැමැත්ත පළ කර ඇති බැවිනි.

'ජස්ටිස් ලීග්' චිත්‍රපටයේ ෆ්ලෑෂ්ගේ චරිතය නිරූපණය කරන්නේ එස්රා මිලර් වන අතර, 'ද ෆ්ලෑෂ්' චිත්‍රපටය ඒ අනුව නිර්මාණය වෙයි. ෆ්ලෑෂ් ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටයක් එළිදැක්වීම සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත් ව සිටිනවා යැයි මිලර් පවසා තිබේ. 

'ද ෆ්ලෑෂ්' චිත්‍රපටයට එක් වන, තවත් එක් සුපිරි වීරවරියක වන්නේ සුපර් මෑන්ගේ ඥාති සොහොයුරියක වන සුපර් ගර්ල් ය. මෙය  DC සුපිරි වීරයන්ට ආදරේ ලොකු කුඩා කාටත් සුබ ආරංචියකි.

සුපර් ගර්ල් ගැන කියද්දී කාගේත් සිහියට නැගෙන්නේ වොනර් රූපවාහිනී නාළිකාවේ 'සුපර් ගර්ල්' කතාමාලවේ සුපර් ගර්ල් චරිතයයි. එම චරිතය නිරූපණය කරන්නේ මලීසා බෙන්වුවා ය. 

මලීසා එක රැයින් ලොකු කුඩා කාගේත් ආදරයට පාත්‍රවූයේත් ජනප්‍රිය වූයේත් සුපර් ගර්ල්ගේ චරිතයට පණ පෙවීමෙනි. 'ද ෆ්ලෑෂ්' චිත්‍රපටයේ සුපර් ගර්ල්ගේ චරිතයට යොවුන් නිළියක තෝරා ගැනීම තරුණ අධ්‍යක්ෂවරයකු වන ඇන්ඩි මුෂියෙතී ට අභියෝගයක් වූ බව පැවැසෙයි.

දක්ෂ යොවුන් නිළියන් 425 දෙනකු චරිතය සඳහා ඉදිරිපත් වූ නමුත් අධ්‍යක්ෂවරයාගේත් 'වොනර්' සමාගමේත් කැමැත්ත හිමිවූයේ ඇමෙරිකාවේ බොස්ටන් නුවර උපන්, කොලොම්බියානු සම්භවයක් ඇති නිළියකටය. 

ඇය 'ද යංග් ඇන්ඩ් ද රෙස්ට්ලස්' රූපවාහිනී මාලා නාට්‍යයෙන් ජනප්‍රිය වී සිටින සාෂා කෝල් ය. සාෂා සුපර් ගර්ල්ගේ චරිතයට පණ දෙන පළමු ලතින් ඇමෙරිකා නිළිය වනු ඇත.
මලීසා බෙන්වුවාගේ සුපර් ගර්ල් ට අමතරව, මීට පෙර සුපර් ගර්ල් රිදී තිරයට නැගී ඇත. ඒ, 80 දශකයේය. එහි සුපර් ගර්ල් ලෙස චරිත නිරූපණය කළේ හෙලන් ස්ලේටර්ය. එම සුපර් ගර්ල් චිත්‍රපටය 1984 දී තිරගත විය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිළියන් 425 දෙනා තෝරා ගනිමින් තිර පරීක්ෂණ පැවැත්වීම සිදුවූයේ Zoom තාක්ෂණය ඔස්සේය. ඒ, ඔවුන් තෝරා ගන්නේ සුපර් ගර්ල්ගේ චරිතයට බව නොකියමිනි. 

අවසන් තේරීම වූ සාෂා කෝල් චරිතයට තෝරා ගන්නා බවත්, ඒ චරිතය සුපර් ගර්ල් බවත් ඇයට පවසන්නේ ඇන්ඩි මුෂියෙතී ය. 

එම වීඩියෝ හමුවේ දසුන් මේ වනවිටත් ප්‍රසිද්ධියට පත් වී තිබේ. 
මලීසා බෙන්වුවා සුපර් ගර්ල් ලෙස

'ජස්ටිස් ලීග්' චිත්‍රපටයේත් ඉන්පසු 'වොන්ඩර් වුමන්' චිත්‍රපට ද්විත්වයේ වොන්ඩර් වුමන්ගේ චරිතයට පණ පොවන්නේ ඊශ්‍රායල ඇමෙරිකානු නිළි ගැල් ගැඩොට් ය. 

ගැඩොට් වොන්ඩර් වුමන් ලෙස පළමුවෙන් කරළියට ආවේ 'ජස්ටිස් ලීග්' චිත්‍රපටයට පෙරමඟ සැකැසූ 'බැට්මෑන් වර්සස් සුපර්මෑන්' චිත්‍රපටයෙනි. 

අධ්‍යක්ෂ සැක් ස්නයිඩර් සහ වෝනර් සමාගම, ගැල් ගැඩොට් වොන්ඩර් වුමන්ගේ චරිතයට තෝරා ගත්තේ ද ඇයට ඒ ගැන කල් තියා නොපවසමිනි. සුපර් ගර්ල් තේරා ගැනීමට ද එම ක්‍රමවේදය භාවිත කළේ යැයි පැවැසෙයි.  

වැරිටි වෙබ් අඩවිය ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom